ලෝකෙට ආපු අය

Monday, June 25, 2012

~~~සඳයි තරුයි~~~ 7 කොටස


ඔන්න අද කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක...



  කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“මාෂි, කෝ මල් තාම ඉස්කෝලෙ ආවෙ නැද්ද?”

තරප්පු පෙළ නැගලා ඉස්සෙල්ලාම හම්බවෙන පන්ති තුන පහුකරගෙන අපේ පංතියට ඇතුළු වෙන දොර ගාව ඉඳං මම එහෙම ඇහුවෙ තවමත් මල්කිගේ බෑග් එක පුටුව උඩ නොතිබුණ හින්දයි.

“මල් මල් හැමවෙලේම මල්. දැන් මේකි මල් එක්කමයි කතාව. අපිව මතකත් නෑ වෙලාවකට”
මාෂි මදූගෙ මූණ දිහා බලාගෙන එහෙම කිව්වෙ නෝක්කාඩුවට වගේ.

“අනේ, එහෙම දෙයක් නෑ බං. අපි ඉතින් යාළුවොනෙ නේ....”

කවට හිනාවක්‌ මූණට දාගෙන මම එහෙම කියාගෙනම ආයෙමත් පහළට බහින්න ලෑස්ති වුණේ අපේ පන්තියේ ගැහැණු ළමයින්ට පැවරිලා තිබ්බ පිරිසිදු කිරීම් කටයුතු ඉවර කරලද බලන්න..

“තරූ, අද ජයනිට මල් ගේන්න අමතක වෙලා”

දඩිබිඩි ගාලා තරප්පු පෙළ බහින මාව අල්ලන්න ගිහින් චමනි බිම නොවැටී බේරුණේ අනූනමයෙන්.

“ම්ම්ම්...එහෙමද? එහෙනම් ප්‍රවීන් අයියලගේ පංතියෙන් අදට මල් ටිකක් ඉල්ලගන්න වැඩ කරල තියන්නකො. ආයෙ මම පංතියට එන්නෙ පළවෙනි බෙල් එක ගැහුවට පස්සෙ”

හිතේ මොනතරම් දේවල් තිබුණත් පංති නායිකාව විදියට එදිනෙදා පංතියේ වැඩකටයුතු ටික ඒ විදියටම ඉටුකරන්න මම අතපසු කළේ නැහැ. පිරිසිදු කරන තැනට ගිහින් විනාඩි පහළවක් විතර යනකොට දිගට දිගේ කොණ්ඩ කරල් දෙකත් පද්ද පද්ද ඈත තියාම හිනාවෙවී මල්කි එනවා මම දැක්කා.

“ගුඩ් මෝනින් තරූ, මම දැනුයි ආවෙ බං. උඹේ වැඩ ඉවර නම් යමුද කැන්ටිම පැත්තේ”

“ගුඩ්මෝනින් මල්...ඔයාලා පංතියට යන්න. අංශ රැස්වීමට යන්න මම එනකල් ඉන්න. මම ඉක්මණට එනවා”

මල්කි මාවත් ඇදගෙන කැන්ටිම දිහාට යද්දි කෑගහල ඒක කියපු පාරට ළඟින් ගිය මිස්ල දෙන්නෙකුත් හැරිලා බැලුවා..

“මොකද බං උදේ පාන්දර මාව හෙව්වෙ. මෙලහකට අර සඳුනිල් කාරයගෙ මොකක් හරි බයිලයක් වෙන්න ඇති.”මේකිත් මේ උදේ පාන්දර පේන කියනවද මන්ද ළඟ තියෙන මාළු බනිස් ගෙඩිය කන්නෙ නැතුව.

“හරි හරි එයා ගැන තමා”

“ආව් ආව් එයා ගැන කියද්දිත් මේකිගෙ මූණ පෙම් පාට....... මොකෝ කොල්ල උඹට කැමතියි කිව්වද?”

ඔන්න ඉතින් ආයෙමත් පටන් ගත්ත සාත්තර කියන්න. දැන් නම් හරියන්නෙ නෑ .. කියන්නම වෙනව විස්තරේ.

“ඔව්නෙ බං... එයා මට කැමතියිලුනේ...ඊයෙ රෑ මට මැසේජ් එකක් එව්වනේ... මම රිප්ලයි එකක්වත් යැව්වෙ නෑ. මොනා කියන්නද තේරෙන්නෙ නෑ ... ඔළුව විකාරයි මට”


