ලෝකෙට ආපු අය

Friday, August 31, 2012

රිදුම් දෙන සිතට - ඉසිනු මැන දිය පොදක්




ගගන දෙස යොමා දෑස
බලා හුනිමි මම ඇතිතරම්
කඩා වැටෙන කඳුලැලි වලට හොරා...
ඉකිබිඳින ගගනතට පෙම් බැඳ
වැටෙන තරු කැට දිහා බල බල
ඝනඳුරින් පිරි මැදියම් රැයක අවදිව....

හිනාවෙන්න මහ හුඟක් හයියෙන්
ආසා කළත් මං කොයිතරම්...
සිදු වුණේ  සිතින් හඬන්නට මට
සුසුම් සිත තුළ තද කරන්....
සබඳ නුඹ නමට ලියු කවි
කියනු බැරි අපමණයි මං
තවත් නොරිදා රිදුණු සිත මගෙ
මතකයෙන් නුඹ මැකීයං...
         

Monday, August 27, 2012

~~~සඳයි තරුයි~~~ 9 කොටස


සම්පූර්ණ කතාව මේ ලින්ක් වලින්....

මෙතෙක් කතාව කෙටියෙන්...
        තරූෂි මාස කිහිපයකින් අනතුරුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවියකි. මවගේපියාගේ සහ සොයුරන් දෙදෙනාගේ ආදරය හා රැකවරණය මැද වැඩෙන ඈ සතුව පංති නායිකාව ලෙස පැටවී ඇති කාර්ය භාර්යයද අති මහත්ය. මේ අතර අහම්බෙන් ෆේස්බුක් හරහා හඳුනා ගන්නා සඳුනිල් නමැති පිරිමි ළමයෙකු ඇගේ ආදරය බලාපොරොත්තු වෙයි. අධ්‍යාපන කටයුතු හා සඳුනිල් අතර දෙලොවක තනිවන ඇය මේ සඳහා තම අතිජාත මිතුරිය වන මල්කිගේ උදව් බලාපොරොත්තු වෙයි. දිනක් රාත්‍රියේ පාඩම් කටයුතු අවසන්ව ජංගම දුරකථනය අතට ගෙන ටික වෙලාවක් ගත වන විටම කාමරය දෙසට කිසිවෙකු එන ශබ්දය ඇසීමෙන් තරූෂි කලබල වෙයි. රාත්‍රියේ ජංගම දුරකථනය පාවිච්චි කරමින් සිටින තරූෂි දුටු පියා කේන්තියෙන් දුරකථනය පසුදා හවස තමා භාරයට ගන්නා බව පවසයි. කරන්නට කිසිත් නැති තැන පසුදා පන්තියේදී තරූෂි සඳුනිල් වෙත පණිවිඩයක් යවමින් තමා හට ජංගම දුරකතනයක් දිය හැකිදැයි අසයි. ඔහු පසුදා හවස එය දීමට පොරොන්දු වෙයි. මේ අතර තරූෂිගේ ළඟ ලඟම එන උපන්දිනය වෙනුවෙන් කල් ඇතිවම සුදු අයියාගෙන් තෑගී ලැබේ. පිටරටක සිටින චූටි අයියාද ඇයට තෑගි එවූ බව පවසයි. මේ සියල්ල අතර තරූෂි වසරේ පළමු වාර විභාගයට සුදානම් වෙයි.

ද කතාව එතැන් සිට...

හවස 2ට පටන්ගන්න කෙමිස්ට්‍රි පංතියට වෙනදාටත් වඩා පැය බාගයක් විතර වේලාසනින් මම ගෙදරින් පිටත් වුණේ ෆෝන් එකක් හම්බෙනවනෙ කියන සතුටටත් එක්ක. දැන් ඉතින් අරුන් තුන්දෙනා මාව නැති කරයි අද නෝන්ඩි දාලා... බස් එකේ ගිය විනාඩි 45 දැනුනෙවත් නෑ.. මම පංතියට යද්දි කවුරුවත් නෑ. දවල් පන්තියෙදි නිදි මත හැදෙන නිසා කාල එන්නෙත් නැති එකේ හැක්ස් ටොපි ටිකක් වත් ගන්න කියල හිතාගෙන මම පන්තියෙන් එළියට බැස්සා...

