ලෝකෙට ආපු අය

Sunday, February 24, 2013

ක්‍ෂිතිජ රේඛා - පස්වන දිගහැරුම



“හැපි බර්ත්ඩේ ලොකු අක්කා...”

සෙනුරිට මුල්ම උපන්දින සුභ පැතුම සිඟිති ගෙනි. පාසල් ගමන නිම කළ යුවතිය තවමත් නිදි ඇඳේ ඒ මේ අත පෙරලෙද්දී, පාසල් යාමට සූදානම් වන අතර සිඟිති ඈ වෙත ආවේ පොඩ්ඩී කාමරයට එබෙන්නටත් පෙරය. මෙවැනි දවසක නම් කිරිබතක් වරදින්නට ඉඩක් නැත.

දෙසොහොයුරියන්ගේ උණුසුම් හාදු සහ මවගේ ආශිර්වාදය සමඟ දවස ඇරඹූ යුවතියට වහා මතකයට නැගුණේ වන්දනාව අවසන අසෙල් කී වචනයයි. හනික ඇඟපත සෝදා අළුත් ඇඳුමක් ඇඟලා ගත් ඇය හිස පීරද්දී, බණ්ඩාර මහත්මිය කාමරයට පැමිණියාය.

“කොහෙ යන්නද ලොකූ?”

ඇය ඇඳේ හිඳගනිමින් ඇසුවාය.

“අසෙල් උපන්දින තෑග්ගක් දෙන්න තියෙනව කියල එන්න කිව්ව අපෙ අම්මා. මං ඉක්මණට ටවුන් එකට ගිහින් එන්නම්”

යුවතිය ආසාවත් බියත් කැටිවූ ආයාචනාත්මක හඬින් කීවාය.

“හ්ම්ම්.. යන තැනක ඉක්මණට ගිහින් එන්න ඕන.. කල්පනාවෙන්.. පරක්කු වෙන්නෙ එහෙම නෑ.. පරිස්සමින් ගිහින් එන්න ඕන තේරුණාද?”

මඳක් කල්පනා කළ කාන්ති පිළිතුරු දුන්නාය. මෙවැනි ලස්සන දවසක ඇගේ හිත තලන්නට කාන්තිට බැරිය. නමුත් සෙනුරි ඇගේ වැඩිමහල් දියණියයි. යොවුන් ඇගේ පරිස්සම ගැන තව තවත් සිතන්නට වුවමනාය. අනෙක් අතට සෙනුරි කෙල්ලෙකි.. අසෙල් කොල්ලෙකි.. කෙල්ලකගේ අම්මා කෙනෙකුගේ සිතේ මේ සා බියක් ජනිත වීම අසාධාරණ නැත.


“ලොකූ... පරිස්සමින්..”

ගේට්ටුවෙන් පිටවී යන සෙනුරි දෙස අයාගත් දෙනෙතින් යුතු කාන්ති හඬනැගුවාය

“හරි හරි අපෙ අම්මා, ඉක්මණට එනවා..”

යුවතිය එසේ කීවේ නැත. සිතින් සිතුවා පමණි.

***

“අසෙල් අයිය දැන්ද ආවෙ? මං පරක්කු නෑ නේද?”

අසෙල් වෙත ලයාන්විත බැල්මක් හෙලූ සෙනුරි ඇසුවාය. උත්තරය කටට දී ප්‍රශ්න ඇසූවිට දෙන්න උත්තරත් නැත.



“නෑ සෙනුරි, එන්නකො යන්න මාත් එක්ක”

“කොහෙද මේ මාව එක්ක යන්නෙ... අනේ... අනේ මට බයයි අසෙල් අයිය...මට ඉක්මණට යන්නත් ඕන... අම්ම බයවෙයි... අනේ.... මං ඉක්මණට එන්නම් කියලයි ආවෙත්...”

යුවතිය බයාදු හඬින් කීවාය.

“මට පේන්නෙ අම්මට වඩා දුව බය වෙලා වගෙයි... බය වෙන්න එපා හලෝ, මං ඔයාව ස්ටුඩියෝ එකටයි එක්ක යන්නෙ..”

සිනාවෙන් මුව පුරවා ගත් අසෙල් කීවේය. යුවතියගේ දෙබැම ඉහළට එසැවිණි. කිසිවක් කියන්නට තැත් කළ නමුදු මුවින් හඬ පිට නොවීය.


***

“මෙයාගෙ සම්පූර්ණ ෆොටෝ එකක් ගන්න ඕන”

“හරි සර්, ඇඩ්වාන්ස් එක ගෙවල රිසිට් එක ගන්න. මිස් ඇතුලෙ කාමරයට ගිහින් ලෑස්ති වෙන්න. මං 
කැමරමන්ට එන්න කියන්නම්.”

කවුන්ටරයේ සිටි තරුණයා හට මුදල් ගෙවා රිසිට්පත ලබාගත් අසෙල්, සෙනුරි පිටතට එන තුරු රැඳී සිටියේය.

“හයියෝ... ඔයා ෆොටෝ එකටත් ඔහොමද හිටියේ?”

විශ්මයට පත්ව මාරුවෙන් මාරුවට තමා දෙසත් පාර දෙසත් බලමින් ඉදිරියට ඇදෙන යුවතිය දෙස බැලූ අසෙල් විමසුවේය.

“ඒක ඉතින් ෆොටෝ එක ගන්න දාට බලන්න බැරියැ.. ඒක නෙමේ, ඔයාට මොකටද මගෙ ෆොටෝ එකක්? ඒක මටද? නැත්නම් ඔයාටද?”

යුවතිය ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළාය.

“ඔයාගෙ ෆොටෝ එකක් ඔයාටම දෙන්න මට පිස්සුයැ... ඒක මට තියාගන්න ගත්තේ... හැමදාම මා ළඟ තියාගන්න...”

මනමාල හිනාවක් පාමින් අසෙල් පිළිවදන් දුන්නේය.

“ඉතින් දැන් මට එන්න කිව්වෙ ඕකටද? කෝ මට උපන්දින තෑග්ගක් නැද්ද?”

“ඉන්න ඉන්න... තියෙනවා...”

කරේ එල්ලාගෙන සිටි බෑගය විවෘත කර කුඩා බ්‍රවුන් පේපර් බෑගයක් අතට ගත් අසෙල් එය සෙනුරි අත තැබුවේය. කුමක්දැයි බලන තුරු යුවතිය නොඉවසිලිමත්ය.

“ඔයාට බලන්නම ඕන නං බලන්න ඉතින්..”
යුවතියගේ සිතැඟි හඳුනාගත් අසෙල් කීවේය.

බ්‍රවුන් පේපර් බෑගය විවෘත කළ ඈ තව තවත් පුදුමයට පත් වූවාය. එතුළ වූයේ කුඩා රන් මාලයක් සහ වළලු දෙකකි. මෙය ඈට මහමෙරක් තරම් වටී. වහා අසෙල්ව වැළඳ ගැනීමට සිතුණද පොදු ජනතාවගේ නෙතු ගැටෙන ඉසව්වේ එසේ හැසිරීම අනුචිත බැවින් ඈ ඒ අදහස මැඩ ගත්තාය.

“අනේ ගොඩාක් ලස්සනයි අසෙල් අයියා... ඔයාට හුඟාක් ස්තුතියි..”



අමුතුවෙන් ස්තුති අවැසි නැත. එය දුටු මොහොතේ සෙනුරි කෙතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වීද යන්න අසෙල් සියැසින් දුටුවේය. අහිංසක ඇගේ මුහුණ කොයිතරම් නම් සුන්දරද? ඔහු යුවතිය දෙස බලා මඳ සිනහවක් පෑවේය.

“සෙනුරි ඔයාගෙ පන්ති කවදද පටන් ගන්නෙ?”

අසෙල් ඇසුවේ හදිසියේ මතක් වූ යමක් අසන්නාක් මෙනි.

“ලබන සතියෙ ඉඳං යන්න ඕන අසෙල් අයියෙ... තවත් පහුවුනොත් පාඩම අල්ලගන්න බැරිවෙනවා.. දැනටමත් මං පරක්කුයි...”

“හ්ම්ම්... මට හෙට ඉඳං එන්න කියල අර අයිය කිව්ව... වැඩ ටික පුරුදු වුණාම මට තනියෙන් ඒක කරගෙන යන්න දෙන්නම් කිව්ව... ඔයාටත් ඕන වෙලාවක ඇවිත් යන්න පුළුවන්... පාර අයිනෙමයි... ම්ම්ම්.... නම....ආ.... නම කැළුම් ඉලෙක්ට්‍රොනික්ස්....”

“ඉස්සෙල්ල ඔයා වැඩ ටික පුරුදු වෙන්නකො.. ඊට පස්සෙ ඉඩ ලැබුණු වෙලාවක මං එන්නම්කො...අම්මෝ පැය දෙකක් ගිහින්...!!! මං යන්න ඕන අයියෙ...”

අත බැඳි ඔරලෝසුව දෙස බැලූ සෙනුරි කීවාය. පෙම්වතුන් එක්ව හිඳින විට කාලය ගත වනවාද නොදැනේ.. වෙන්වෙන්නටද අකමැතිය... ඒ පැය දෙක ඔවුනට ඇසිල්ලක් මෙන් දැනෙන්නට ඇත.

“හරි සෙනුරි පරිස්සමින් යන්න එහෙනම්...”

“ඔයත් පරිස්සමින්”

දෙදෙනාම අත් වනා එකිනෙකාගෙන් සමුගත්හ. නැවත හමුවන දිනය කවරක්දැයි සෙනුරි මෙන්ම අසෙල්ද නොදනී. 

8 comments:

  1. Replies
    1. හ්ම්ම්... දිගටම ලියමි...

      Delete
  2. උපන් දිනේ ජයයි නේ.. කෝ ඉතින් පාටි නැද්ද.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ රත්තරන් මාල වළලු දීල තියෙද්දි තව පාටිත් ඉල්ලුවම හරිද?

      Delete
  3. පාටියක් නෙවෙයි පාන් වාටියක්වත් දෙන්නේ නැහැලු කතුවරිය හරි ලෝබයි ලු. :P

    ReplyDelete
    Replies
    1. සෙනුරිගේ උපන්දිනේට කතුවරිය පාටි දෙන්නෙ මොකටද? මං නම් දෙන්නෙ කේක්...:P

      Delete
  4. මේ කතාව යන විදියට ඔයා මේක කොහොම ඉවර කරන්න යනවද කියල මට හිතා ගන්න බෑ.... කළු වළාකුලක් ලග පාතක නැත්තන් එච්චරයි......

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඉවර කරන හැටි මං දන්නවෝ.... කළු වලාකුළු...සුදු වලාකුළු...ඒ අස්සෙ පායන රිදී රේඛා.... මේ ඔක්කොම බලන්න දිගටම එන්නකෝ...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..