“ඕන කෙල්ලෙක් ඔය වෙලාවට පිස්සු වැටෙනව තමයි බං. වාර විභාගෙ අනිත් සතියෙ. මහ විභාගෙට මාස හතරකුත් නෑ තව. විභාගෙ ඉවරවෙනකල් වත් පොඩ්ඩක් ශේප් එකේ ඉන්න බලපං.. දන්නවනෙ උඹලගෙ ගෙදර කට්ටිය ගැන මට වඩා හොඳට උඹ”

“ඒක නම් ඇත්ත මල්, මේ විභාගෙ අස්සෙ ඔහොම එකකට පැටලුනොත් මට ගෙදරින් විසුමක් වෙන්නෙ නෑ. ඔක්කොටම හපන් තාත්තා.”

“එහෙනම් එතනින් එහාට මම මොකුත් කියන්න ඕන නෑනෙ. උඹට තේරෙනවනෙ. මම නං කියන්නෙවිභාගෙ ඉවර වෙනකල් ඉවසල ඉඳින්. තව මාස තුනකටත් වඩා තියෙනවනෙ. ඔය ටිකේ පොඩ්ඩක් ගාණට ආශ්‍රය කරල, කොල්ල හොඳ නම් කරගෙන යමං නැත්නම් ඔහොම්ම අත ඇරලා දාපං..”

මල් කියන කතාවත් ඇත්ත. විභාගෙ මේ අල්ල පනල්ලේ තියෙද්දී මම මොකටද හදිස්සි වෙන්නෙ. ඔන්‍න‍ ඔහේ තව ටිකක් කල් ගියාවෙ. මම තනියම හිතුවා.

“අන්න අන්න දැන් මූඩ් ගහලා. දැන් බෙල් එක ගහන්නත් කිට්ටුයි. අත ගාන්නෙ නැතුවඔය තේ එක බීල වරෙන් බං”

ඒ වචන ටිකත් එක්ක පියවි ලෝකෙට ආපු මම හොඳටම නිමිලා තිබුණු තේ කෝප්පෙ එක හුස්මට ඇදලා දැම්මා.කැන්ටිමෙන් නැගිටලා එළියට එද්දී මල්කි කිව්වෙ මම පොඩ්ඩකටවත් නොහිතපු කතාවක්.

“මේ ඒක නෙමේ තරූ. නිවාඩු දෙන දාට පහුවදා උඹේ බර්ත් ඩේ එක නේද? ඔන්න මායි, මාෂියි,මදූයි එනව එදාට ලන්ච් එකට... ලෑස්ති වෙලා ඉඳපන්”

අනේ උඹලට පාටි දෙන්නමයි කාරිය මට. “හරි හරි, ඒවට තව කල් තියෙනවනෙ.” ප්‍රශ්නයක හිරවෙලා තිබුණු මගේ හිත මොහොතකට වෙනතකට යොමු කරන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් වුණා.

සුපුරුදු විදියටම බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි පීරියඩ් වල ඉගැන්වීම් කටයුතු කෙරුණා. වාර විභාගය ළඟ නිසා පුනරීක්ෂණ වලට වැඩි ඉඩක් දෙන්න ගුරුවරු උත්සහ  ගත්තා. අපිට පොඩි හරි ඉස්පාසුවක් ලැබුණු ඉංග්‍රීසි පීරියඩ් එකේදිවත් නිදහසේ ඉන්න ලැබුණේ සුනේත්‍රා මිස් එතරම් සැර පරුෂ කෙනෙක් නොවුණ නිසයි.

“අම්මේ, ලබන සතියෙ අපිට වාර විභාගේ. ඔන්න ලබන සතියෙ නම් මට කියන්න එපා පොඩි අයියට ස්කයිප් කතා කරන්න මැසේජ් දාන්න කියලා. ඕන නම් අද හවස මැසේජ් එකක් දාන්නම් හෙට රෑට කතා කරන්න කියලා”

ෆුල් සීරියස් මූඩ් එකේ ඉඳං තොර තෝරංචියක් නැතුව කියවගෙන කියවගෙන ගියපු මගේ මූණ දැකලා අම්ම බිරාන්ත වෙලා මං දිහා බලං ඉන්නවා.
“ඕන නෑ සුදු මැණිකේ, කොහොමටත් ඔයාගේ බර්ත් ඩේ එක දවසට කතා කෙරෙනවනේ. එතකොට බැරියැ.”

ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඇඳුම් මාරුකරලා ඇඟ හෝදන්න ලෑස්ති වෙලා හිටපු මට අම්මගෙ කතාවත් එක්ක මල්කි උදේ කිව්ව කතාව මතක් වුණා.

“අම්මේ, ඔන්න එදාට දවල් කෑමට මල්කියි, මදාරයි, මහේෂියි එනවලු.”

ඒ වෙද්දීත් අම්ම මට බත් බෙදන ගමන්. වෙනද වගේ පිඟාන අතට ගත්තම කල් මර මර අත වේලෙනකල් නොඉඳ ඇඟ හෝදන් ආපු ගමන් බත් එක කාල පාඩම් කරන්න පටන්  ගත්තා.

“තරූ, අනේ හොඳ නංගි වගේ මේ නෝට් එක ලියලා දෙන්නකො. ඔයා ඉතිං මගෙ සුදු නංගිනෙ.”

“සුදු අයියා ඉතිං බටර් ගාන්නෙම මොකක් හරි වැඩක් කරගන්නම තමා. මේ බටර් ගෑවට වැඩක් නෑ, මට ලබන සඳුදා ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. මේ ඒක නෙමේ, ඔය නළුවා වගේ ඉන්න එකේ ඔහොම්ම චාටුවක් දාල අල්ල ගන්නවකො කැම්පස් එකේ හොඳ කෙල්ලෙක්.ලියලා දෙයි කියන පරක්කුවට”

එහෙම කිව්ව විතරයි මූණත් ඔරොප්පු කරගෙන සුදු අයියා යන්න ගියා. මේ රටේ කියලා ඉන්නෙත් ඔච්චරයි මට, තරහ කරගෙන පුළුවනැයි මට.

“සුදු අයියා, මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. නංගට පුළුවන් කමක් තිබ්බ නම් ලියල දෙනවනෙ ඉතිං.”

“හරි නංගා. මම තරහ වෙනවද මගෙ සුදු නංගත් එක්ක. මම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ෆොටෝකොපියක් ගහගන්නම්කො. ඔයා පාඩම් කරන්නකො බබෝ”

සුදු අයියා මගෙ ඔළුව අත ගාන ගමන් එහෙම කිව්වා. ඇත්තටම ඒ වගේ අයියා කෙනෙක් ලබන්න මම කොච්චර වාසනාවන්තද?




රෑ එකොළහමරක විතර වෙනකල් පාඩම් කරපු මම නිදාගන්න ලෑස්ති වුණේ පහුවදා උදේ පාන්දර බයෝ රිවිෂන් පංතියට යන්න නැගිටින්න ඕන නිසා. පොත් පැන්සල් ඔක්කොමත් ලෑස්ති කරලා ෆෝන් එක අතට ගත්තෙ සිංදුවක් අහන්න හිතාගෙන. ෆෝන් එක ඔන් කරලා ටික වෙලාවකින් මැසේජ් කීපයක්ම ආවා.එකක් ඇර අනිත් ඔක්කොම ඇලට්‍ර්ස්.

Ai tharu, oya mata reply nokaranne? Oya mata akamathida?”

ම්ම්ම්....මෙයා කලබල වෙලා වගේ.

Ehema deyak na halo. Api exam iwara wenakal poddak imuko. Mata ethakan kal denna.

ඉක්මණට මැසේජ් එකක් ගැහුවා..

ම්ම්ම්... මොකක්ද ඒ සද්දෙ? කාමරේට කවුරු හරි එනවා වත්ද?


------------------------------------------------------------------------------------------------------------

මහ රෑ තරූගෙ නිදන කාමරේට ආවෙ කවුද?

සිද්ධ වුණේ මොකක්ද වුණේ කියල 8 වෙනි කොටසින් බලමු...!!!

ප.ලි :- මගේ ඊළඟ පෝස්ටුව මේ කතාන්දරය නෙවෙයි.. ඒ හින්දා කස්ටිය කතාව අමතක කරගන්නේ එහෙම නෑ හොඳද? පුළුවන් තරම් ඉක්මණින් ඊළඟ පෝස්ටුවද ඉන් පසු 8 වෙනි කොටසද දැමීමට බලාපොරොත්තු වෙමි.

Monday, June 4, 2012

~~~සඳයි තරුයි~~~ 6 කොටස


අදත් කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක... 
------------------------------------------------------------------------------------------------------------
" Tharu, pansal giyada?"
කවුද කියලා බැලින්නම් සඳුනිල්... දැන් දැන් මා ගැන අවධානය වැඩි වගේ. බුරුලක් දෙන්නත් බෑ කරේ නගින්න එයි ඊට පස්සේ..

"Ow dear danui awe. Good night. Budu Saranai"
ඉක්මණට ඒකෙන් ගැළවෙන්න ඕන නිසා මම එහෙම යැව්වා..

පෙබරවාරි මාසේ මුල් කාලයේ පටන් ගත්තු යාළුකම දිගින් දිගටම වර්ධනය වුණා මිසක් අඩු වුණේ නම් නෑ.. සඳුනිල් ගණිත අංශයෙනුත් මම විද්‍යා අංශයෙනුත් ඉගෙනීම් කළ නිසා වෙලාව ලැබෙන හැටියට කතා කරන්නත් එයින් වැඩි කොටසක් එදිනෙදා කෙරෙන පාඩම් වැඩ කටයුතු ගැනත් කතා කරන්න අපි යොමු වුණේ නිතැතින්මයි.

නොදැනීම කාලය ගෙවිලා මාර්තු මාසයත් උදා වුණා.. විභාගය අත ළඟටම ඇවිත් බව හොඳටම තේරුණේ අයැදුම්පත් දාන්න ඉස්කෝලෙට එන්න කියපු දවසේ.

"පිස්සු නැටුවා මදැයි දැන්. තව මාස 4 යි තියෙන්නෙ මොනා කරන්නත්"
ජයනි එහෙම කිව්වෙ අත්සන් කරලා ලැබ් එකෙන් එළියට එන ගමන්. කවුරුත් එතනින් එහාට දෙයක් නොකියා නිහඬ උණේ පිස්සු නටපු නැති කෙනෙක් එතන නැති නිසා.

"මේ තරූ, අපි හතර දෙනා ඉස්කෝලෙ එන්න ඕන නෑ කියනකල්ම එමුද? ගෙදර ඉන්නවට වඩා මොකක් හරි වැඩක් කෙරෙනවනේ.."
මල් මගේ මූණ දිහා බලං එහෙම කිව්වා. ඒ යෝජනාවට අනිත් දෙන්නත් කැමති වුණා. 

කොහොම උණත් 80% බලලා ඉවර වුණ දවසෙන් පස්සේ ළමයි ඉස්කෝලෙ එන එක අඩු වෙන බව ගුරුවරු හොඳින්ම දන ගෙන හිටියත් අන්තිම වෙනකල් ඉස්කෝලෙ ගිය අයට මොනවා හරි දෙයක් කියල දෙන්න එයාල උත්සහ කළා.

මාර්තු මාසේ එක බ්‍රහස්පතින්දාවක බස් එකේ පංති ඇරිලා එන ගමන් ෆෝන් එකෙන් සඳුනිල් එක්ක අනම් මනං විකාර මැසේජ්කර කර  ආපු මම සඳුනිල් ගෙන් මෙහෙම ඇහුවා.

"දැන් බැරිවෙලාවත් මේ බස් එකෙන් බැහැලා පාර පනින්න ඉද්දි මාව හැප්පුනොත් එහෙම?"
 ටිකක් වෙලා යනකල් කිසිම රිප්ලයි එකක් ආවේ නෑ. මිස් කෝල් කළොත් මටමනේ නෝන්ඩිය.. රිප්ලයි කරනකල්ම උන්නා. 

"එහෙම වුණොත් මාත් මැරෙනවා"
මගේ ඇඟ සීතල වෙලා ගියා. මෙයා අහවල් එකකකටද මැරෙන්න හදන්නේ? අහන්නත් බෑ. ඒත් අහනකල් හිතට සැනසීමකුත් නෑ.. මොනා හිතුවත් කමක් නෑ. මම අහනවා

"ඇයි ඒ? ඔයා මොකටද මම නිසා මැරෙන්නේ? ඔයා මට කැමතිද?"
සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම අහන්නේ නැති උණත් සඳුනිල් හිතේ තද කරගෙන මට නොකියා ඉන්න දෙය කටින්ම අල්ලගන්නයි මට ඕන උණේ..

"හයියෝ.. මේ මනුස්සයට මැසේජ් එකක් දැම්මාම හැට හුටහමාරක් වෙලා බලං ඉන්න එපැයි රිප්ලයි කරනකල්.. "
මම තනියම එහෙම කියා ගත්තේ බස් එකෙන් බහින්න කිට්ටු වෙලා වත් ප්‍රශ්නෙට පිළිතුරක් නොලැබුණ නිසා. 


"සමහර විට මම එක පාරට එහෙම අහපු එකෙන් එයා ෂොක් උනාද දන්නේ නෑ"

බස් එකෙන් බැහැලා පුංචි පාර දිගේ ඉදිරියට ඇදෙන ගමන් මම කල්පනා කළා. ගෙදර ගිහින් ඇඟ සෝදගෙන බත් කනකල් වත් මැසේජ් එකක් ආවෙ නෑ. 

ෆෝන් එක පැත්තකින් තියලා මම පාඩම් කළා. පංතියේ උගන්නපු පාඩම.. කාර්මික රසායනය - සෝඩියම් කාබනේට් නිෂ්පාදනය... ගැලීම් සටහන් ගහගෙන වගු ගහගෙන පොත් පෙරලගෙන මේසෙ උඩ එකම කැඳ හැලියක් වෙලා. රෑට නිදා ගන්න වෙලාව එනකල්ම ෆෝන් එක ගැන මතක් නොකර ඉන්න ඕන කියලා හිතට තදින් අණ කරපු නිසා පාඩම් කරපු දේවල් හොඳින් ඔළුවට ගියා.

අම්මා ළඟට ඇවිත් මට කිරි කෝපි කෝප්පයක් දීලා ඔළුව අත ගාලා ගියා. 

"වෙලාව 11.30 යි. තරූ, ඔයා හෙට ඉස්කෝලෙ යන්නේ නැද්ද? ගිහින් නිදාගෙන පාන්දර නැගිටලා පාඩම් කරන්න දරුවෝ"
කිරි කෝපි කෝප්පේ බීලා ඉවර වෙලා පැය බාගෙකින් විතර අම්ම කියනව මට ඇහුණා.

"හා අම්මේ, මම මේ නිදා ගන්න තමා යන්නේ" පුටුවෙන් නැගිටලා ෆෝන් එකත අරගෙන දත් බුරුසුව අනික් අතට අරගෙන නාන කාමරයට යන ගමන් මම අම්මට උත්තර දුන්නා.

දොර වහපු ගමන් ෆෝන් එකේ මැසේජ් එකක් තියෙනවද කියලා බලන්න හැදුවත් කරුමෙට ඒකෙ බැට්රි බැහැලා.. දැන් ඉතින් මොනා කරන්නද? දත් මැදලා නිදා ගන්නවා මිසක්.. නැත්නම් මේ මහ රෑ ෆෝන් චාජ් කරන්න ගිහින් මට අම්මගෙන් අහගන්න වෙනවා බුදු ෂුවර්...

මේ වෙනකොට මල් එක්කවත් සඳුනිල් ගැන නොකියා ඉන්න මම උත්සහ කළේ මම පාඩම් වැඩකටයුතු අවුල් කරගනී කියලා ඒකි මට බනින්න ගන්න බව හොඳටම දන්න නිසා. ඒත් හෙට පාන්දර නැගිටලා ෆෝන් එක චාජර් එකට ගහලා ඇවිත් තියෙන මැසේජ් එක අනුව ඒ විදිය වෙනස් කරන්න වෙයිද කියලා හිතට දැනුණා...
බැරිවෙලාවත් සඳුනිල් මට කැමතියි කියලා තිබ්බොත් එහෙම??? ඒක මතක් වෙලා හීනියට දාඩියත් දැම්ම...

"ඉක්මන් කොටයිලු"
තවත්  ඒ දේවල් කල්පනා කරනවා කියන්නේ මගේ නින්දට තියෙන කාලේ අඩු වෙන එකනේ.. මම ඒ ඔක්කොම දේවල් මොහොතකට අමතක කරලා ඇඳට ගියේ වැඩි වෙලාවක් වෙහෙස කරපු මගේ ඇස් දෙක වගේම මගේ මොළේට හොඳ විවේකයක් දෙන අරමුණින්...

------------------------------------------------------------------------------------------------------------

පහුවදා පාන්දර 4.30 වෙද්දී නැගිට්ට මම ෆෝන් එක චාජ් වෙන්න තියලා ඔන් කලාම දැක්කේ මිස් කෝල් ඇලර්ට්ස් ගොඩාක් .... ඒ ඔක්කොම සඳුනිල් ගෙන්.. මැසේජ් 3ක් 4ක් ඇවිත් තිබ්බත් ඉස්සෙල්ලම එවපු මැසේජ් එක විතරයි මට බලන්න මතක් තිබ්බේ.. 

"Ow tharu, mama oyata godak kamathi. Oya nathi unoth mata mona weida danne na"

කලින් දේවල් ගැන ඔක්කොම විස්තර කියලා තිබ්බ මට බොරුවක් කියන්න කිසිම හේතුවක් එයාට නැති උණත් ඒක ඇත්තක් කියලා පිළිගන්න මගේ හිත අදීමදි කළා. අඩු ගානේ රිප්ලයි එකක් යවන්නත් හිතුණේ නෑ.. ඉස්කෝලෙ ගිහින් මේ ගැන මල් එක්කවත් කතා කරන්න ඕන කියලා මගේ හිත නිදහස් කරගත්තු මම කිරි වීදුරුව බොන ගමන් පාඩම් පොත් ටික අතට ගත්තා..



------------------------------------------------------------------------------------------------------------
බෑ බෑ ලියන්න බෑ කියලා හිතපු කතාව අද ලිව්වා.. පොඩ්ඩයි වගේද මන්දා සමාවෙන්ඩ ඈ...

ඊළඟට මොකද උණේ කියලා 7 කොටසින් බලමු. !!!

ප.ලි - පහුගිය ටිකේම මට මම ෆලෝ කරන බ්ලොග් පැත්තේ එන්න බැරි උනා.. තරහ වෙන්න එපා යාළුවනේ.. ඉඩක් ලද සැණින් මම ඔයාල බලල යන්න එනවා....