 “පුතා, ඔයා කාඩ් එක ගෙනාවද? මිස් පේපර් එකක් කරන්න දීල ගිහින් තියෙනවා” ඒ කටහඬ ටික් අංකල්ගේ.

“නෑ අංකල්, ඒක පංතියේනේ... මම කඩේට ගිහින් ඇවිත් පේපර් එක ගන්න එන්නම්."

තනියම පංතියට එහා වත්තෙ පුංචි තේ කඩේට ගිහින් ටොපි ටිකක් ගන්නකොට ඈත තියා අත වනාගෙන මල්කියි,දිනූයි, මධූයි එනවා.ලඟට එනකල්ම ඉඳල කට්ටියම එකට පංතියට යන්න හැදුවත් මල්කියි දිනූයි බීම එකක් බොන්න ඉඳපු නිසා මායි මධූයි පංතියට ගියා. ආපහු ඇවිත් පේපර් එක අරන් ගිහින් ඒක කරන්න පටන් ගත්තා.

“තරූ, මොකෝ ෆෝන් සීන් එකට උනේ?”

“මොකුත් නෑ ඉතිං, තාත්ත ඒක ගත්තා. අද එකක් හම්බෙනවනෙ...”

“අප්පේ.. මේකිගෙ මූණේ තියෙන හිනාව බලපල්ලකො. අපිට නෑනේ ඉතිං ඔය වගේ කොල්ලො?”

“අනේ, එහෙම තියා උඹට කොහොම එකෙක්වත් නෑනේ.. අපි යාළුවෙන්න එපා කිව්වයැ”
ඔලොක්කුවට වගේ එහෙම කිව්වම මධූගේ මූණ ඇද උණේ කජු ලෙල්ලක් වගේ.

“අනේ සොරි මධූ, මම විහිළුවට කිව්වෙ හොඳේ”

“හා හා ඒකට කමක් නෑ. අන්න අර දෙන්නත් එනවා.”

මල් පංතියට ඇවිදින් පැය කාලකට විතර පස්සෙ මාෂිත් ආව. පංතියේ අනිත් ළමයිනුත් බාගයක් විතර ආවට පස්සෙ මිස් පංතියට ආවා.

“ළමයි, කෝ මම කරන්න දීල ගිය පේපර් එකේ ප්‍රශ්න කීයක් කරලා ඉවරද?”

“හතරයි මිස්” මාෂි හයියෙන් උත්තර දුන්නා.
යකොඩෝ, මේ කොයි වෙලේද ආපු මම කලෙත් තාම තුනයි. ඔක්කොටම පස්සෙ ආපු මේකි හතරක් කරලා.

“ගොඩක් හොඳයි මහේෂි, හරි අපි දැන් මුල ඉඳං පටන් ගමු. හරි අය හරි දාගන්න. අනිත් අය හදාගන්න.”
පිළිවෙලට ගණන් හදාගෙන හදාගෙන යද්දි දන්නෙම නැතුව හවස 5.30ත් වෙලාදැන් සදුනිල් මඟ බලාගෙන ඇති මම එනකල් ෆෝන් එක දෙන්න. අපරාදේ මට එයාට 5.30 වෙද්දී ආවම ඇති කියන්න බැරි උනානේ.

“මේකෙ ඉතුරු ටික ඔයාල ගෙදරින් එද්දී කරගෙන එන්න. ළමයින්ට අවුරුද්දට නිවාඩුවක් ඕනද? 14නෙ අවුරුදු.. 13 ආවහැකිනෙ නේද? ඔයාල එනවනම් මම පන්තිය කරනවා”
මිස් එහෙම කියද්දී පන්ති ඇරිලා එළියට බැහැල දුවන්න හිටපු ළමයි ඔක්කොගෙම මූණ ඇඹුල් උණා. 
"හරි හරි එහෙනම් 13 පන්ති නෑ. 20 පන්තියට එද්දී මේක හදාගෙන එන්න.”

කොයි වෙලේද පන්ති ඇරෙන්නේ කියල බල බලා හිටපු මම ඉක්මණට යාළුවො ටිකත් එක්කගෙන පාරට ගියා. ම්ම්ම්... සුදු පාට ටී ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇඳගත්තු පිරිමි ළමයෙක් නම් ඉන්නව ඈත... ලඟට ගිහිල්ලම බලන්න ඕන..
හරි.. එයා තමා.. හැබැයි එදා එවපු ෆොටෝ එකට වඩා හැන්ඩ්සම්...

“හලෝ.. ඔයා සඳුනිල් නේද? මම තරූෂි”

“හලෝ හලෝ... මම දන්නවා ඔයා තරූෂි කියල”
අපොයි මෙයා මට සිරික්කිය දානවා.. ලැජ්ජාවේ බෑ..

“හ්ම්ම් ඒකත් එහෙමද? මටත් ඔයාව මතකයි. නම තමා දන්නෙ නැතුව හිටියේ. ඔයා ඉස්සර අපේ ගණන් පන්ති ආවනේ... මම හරි නම් 6,7 පන්ති වල වගේ...”

“ආ.. ඔයාට මතකද? ඔව් ඔව් මම ආව තමා. ඇයි ඉතින් ඊට පස්සෙත් එතනම තිබ්බ 10-11 ගණන් පන්තියටත් මම ආවනේ.. අර කවුදෝ ගෑණු ළමයෙක් 0 දෙකෙන් බෙදුවම බිංදු බාගෙ කියල කිව්වේ...”
මලා.. මේ කියන්නේ මං ගැන... ඒ කියන්නේ මෙයාට මාව හොඳට නෝට.. හපොයි ඉඳල හමාරයි.

“මොනවද තරූ කල්පනා කරන්නේ? හරි හරි මම  ඔයාගෙ යාළුවො කාටවත් කියන්නෙ නෑ.අන්න බස් එකක් එනවා යමුද?”

“ඈ ඔයත් එනවද මාත් එක්ක බස් එකෙන් යන්න?”

“ඇයි? මම එන්න එපාද? මම යන්නෙත් ඒ පැත්තටමනේ”

“නෑ නෑ මම එන්න එපා කිව්වේ නෑනේ.. හැබැයි ඔය බස් අපේ පාර ගාව නවත්තන්නෙ නෑ. ඔයා බෙල් එක ගහල බස් එක නවත්තල දෙනව නම් මම එනවා”

“අයියෝ ඕකත් වැඩක්යැ. නගින්න නගින්න.”

බස් එකට නැග්ගට මොකෝ ඉඳගන්න වත් තැනක් නෑ. ලොකු බස් එකක පිටිපස්සෙ දොර ගාව එකළඟ හිටගෙන අපි දෙන්න බස් එකේ යද්දි  මම වැඩිපුරම කළේ ඒ කතා කරන තරු ඇස් දිහා බලං හිටපු එක.



“තරූ, මොකද ළමයො කන්න වගේ මං දිහා බලං ඉන්නෙ? හරියට අල්ලගන්න. වැටෙයි ඈ”

“නෑ හලෝ මං මේ මෙච්චර වෙලා බලං හිටියේ ඔයා ඒ කාලේ දැක්කට වඩා හුඟක් වෙනස් නෙ. ඒ කාලේ ගොඩක් මහතයිනෙ. දැන් තවත් සුදු වෙලා, ලස්සන වෙලා, කොන්ඩෙත් නිකං ටින් ටින් වගේ”
දඟකාර හිනාවක්‌ දාගෙන මං එහෙම කිව්වා.

“ඊඊඊ.. ඔයා මට විහිලු කරනවද?”

“නෑ නෑ හලෝ ඇත්තමයි කිව්වේ.. ඉතින් ඔය කොන්ඩේ කැත නෑ ලස්සනයි. මම ටින් ටින්ට ආසයි. එකයි එහෙම කිව්වේ”

“ආ..එහෙමද? අපේ මල්ලිගෙ ටින් ටින් සීඩී එකක් තියෙනව, මම ගෙනත් දෙන්නම්කො චූටි බබාට බල බල ඉන්න.”
මගේ පැත්තට දිව දික්කර කර සඳුනිල් එහෙම කියද්දී මටත් හිනා.

“මේ හිනා නෙමේ. බහින්න කලින් මට ෆෝන් එක දෙන්න. නැත්නම් අමතක වෙයි. දැන් මම බහින හරිය කිට්ටුයි.”

“ආ... ඔව් නෙ... මට අමතක උනානේ.. මෙන්න තරූ ෆෝන් එක.. මම මේක යාළුවෙකුගෙන් ගත්තෙ රු 500ට”

“කවුද අනේ ඔයාට රු 500ට ෆෝන් දෙන්නෙ? අනික රු 500ක්?

“ඔව් ඔව් තරූ, මම ගනිද්දි මේක ටිකක් කැඩිලා. මම හදල ගත්තා.”

“හ්ම්ම් හරි හරි, කොහොමහරි ඒක තිබ්බ එක හොඳට ගියා. මේ එහෙනම් මම ඉස්සරහට යන්නම් ඈ. පරිස්සමින් යන්න. බායි”

“ඕකේ, බායි තරූ. ගෙදර ගිහින් මැසේජ් එකක් එවන්න”

මම ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙද්දී බෙල් එක ගහනවා ඇහුණු නිසා පිටිපස්ස හැරිලා බැලුවා. සඳුනිල් හිනාවේගන මා දිහා බලං ඉන්නව. හිනාවෙන ඒ ඇස් දිහා තවත් බලං ඉන්න මට බෑ. බස් එක නවත්තපු ගමන් මම ඉක්මණින් බැහැ ගත්තා. ගෙදර යද්දි අවුරුද්දට ගේ පේන්ට් කරන්න බාස්ලා ඇවිදින්.. කලින් පාරත් තීන්ත ගාන්න ඇවිත් මාව බදා ගන්න හදපු බාස් කාරය තමා මේ පාරත් ඇවිත් ඉන්නෙ... වෙලාවට එයාලට වැඩ කරන්න නිසා පැත්තෙ දොරත් ඇරලා.

මම හෙමීට පැත්තෙ දොරෙන් ගේ ඇතුළට ගිහිං ෆෝන් එකට සිම් එක දාල කාමරේ පොත් ගොඩ අස්සේ හංගලා ඇඳුම් මාරු කරන්නෙත් නැතුවම කුස්සිය පැත්තට ගියා.

“ආ... සුදු මැණිකෙ, ඔයා ආවද? කොහෙන්ද ආවේ?”

“ඇයි අම්මෙ අර ඇඹුල් දොඩම් ගහ පැත්තෙ දොර ඇරලා තිබ්බනෙ. මම ඒකෙන් ආවා.”

“හා හා.. එහෙනම් ඇඟ හෝදන් එන්නකො, මම කෑම බෙදන්නම්. පාඩම් කරන්නත් තියෙනවනේ. හෙට බයෝ නේද?”

“ඔව් අම්මෙ, හෙට බයෝ තමා.”
එහෙම කියාගෙනම මම ගේ ඇතුළට ගියේ තුවාය හොයාගෙන එන්න. පොත් ගොඩ අස්සෙන් ෆෝන් එක එළියට ඇදල අරගෙන බලද්දී මැසේජ් එකක් ඇවිත්. එකක් නෙමේ ගොඩක්. ඇයි ඉතින් ෆෝන් එක ගත්ත කියල දන්නෙ නැති යාළුවො ගහන මිස් කෝල් ඇලට්...

Tharu, parissamin awa neda? Shep neda?

Ow ow, hari dear, thanks.



නාල කාල ඉවර වෙලා පාඩම් පොත් ටික අතට ගනිද්දී එයාටත් ටර්ම් ටෙස්ට් ඇති කියල  හිතුණ නිසා වෙන කිසිම මැසේජ් එකක් යවන්න වත්, කෝල් කරන්නවත් හිතුණේ නෑ... එක පාඩමක් ඇරෙන්න අනිත් ඔක්කොම පාඩම් ඉස්කෝලෙ මිස් උගන්නල තිබුණු නිසා පන්ති පොතයි ඉස්කෝලෙ පොතුයි ඔක්කොමත් අරගෙන මම පාඩම් කරන්න ගත්තා. කලින් පාඩම් කරලා තිබුන නිසා වැඩි වෙලා යන්න කලින් පොත බලලා ඉවර උණා. ඊළඟට පාස්ට් පේපර් පොත අතට ගත්තු මම බහුවරණ පේපර් එකක් කරන්න පටන් ගනිද්දිම වගේ අම්ම ආවා...

“තරූ, දුවේ ඔයාට බොන්න මොනාහරි හදල දෙන්නද? කිරි ටිකක්.. තේ ටිකක්...”

“මොන කිරිද අම්මේ... මට කෝපි ටිකක් හදා දෙන්නකෝ”

“කොහොම උණත් හෙට ඉස්කෝලෙ යන්න තියෙන නිසා ගොඩක් වෙලා ඇහැරන් ඉන්නත් එපා නංගියො. උදේට නැගිටලත් පොඩ්ඩක් මොනා හරි බලාගන්න පුළුවන්නෙ.”
එහෙම කියාගෙන සුදු අයියත් කාමරේට ආවා. අම්මගෙයි මගෙයි කතාව එයාටත් ඇහිලා වගේ.

“හරි එහෙනම් කෝපි ඕන නෑ අම්මේ, මම තව ටිකකින් නිදා ගන්නවා. ඉතුරු ටික හෙට උදේ පාන්දර කරනවා.”

එහෙම කියපු මම පැය බාගයක් විතර අරං ව්‍යුහගත ප්‍රශ්න 2කට උත්තර ලියලා පොත වහලා නිදාගන්න ඇඳට ගියා.
                                                          ***

සඳයි තරුයි 10 වන කොටස සමඟ නැවතත් හමුවෙමු...!!!

Monday, August 13, 2012

මහත් වෙලා ලෙඩ වෙමුද? නැත්නම්...

අපේ ගැමි මල්ලි දවසක් මම ලියපු පෝස්ට් එකක රිප්ලයි එක විදියට කෙට්ටු වෙන හැටි කියල දෙන්න කිව්වා වගේ වගේ මට ලාවට මතකයි... ඉතිං ඒකත් ඇතුළුව ඔයාලා දන්නා-නොදන්නා දේවල් ගොඩාරියක් එකතු කරලා ලිපියක් ලියන්න හිතුවා...

අපිට ඉතිං කෙට්ටු වෙනවා කියලා දවස් 6කින් කිලෝ 10ක් තරම් අඩු කරගන්න උවමනා නෑනේ... නේද? මොකෝ ඔයහැටි විගහට බර අඩු කරන් රූප රාජිණි තරඟ වලට යන්නයැ. (කොළඹ එහෙම බර අඩු කරගන්න තැනක බෝඩ් එකකුත් තිබ්බ මම දැක්කා) මගේ නම් ඉතිං මාස 6කින් කිලෝ 4ක් විතර අඩු වුණා, ඒ මදැයි.. කිලෝ 49ක් කියන්නෙ සෙල්ලං ගානක්ද? දැන් අක්ෂකාස්ථියේ වල වල් වල වතුර පිරෙන තරම්... J අක්ෂකාස්ථිය කියන්නෙ මොකක්ද කියලා මගෙන්ද අහන්නේ...හා හා මේක සයන්ස් පාඩමක් වෙනවා. ඒත් ඉතිං අහනකොට කියා දෙන්නේ නැතුවත් බෑනේ. උරහිසේ ඉඳං බෙල්ල මැද ප්‍රදේශයට වෙනකල් තියෙන වක් වෙච්ච ඇටකට්ට තමා ඔය කිව්වේ)

අප්පොච්චියේ පහුගිය සිංහල අවුරුද්දට නෑගම් ගිය වෙලේ නෑදෑ කස්ටිය ගෙන් මට විසුමක් නෑ. හරියට කෙට්ටු වෙලා! බොහොම ඇදිල ගිහින්!! කැම්පස් එකේද ඉන්නේ!!! අනේ අසරණ මට තනියම හිනා J J

ඉතිං මම දැන් කියාදෙන්න යන්නේ නිදිමරාගෙන උසස් පෙළට පාඩම් කරපු කාලෙදිවත් නොවුණු තරමට මාස කීපයක් ඇතුළත කෙට්ටු වුණ හැටි.. පහළ තියෙන්නේ මම අනුගමනය කරපු පියවර... ඔන්න බලන්නකෝ...

ආසාවෙන් තලු මර මර කාපු රවුම් මුරුක්කු,කොම්බු මුරුක්කු(අර කොම්බුව වගේ කැරකිලා තියෙන එව්වා)අල පෙති,මයියොක්කා පෙති, රටකජු, බැදපු පරිප්පු,කලවම් කඩල, මෙකී නොකී සියලු බයිට් වර්ග කෑම 99.9% කින් අඩු කිරීම.

උළුඳු වඩ, පරිප්පු වඩ, උම්බලකඩ වඩ, ඉස්සො වඩ කියන ජාති කෑම සම්පුර්ණයෙන් නැවත්වීම.


පැණි රස කෑම නොකාම බැරි අවස්ථා වලදී හැර අනිත් කිසිම විටෙක ගැනීම සෑහෙන කාලෙක සිට නවත්තලා තිබ්බ නිසා ඉස්සර එක පාර පැකට් එකක්ම කාගෙන කාගෙන ගියපු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පවා කෑම කැපී පෙනෙන ලෙස අඩු කිරීම (ඒ කියන්නෙ සතියට බිස්කට් 5ක් විතර..වැඩිද? J)

කෙළ හලාගෙන කාපු තෙල් කෑම, බැදුම්, ඉස්සො , දැල්ලො , කකුළුවො, හාල්මැස්සෝ, කුකුල් මස් , කජු වගේ කෑම බොහෝ දුරටම අඩු කිරීම... බටර් මාගරිනුත් මේකට අයිතියි.


අධිකව පිෂ්ඨය අඩංගු පාන්, රොටි, පිට්ටු, බතල, අර්තාපල්, මඤඤෝක්කා, ඉඳි ආප්ප වගේ කෑම වලින් පුළුවන් තරම් ඈත් වීම.

පයින් යන්න පුළුවන් දුර කවදාවත් බස් එකෙන්, බයික් එකෙන් නොයාම.

පිටියි,සීනියි, තෙලුයි, ලුණුයි මේ හැමදේම බොහොම සීරුවට කන මම කන්නේ මොනාද කියල ඔයාල කල්පනා කරනවා ඇති නේද? හී හී... මම කන්නෙ මෙව්වා...

උදේට නම් කඩල, කවුපි, මුන් ඇට,කිරිබත්, මුන් කිරිබත්, බතුයි සම්බෝලයි වගේ ජාති..

දවල්ට මම කන්න කැමැති මාළුපිණි 2ක් එක්ක හරි (එහෙම කිව්වේ නොකන මාළුපිණි තමා වැඩි J) බත් චුට්ටක් කනවා.

රෑටත් ඉතිං එව්වම තමා. එක්කෝ මොකුත් නෑ ඔන්‍න‍ ඔහෙ සුප් ටිකක් බීල නිදියනවා...

එච්චර විතරක් නෙමේ, ඉස්කෝලේ යන කාලේ- පන්ති යන කාලේ දවසට 4 පාරක් විතර බත් කාපු මම දැන් දවසට 2පාරයිනේ බත් කන්නෙ.. පළතුරු එහෙම නිකං හම්බෙනවා නම් කනවා..
දැන් ඔයාලට අනූගෙන් උපදෙස් ටිකක් J J J

හැකි තරම් බයිට් පැකට්, වඩ, චීස්, බටර්, මාගරින් වලින් ඈත් වෙන්න. ඇබ්බැහි වෙන්න එපා. නොගෙනම බැරි විටෙක පමණක් ගන්න.

පැණිරස බිස්කට් විතරක් නෙවෙයි පැණි බීම,ටොපි, චොකලට්, කැවිලි වර්ග භාවිතය හැකි පමණ සීමා කරන්න.
තරහට නෙමේ. රැකුණොත් ඔයාලටයි. අනිත් එක මේ පැණි රස කෑම ගැන විශේෂයෙන්ම කියන්න ඕන. ඔය කඩවල් වල බොම්බේ ස්වීට්, මස්කට්, බූන්දි, පුහුල් දෝසි කියල තියෙන එව්වට දාන්නෙ සීනි නෙමේ සැකරින්. ඔයාල දන්නවද? සැකරින් කියන්නෙ සීනි වලට වඩා ගොඩක් සැර දