ලෝකෙට ආපු අය

Monday, March 26, 2012

~~~සඳයි තරුයි~~~ 4 කොටස


කලින් කොටස කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට... 


කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“හෙලෝ”
කතා කලේ පිරිමි කටහඬක් නිසා මේ සඳුනිල්ම වෙන්න ඇති කියල හිතාගෙන මාත් කතා කළා.

“හෙලෝ සඳුනිල්”

“ඔයා මාව දන්නවද?”
මේ යකාට පිස්සු.. දන්නවනම් කතා කරනවැයි

“නෑනේ. ඉතින් ඔයා කවුද කියල කියන්නකො”

“මම තමයි අපේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්”
කිරි අප්පට බල්ලෝ පැනපි. කවුද දන්නෙ?

“මම නම් ඒ වගක් දන්නෙ නෑ. ඔයා මොනවද කරන්නේ?”

“මම මැත්ස් කරන්නෙ.”

හ්ම්ම්ම් දැන් තමා මම පුල පුලා අහන්න බලං හිටපු ප්‍රශ්නෙ අහන්න යන්නෙ.
“ඇයි ඔයා මට කෝල් කරන්න එපා කිව්වෙ?”

“මට වැඩි වෙලා කතා කරන්න බෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න තියෙනවා. හැමදාම එයා එක්ක පැය දෙකක් කතා කරන්න ඕන. මම දැන් තියන්නම් තරූ. ජේසු පිහිටයි.”

“ම්ම්ම් හරි හරි සඳුනිල් , බුදු සරණයි”

හිතේ ප්‍රශ්න දෙක තුනක්ම ඉතුරු කරලා සඳුනිල් කෝල් එක කට් කළා.
ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් එයා මොකටද ෆේස්බුක් එකේ මං ගැන හොයන විදියේ මැසේජ් දාන්නේ? දැන් මම කාගෙන්ද මේ සඳුනිල් ගැන අහන්නේ? ආ... මැත්ස් එකේ ශානිකා ඉන්නවනෙ... හෙට ඉස්කෝලේ ගියාම අහල බලමු... මම තනියම කල්පනා කළා. ෆෝන් එක පැත්තකින් තියල පාඩම් කරන්න ගත්තා.

“සුදු මැණිකේ, මෙන්න සුදු අයියා ට්‍රිප් එක ගිහින් ඔයාට මොනාද ගෙනල්ලා”

“කෝ...... එයා මට කිව්වෙවත් නෑනේ.. මොකක්ද?”

“මොකක්ද කියල මෙන්න මේ පාර්සලය ලෙහල බලන්න ළමයෝ..”

“ෂා.... සුදු අයිය මට ටෙඩිබෙයා කෙනෙකුයි රුලං කේක් වගේකුයි ගෙනත්.. මේ....”

ලා නිල් පාට.. මගේ ආසම පාට. හරිම හුරුබුහුටි  ටෙඩිබෙයාව අතට අරන් මම ඇඳට ගිහින් තිබ්බා.. සුදු අයිය දන්නව මම ආස පාට.. ආවදෙන්කෝ හොරා..

“කොයිවෙලේද අම්මේ මේක ගෙනාවේ?”

“ඔයා නිදාගෙන ඉද්දිනේ අයියා ආවෙ. මට කිව්වා රෑ වෙලා නංගිට දෙන්න කියල..”

“අම්මෝ අයියත් නෝටි, අම්මත් නෝටි... අම්මේ මට බඩගිනි. අපි කමුද?”



                                                                                                                                                       
“හරි හරි...ඉන්න මම පපඩම් වගේකුත් බැද්ද”

අම්ම බත් එක බෙදනකල් මම මේසෙ ගාව ඉඳගෙන ඉරිදා පත්තරේ බැලුවා. අම්ම කෑම එක එතෙන්ටම ගෙනත් දුන්නා.

තාම 9 ටත් නෑනේ. දැන්ම නිදාගෙන බෑ. විභාගේ කරන අවුරුද්ද වෙලා මෙහෙම පාඩම් කරලා බෑ.. තව ටිකක් පාඩම් කරන්න ඕන. එහෙම හිතපු මම කාලා මූණත් හෝදගෙන ආයෙමත් මේසෙට ගියා. කොච්චර පාඩම් කළත් වැඩි හරිය අමතක වෙන ක්‍රියාකාරී ශාකය පාඩමේ ද්විබීජ පත්‍රී කඳක ද්විතික වර්ධනය මාතෘකාව තෝරගෙන පාඩම් කරන්න ගත්තා.. රෑ වෙනකල් පාඩම් කරන නිසා මට කෝපි කොප්පයකුත් හදල තියෙනවා කියල අම්ම කියනව මට යන්තමට ඇහුණා. බත් කාපු ගමන් කාටද කෝපි බොන්න පුළුවන්.. මම දිගටම පාඩම් කළා. ෆෝන් එකට මොනාහරි මැසේජ් ඇවිත් ඇති කියල හිතුණත් ඒ ගැන මම වැඩි අවධානයක් දුන්නෙ නෑ..

10.30 ට විතර කෝපි බීල දත් මැදපු මම 11.30 පහුවෙලා ටිකකින් නිදාගත්තෙ හෙටත් පාන්දර නැගිටින්න තියෙන නිසා..

----------------------------------------------------------------------------------------------------

“ට්‍රින්ග්..................... ට්‍රින්ග්...............”

අම්ම අළුතෙන් ගෙනත් තිබ්බ එලාම් ඔරලෝසුවේ කන් අඩි පුපුරණ සද්දෙට මාව ඇහැරුණේ උඩ විසි වෙලා.


“හයියෝ... එක්කෙනෙක්ට පව් වැඩේලු”
මෙන්න බොලේ සුදු අයියා නැගිටලා. එයා ගෙදර ආවෙ කොයි වෙලේද?

අම්මේ... සුදු අයියා ඊයේ ගෙදර ආවෙ නෑනේ.. මේ කොහොමද මෙහෙ ඉන්නෙ?”


“එයා ඊයේ එද්දී පාන්දර 1.30 යි තරූ..”

අම්මෝ 1.30 ට ඇවිල්ලත් මෙයා නැගිටලද? විනාසයි. දැන් මට නොනිඳාම තමා ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්.. ඉක්මණට ලෑස්ති වෙලා ඉස්කෝලේ ගියා. 

තරුෂි, අද ඔයා පංතියේ ගෑණු ළමයින්ගෙ ෆෝන් චෙක් කරන්න ඕන

මම ඉස්කෝලේ එනකල් ඉඳලා මාව පැත්තකට අරගෙන පංතිභාර මිස් එහෙම කියද්දී මාව ගැස්සුනා.. ඇයි දෙය්යනේ මමත් එදා ෆෝන් එක ගෙනිහින් තිබ්බේ..

“හරි මිස්”
යන්තම් වචනේ දාල ශේප් උනා.

“මේ.. අහගනිල්ල කෙල්ලනේ.. උඹල ෆෝන් ගෙනත් තියෙනවා නම් බොහොම පරිස්සමින් තියා ගනිල්ලා.. මිස්ට අහු උණොත් මම ඉවරයි... මාව බේරපල්ලා”

ෆිසික්ස් පීරියඩ් එක එනකල් බලං උන්න ශානිකාගෙන් සඳුනිල් ගැන අහල බලන්න.. අනේ බලමු මෙයා වත් දන්නවද කියලා..

“ශානිකා”

“ඇයි තරූ?”

“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා..”

“අහන්න”

“ඔයා බෝයිස්‌ එකේ මැත්ස් කරන ළමයෙක්ව දන්නවද සඳුනිල් කියලා?”

“ම්ම්ම්ම්... අපේ වයසේද?”

“ඔව්. අපේ වයසේ තමා”

“නෑ තරූ.. එහෙම කෙනෙක්ව නම් මම දන්නෙ නෑ”

“එයා ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් කිව්වා.. දන්නෙම නැද්ද?”

“නෑ අනේ මම ඇහුවමයි එහෙම ළමයෙක්”

මොනා කරන්නද එයාගෙන්ම අහන්න වෙනව ඉතිං.. ඉක්මන් කොටයිලු.. අනික කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ගැන මොකට වැඩ වෙන්නද මම.. පංති නැති දවසක් වෙච්ච සඳුදා පුරුදු විදියට මම ගෙදර ගියා..

මම දන්නෙත් නෑ ෆෝන් එක ඔෆ් වෙලා .. කොයි වෙලේ ඕෆ් වුණාද දන්නේ නෑ.. දවසටම ඇල්ලුවෙවත් නෑ..

චාර්ජර් එකට ගහලා ඔන් කළා.. ටිකකින් මැසේජ් පෝලිමයි.. ඇලට් ගොඩයි..

Hi tharu, Good night. Budu saranai.

අනේ මන්ද සඳුනිල් තේරුම් ගන්න අමාරුයි වගේ.. මොකෝ තකහනියෙ මට ගුඩ් නයිට් කියන්නේ.. ඒ මොනා වෙතත් ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ ඊයේ රෑ.. රිප්ලයි කරන්න ඕන නෑනේ ඒකට දැන්..

ඇඟ හෝදලා රෙදි හෝදගෙන ඇවිත් බත් කන්න ගත්තු වෙලේ ඉඳං මම කල්පනා කලේ එකම දෙයයි..

අම්ම කෑ ගහනවා ඒ අස්සේ..

“මොනාද ළමයෝ බත් එක පහුරු ගගා අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?”

------------------------------------------------------------------------------------------------------------
දැනගන්න ඊළඟ කොටස සමඟ එකතුවෙන්න  !!!


Wednesday, March 21, 2012

මේ ගැනත් හිතන්න


මීළඟට ලියන්නේ සඳයි තරුයි කතාවේ  4 වෙනි කොටස කියල දැඩි තීරණයක් හිටපි මට හදිස්සියේ ඒ තීරණේ වෙනස් කරන්නට සිද්ධ වුණා.. ඒ ඊයේ රාත්‍රියේ මට දකින්නට ලැබුණු ඡායාරූප කීපයක් නිසා.. තව හරියටම මාසයක කාලයකින් රියදුරු බලපත්‍රය ලබාගන්න ඉන්න මගේ සිත මේ පින්තූර දැක්කම කවදාවත් නොවූ තරමට සසල වුණා..

දැන් මම ඔයාලටත් ඒ පින්තූර ටික පෙන්නන්න ලෑස්තියි. හැබැයි අධික ලෙස කම්පනයට පත් වෙන අය ඉන්නවා නම් මේ ලිපිය කියවන එක නවත්තල දාල දැන්මම යන්න කියල ඉල්ලන්නේ බොහොම කරුණාවෙන්... එහෙනම් මේ පින්තූර දිහා බලන්න..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.







දැක්ක නේද පින්තූර ටික... එහෙනම් දැන් කතාවත් අහන්න..

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මොරටුව ප්‍රදේශයේ.. එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි බෝනික්කෙක් වගේ අවුරුදු අටක් වයස පුංචි දෝණි කෙනෙකුයි මෝටර් සයිකලේ ගමනක් යනවා... පිටිපස්සෙන් ආපු වාහනයක් මෝටර් සයිකලය හැප්පීම නිසා අම්මයි තාත්තයි ළමයයි විසි වෙනවා.. තාත්තා විසි වෙලා ගිහින් වාහනයකට අසු නොවී බේරෙන්නේ අනූ නමයෙන්. අම්මටත් අතේ තුවාලයක් සහිතව සිදුවන මේ අනතුරේ අවාසනාවන්තම සිදුවීම ඔයාල දැන් දැකල ඉවරයි. මලක් වගේ හිටපු පුංචි කෙල්ල විසි වෙලා වැටෙන්නේ වාහනයක රෝදයක් යටට. වාහනය ලොරියක්ද බසයක්ද යන්න මා හරියට දන්නෙ නෑ.. විශ්වාස කරන්න මෙය නවතා තිබූ වාහනයක්.. ඒ කාලකන්ණි රියදුරා නවතා තිබූ වාහනය ඉදිරියට ධාවනය කිරීම වෙනුවට එක්වරම වාහනය පසුපසට ධාවනය කළා.. ප්‍රථිපලය....  2 හා 3 පින්තූර බැලූ විට පැහැදිලියි නේද? මෙතන වරද කාගේද? පරිස්සමින් අනුන්ට කරදරයක් නොවන ලෙස මෝටර් සයිකලය ධාවනය කළ තාත්තගේද? නොසැලකිලිමත් ලෙස මෝටර් සයිකලය හැප්පු රියදුරාගේද? එහෙමත් නැත්නම් අවිචාරවත් ලෙස රිය පසුපසට පැදවූ රියදුරාගේද?

තවත් පින්තූර ටිකක් දැන් බලමු.

කලින් වගේම කියන්නට තියෙන්නේ බලන්නට අමාරු අය බලන්නට එපා... මේ පින්තූර කලින් ඒවාටත් වඩා භයානක වෙන්න පුලුවන්.. එහෙනම් හිත හයිය අය එන්න බලන්න..








මේ අයියා දිහා බලන්න... හැමෝම ආරක්ෂිතයි කියන හෙල්මට් එකක් දාගෙන සිටින එයාගෙ හෙල්මට් එකට වෙලා තියෙන දේ පැහැදිලියි නේද? හෙල්මට් එක දෙකට වෙන්වෙලා ,පටිය බෙල්ලෙ හිරවෙලා තියෙන හැටි පේනවා නේද? එයාගෙ කකුල තියෙන හැටි දැක්කද? ඇඹරිලා උඩින් ඇවිත් ... කලිසමත් ඉරිලා කකුලට වෙලා තියෙන විපර්යාසයට..
තව එකම එකක් තියෙනවා.. ඒකත් බලන්න..

මේක දිහා බැලුවම වෙන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේද? මේක ට්‍රක් එකකට අහු වුණ මවුන්ටන් බයිසිකල් කරුවෙක්ගේ පින්තුරයක්..




ලර්නර්ස් යද්දී බයික් ලයිෂන් වලට ඉල්ලුම් කළ නිසාත්, මගේ කරදරේ නිසා පුරුදු වෙන්න බයික් එකක් නැති කමට අරන් දුන්න නිසාත්, ට්‍රයල් ළඟ නිසාත්.. ගෙදර වත්තේ පුරුදු වෙලා ලයිෂන් එක ගත්තත් ඊට පස්සේ ඒක අල්ලන්නවත් මට හිතෙන්නේ නෑ..

බයික් වලට විතරක් නෙමේ බයිසිකල් වලටත් මේ කතාව පොදුයි.. මොකද ඒ අවස්ථා දෙකේදීම ඉස්සරහින් හැප්පුනත් පිටිපස්සෙන් හැප්පුනත් අනතුරු වෙන්න තියෙන අවස්තාව බොහොම වැඩියි. නමුත් රෝද 4 වාහන වල ආසන පටි තියෙනවා. ඒවා දාගෙන වාහනය ධාවනය කලාම වෙන්න තියෙන අනතුරු 99.99%ක්ම අඩුයි.. අනික රෝද 4 වාහනයක් පිටිපස්සෙන් හැප්පුනාම  වෙන්න තියෙන අනතුර සෑහෙන දුරට අඩුයි.. මම අනතුරු නොවෙනවා කියන්නෙ නෑ... නමුත් බයිසිකල් සහ බයික් වලට වඩා ආරක්ෂිතයි.. ඉතිං අම්ම අවුරුදු ගාණක් අත පය නොකඩා දුක් විඳලා අපිව හැදුව නම් ඒ ජීවිතයට වටිනාකමක් දෙන්න අපි දැනගන්න ඕන.

නිකමට හිතල බලන්න ඔයා හදිස්සියේ නැති උණොත් ඔයාට ආදරය කරන කීදෙනෙක් මේ ලෝකේ දුක් වෙයිද කියල.. අපි කවද හරි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක ඇත්ත. ඒත් අපි කොයිතරම් සුපරික්ෂාකාරී විදියට වාහනය ධාවනය කළත් අපිට පාරේ යන මිනිස්සු ගැන විශ්වාසය තියන්න පුලුවන්ද? බෑ... ඉතිං හිතන්න... වාහන ධාවනය කරන හැමෝම..

ලෝකේ තියෙන භයානකම වාහනය බයික් එක බව මේ වෙනකොට මගේ සිතට දැනිලා ඉවරයි.. එකඟ වෙන්නෝ පිළිගනිත්වා.. !!! එකඟ නොවන්නන්ට ලිපිය කියෙව්වට ස්තුතියි !!!

බ්ලොග් එකේ දාන්න තරම් මේ පින්තූර දරුණු වැඩිද කියල හිතුණා.. ඒත් මම දැම්ම... හිත රිදුණා නම් සමාවෙන්න...



Saturday, March 17, 2012

~~~සඳයි තරුයි~~~ 3 කොටස


කලින් කොටස් කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට...


කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------
අද එතැන් සිට... 

අපි දෙන්න පංතියට යද්දී අර දෙන්න අපිට ඉඩක් අල්ලගෙන තිබුණා. ගිය ගමන්ම කළේ උදේ කෑමට ගත්තු එව්වා කාල දාපු එක.. ඊට පස්සෙ කාඩ් එක අරගෙන පෝලිමට ගියා. කොහොමටත් කාඩ් ලකුණු කරන්න පැය බාගයක්වත් යන එකේ කයියක් ගහන්න හොඳ වෙලාව.. මාෂියි, මධූයි, මල්කියයි බරටම කයිය..

“මචං, අදනම් තරූ මනෝ පාර ගහල ඉන්නෙ.. මොකෝ දන්නෙ නෑ...”

එහෙම කියා කියා මාෂි හිනා වුණා. එන පොට හොඳ නෑ වගේ.
“ෂික්.. මුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බෑ”
 මනෝ ලෝකයෙන් මිදිලා මම පියවි ලෝකෙට ආවා.

“ නෑ නෑ එහෙම දෙයක් නෑ”
මම එහෙම කිව්වට උන්දැලට මොනා හරි හිතෙන්නම ඇති..මටත් මොකෝ...

උදේ 6.30 ඉඳලා හවස 5.30 වෙනකල් පැවැත්වුණු පංතියේ විවේක කාල දෙකේදී ඇති පදම් විහිලු තහළු කර කර වෙනද වගේම සතුටින් ඉගෙන ගත්තා.. පංති ඇරිච්ච ගමන් ගාල කඩාගත්තු හරක් රංචුව වගේ එළියට යන්න පොරකන ළමයි කට්ටියට අපි කට්ටියත් එකතු වුණා. ජා ඇලට එනකල් එකට ආවට එතනින් එහාට මම තනියම... ඉස්සෙල්ලම බස් එක ආවේ මට.  

“එහෙනම් තුන් දෙනාම පරිස්සමින් යමල්ලා, බුදු සරණයි”
කියලා අත වනාගෙන බස් එකට නැගපු මම යන්තමින් හරි අල්ලගන්න සීට් එකක කොණක් හෙව්වේ ඒ වෙලාවට බස් එකක ඉඳගෙන යාම හීනයක් වගේ හින්ද.. ගෙදර එද්දී අටට පහයි වෙලාව..

“තරූ, අන්න මම ඔයාට උණු වතුර ටිකකුත් බේසමට දැම්ම..ඉක්මණට ඇඟ හෝදගෙන එන්න දුවේ,මහන්සිත් ඇතිනේ.. මම කෑම එක බෙදල මේසෙ උඩ වහල ඇති..”
අම්ම එහෙම කියාගෙන සාලෙට ආවෙ ප්‍රවෘත්ති බලන්න..

“හරි අම්මේ” 

කියල මම ඉක්මණට ඇඟ හෝදගෙන රෑ කෑම කෑවා. පහුවදා ඉරිදා දවසක් උණු නිසා මට නිවාඩු.. ඒ නිසා දෙපාරක් නොහිතම මම ෆේස්බුක් ලොග් උනේ ප්‍රශ්නෙට උත්තරේ බලන්න.. මැසේජ් එකක් තියෙනවා..!!!



Sandunil Nimantha Dabarera 
Oya log wena welawak kiyanna tharushi. Mama online ennam. ( 3 hours ago)
 මළ කෙළියයි.. මෙන්න මෙයා මට ඔන්ලයින් එන්නලු.. කල්පනා කරල කරලා මම යැව්වා මැසේජ් එකක්..

Mata ehema welawak kiyanna amarui. Oyage photo ekak wath nadda oyawa adura ganna puluwan?


“සුදු මැණිකේ, අන්න සුදු අයියා ඔයාට ලියුමක් ටයිප් කරල තියන්න කියල දීල ගියා. හෙට උදේ එනවලු ගෙනියන්න.”
සාලෙ ඉඳං අම්ම කෑ ගැහුවා..

“එක පාරටම මතක් වෙලාද කොහෙද”
මට මොකටද ඒ වගක්.. කරන්න කියපු වැඩේ කරලා තිබ්බ නම් ඉවරනේ..

“හරි හරි මම නිදාගන්න කලින් කරලා තියන්නාම්...” 
සාලේ දෙක වෙන්න මාත් කෑ ගැහුවා.මේසෙ උඩ තියල ගිහින් තිබ්බ ලියුම අතට ගත්තු මම ඒක ටයිප් කරල ඉවරවෙලාම නිදාගන්නව කියල හිතා ගත්තා.

“අයියෝ, මේක ලියුමක්යැ මාගලක් නෙ.. මෙයත් වැඩ දෙන්නෙම එපා වෙන වෙලාවටනේ ”

මොනා උණත් ඉතිං මගෙ අයියනෙ.. ඔන්න ඔහේ ටයිප් කරලා දැම්ම.. අන්තිම හරියෙදි නම් ඉන්න බෑ.. මොනා ටයිප් කළාද මතකත් නෑ.. සුදු අයියා හෙට ආවම වැරදි හදනවා කියල මාත් නිදාගන්න ගියා..
----------------------------------------------------------------------------------------------------

“නංගි, අපෝ කම්මැලිච්චි.. තාම නිදිද? කෝ මගේ ලියුම ගැහුවද?”
මම නැගිටින්නත් කලින් සුදු අයියා ගෙදර ඇවිදින්.

“ආ අයිය කොයි වෙලේද ආවෙ? ඔව් ඔව්, මම ඊයෙ රෑ ඒක ගහලමයි නිදා ගත්තේ.. ඉන්න පෙන් එකට දාල දෙන්නම්..”
ඇඟමැලි කඩ කඩ ඇඳෙන් බිමට බැහැපු මම වෙරි කාරයා වගේ වැනි වැනි කොම්පියුටරේ ලඟට ගිහින් ඒක ඔන් කළා.

“හෝව් හෝව් වැරදි එහෙම තියෙනවද බලන්න ඕන. මම ඊයේ රෑ නිදිමතේ ගැහුවේ”  නැත්නම්  එහෙම මෙයා මාව කයි. වෙලාවට වැරදි තිබ්බෙත් නෑ හැබැයි..

“හා හා හරි හරි... ඔන්න වැඩේ කළා”

මට ගොඩක්ම ළඟින් ආදරෙන් හිටියේ පොඩි අයියා උණත් එයා රට ගියාට පස්සෙ සුදු අයියා මට යාළුවෙක් උණා. වයසින් මමයි සුදු අයියයි ගොඩක් ඈත උණත් එයා හොඳ යාළුවෙක්..



“අම්මේ, මම යනවා”

සුදු අයිය එහෙම කියද්දී මම තවම දත් මදිනවා..

“මොකද හලෝ අපි නැඟිටින්නත්  කලින් කොහේ යන්නද? මෙන්න මෙහෙ උදේට කාල යන්න ඉන්නවකෝ”

“අයියෝ පරක්කු වෙන්න බෑ ඕයි. මට වැඩ තියෙනවා..”

“හරි වැඩ.. මේ ඉරිදා උදේ පාන්දර? මේ නිකං බොරු නොකිය ඉන්නවා”

අන්තිමේ කොහොම හරි සුදු අයියා තව ටිකක් ගෙදර උන්නේ මගෙ පෙරැත්තය නිසාමයි.

“අම්මේ, තරූ එක්ක නම් ලේසියෙන් කතා කරල දිනන්න හම්බෙන්නේ නෑ. මේකි නම් ගිරවියක්ම තමා”

උදේටත් කාලා දවල්ටත් කෑම එකක් අරගෙන බයිසිකල් එකේ තාත්තව තියාගෙන පාර ගාවට ගියපු අයියා එතනින් බස් එකක නැගල ගියා. තාත්තා බයිසිකලේ ගෙදර ආවේ ඉරිදා පත්තරෙත් අරං. එයා දන්නවා මම පත්තර කියවන බව..

“ඔහොම කිරි බීල වැඩක්  තියෙනවද ළමයෝ?”

අම්ම උදේම හදල තියෙන රසම රස කිරි වීදුරුව ඇල් වතුර වෙනකල් ඉඳපු මම හැමදාම කිරි බොද්දි අම්ම බනිනවා..

“අනේ ඉතිං මට කිරි එකවත් නිදහසේ බොන්න බැරි හැටියක්. රස්නෙන් බොන්න බැරි නිසානේ නිමිලා බොන්නෙ..”
පණ්ඩිතකම් කියවන්න යන්නේ මොකටද? ඔන්න ඔහේ බීල දැම්ම එක උගුරට.. කෑම එක අරගෙන පත්තරෙත් අකුලගෙන මම සාලෙට ගියා.. ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඒ ගමන..
මැසේජ් එකක්.. අප්පටසිරි.. කවුද බොලේ මේ විවේකි ඉරිදා උදේ පාන්දරම මට මැසේජ් එවන්නේ !!!

ම්ම්ම්ම්... බලමු..

මැසේජ් එක මල්කියගෙන්
Tharu, Don’t try to make us fool.. Uba ka gana hari hithanawa neda? Mama waradi nathnam ara eda apen ahapu boy gana……..


හප්පච්චියෝ, මේකි හිත් කියවන්නත් අරගෙන.. දැන් මොකෝ කරන්නේ? කියනවද? නැද්ද? මම ප්‍රශ්න දෙකක හිරවෙලා...

මොනා කිව්වත් මල් මගේ හොඳම යාළුවෙක් බොරු කියල මොකටද? තුන් දෙනාටම එක පාර කියනවා, එකෙක්ට ස්පෙෂල් කරන්න ඕන නෑ..

Mama heta scl awama kiyannamko machan. Bye. Bs


උදේ පත්තරේ බලලා ඉවර වෙලා කම්මැලි කමට සිංදුවක් අහන්න හිතාගෙන මම 
කොම්පියුටර් එක දැම්ම..

වලාකුලට පාවෙන්නට
කියාදෙන්නේ නෑ...
කිරිල්ලියට ගී ගයන්න
උගන්නන්න බෑ...

ලස්සන සිංදුවක මුල් පද පේළි මුමුණ මුමුණ මම ෆේස්බුක් ආව උදේම නිවාඩු දවසේ 
යාළුවෙක් එක්ක චැට් එකක්වත් දාන්න.. ෆෝන් එකෙන්ම මැසේජ් යවන්න කොහේ තියෙන සල්ලියක්ද අපිට..

මේ දවස් ටිකේම වගේ අදත් උදේම මැසේජ් එකක්..

Sandunil   Nimantha Dabarera
Oya ape scl eke Ishan wa dannawa neda? Eyage photo ekaka mama tag karala athi. Ona nam balanna.. ( 10 minutes ago)


හෑ.. මෙයා ඉන්න ෆොටෝ එකක්..!! හිත හිතා ඉන්නේ මොකටද තව.. ඉක්මණට බලපන් කෙල්ලේ.” හිත මට ඒක බලලා ඉන්න බල කළා. හිතට ඉඩ දුන්නු මම ෆොටෝ එක උඩ එයාගෙ නම හෙව්වා..

අහ්හ්... මෙයාද මේ සඳුනිල්... හයියෝ කවුද දන්නෙ මේ මෙයා කියලා
නම හොයාගත්තම මාව පුදුම උණා. මෙයා නම් ඉතින් මාව නොදැන ඉන්න බෑ නේ කොහොමටවත්.. ඉස්සර අපේ ගණන් පංති ආව මටත් මතකයි.. අපි ඉතින් නම දන්නවයි...
මම ෆොටෝ එකට ලයික් එකක් දැම්ම.. කමෙන්ට් එකකුත් දාන්න ලෑස්ති උණා විතරයි, තව මැසේජ් එකක්..!!!
                                    
Sandunil   Nimantha Dabarera

Hi Tharu, Good morning!!! Kohomada?

මෙන්න බොලේ මේ ටිකට මම තරූෂි නෙමේ තරූ වෙලා... එයා දැනගත්තනේ මම ඉන්නවා කියල ...

Hi, good morning. Waradak na. mama hodin. Tika dawasakata mata fb enna wenne na.
හිතලම බොරුවක් කිව්වා.. මොනා කියයිද දන්නෙ නෑ... ම්ම්ම්... බලමු...

Sandunil   Nimantha Dabarera
E moko? Ehenam puluwan welawaka mis call ekak msg ekak ewanna.. Habai call karanna epa.

ළඟම තිබ්බ පෙබරවාරි විදුසර පත්තරේ අරගෙන මුල් පිටුවෙම නම්බර් එක ලියාගත්තා.. ඒත් ඇයි ඒ කෝල් කරන්න එපා කිව්වේ? හිතට ප්‍රශ්නයක්.....

ටික කාලයකට මම ෆේස්බුක් එන්නෙ නෑ කියල ස්ටේටස් එකකුත් දාල මම ලොග් අවුට් වුණා. ෆෝන් එකට ඉක්මණට නම්බර් එක සේව් කරගෙන පත්තරේ පත්තර ගොඩේ යටින්ම තිබ්බ.. අම්ම හරි සුදු අයිය හරි දැක්කොත් ඉවරයිනේ... තාත්තා නම් මගේ පොත් පත් එක්ක ගණුදෙනුවක් නෑ...

නිවාඩු ඉරිදා දවසේ කොහේදෝ මන්ද ගමනක් යනවා කියල අම්මට කියල තාත්තා ගෙදරින් එළියට බැස්සෙ සුදු අයිය බත් කද්දි.. අම්මත් වත්ත පල්ලෙහාට යනකල් බල බල හිටපු මම ගැහුවා සඳුනිල්ට මිස් කෝල් එකක්..

ආ.. මෙයා රින්ගින් ටෝන් වලට සිංදුවක් දාල අපිට අහන්න... සුරේන්ද්‍ර කියන සිංදුවක්.. ආන්සර් කළොත් එහෙම..
මම කට් කළා. විනාඩි පහකින් විතර ෆෝන් එකට මැසේජ් එකක් ආව..

Who are you?

හිතුවත් වගේ මැසේජ් එක සඳුනිල්ගෙන්..

Hi Sandunil, Mama tharushi
හිතටත් කලින් ඉක්මන්උණ මම ටයිප් කරලා උත්තරේ යවලත් ඉවරයි...

Ah, me oyada? Ok ok.. Bye.Tc. God bless

ආපු රිප්ලයි එකෙන් මාව ටිකක් ගැස්සුනා..
ගෝඩ් බ්ලෙස් කියන්නෙ මොකෝ? මෙයා කතෝලිකද එතකොට? වෙන්නත් බැරි නෑ. වාසගම දබරේරා නෙ.. ආයෙමත් හිත පිළිතුරු නොදන්න ප්‍රශ්නයක් ළඟ නැවතුනා. ඒත් මම මොකටද ඒකට ගැස්සෙන්නේ.. 

හෙට මල්කියාගෙන් අහගන්න බැරිය.. අපේ සෙට් එකේ එකම නත්තල් කෙල්ල වුනේ මල්කි. කොහොමත් හෙට ඉස්කෝලේ ගියාම මේ විස්තර කට්ටියටම කියන්නත් ඕන..

Yeah, Mama padam kara gaman. Ok. Bye. Bs

රිප්ලයි කරලා ෆෝන් එකේ රින්ගින් ටෝන් සයිලන්ට් දාල ලාච්චුවේ දාල වැහුවේ ඒක ළඟ තියං පාඩම් කරන එක අමාරු නිසා..

හවස හතරට පහට විතර ආයෙමත් ෆෝන් එක අරන් බැලුවා.. මිස් කෝල් තුනයි. මැසේජ්  දෙකයි.මිස් කෝල් තුනෙන් දෙකක්ම සඳුනිල්ගේ..
ෂික්.. ඒ කියන්නෙ මෙයා මට කෝල් කළා වත්ද? අයියෝ දැන් එයා හිතනවා ඇති මම ලොකුකමට කතා නොකර ඉන්නව කියල...
මැසේජ් එකකුත් එයාගෙන්..

Hi tharu, oya mokada karanne? Oyath ekka tikak katha karanna asai.

ම්ම්ම් ඒ පාර මොකෝ මේ?... එවල තියෙන්නෙත් හවස තුනට විතර..
කමක් නෑ, තාත්තත් ගෙදර නෑ නෙ..අම්ම රෑ 8 ප්‍රවෘත්ති බලන්න ගියාම කෝල් එකක් දෙනවා.. දැන් මම හොඳ ළමය වෙන්න මොනා හරි කියන්නත් එපැයි.

Sorry halo, mama amma ekka katha kara kara hitiye. Dakke na. I’ll call u later.

පිළිතුරක් එයි කියල බලං හිටියත් ආවෙ නෑ.

“අම්මේ... මට බඩගිනි වගේ.. කමුද?”

“අනේ අනේ, පොඩි නෝනට දැන්මම බඩගිනි උනාද? තාම 7 ටත් නෑනේ.. යන්න ගිහින් ඇඟ හොදන් එන්න..”
අම්ම සිරික්කිය දැම්මට මම ආස කෑම ජාති දෙක තුනක්ම හදල...

“හරී, ඔන්න මම ආවා... දැන් දෙන්නකෝ මට බත්...”
අම්මගේ පොඩි එකානේ, හුරතලේට ඇඟේ දැවටුනාට අම්ම මොකුත් කියන්නෙ නෑනෙ.
8 වෙනකල් උන්නේ නොඉවසිල්ලෙන්. අම්ම ගියා පුරුදු විදියටම සාලෙට..

මට හරිම පුදුමයි. ගොඩක් කාලෙකින් ඇහැට දැකලත් නැති, ජීවිතේටම කතා කරලත් නැති කොල්ලෙක් එක්ක මං ෆෝන් එකෙන් කතා කරන්න හදනවා..
ගත්තා ඇමතුමක් සඳුනිල්ට.. එහා පැත්තෙන් ඇහෙන්නේ උදේ ඇහුණු සිංදුව නෙමේ වෙන එකක්.. ගොඩක් වෙලා වැදුණා.. තව සිංදුවක් පටන් ගත්තා...

“මෙයා අපිට සිංදු අහන්නද දන්නෙ නෑ නම්බර් එක දුන්නේ..
ගොඩක් වෙලාවකට පස්සේ කට් වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී බලාපොරොත්තු නොවූ විදියට කවුරු හරි එහා කොණින් කතා කළා...

-------------------------------------------------------------------------------------------------------
සඳුනිල් කතා කරන්න වෙලා ගියේ ඇයි? කෝල් එකේදී තරූෂිට කිව්වේ මොනාද?

හමුවෙමු තවත් කුතුහලය රැඳි කොටසකින්...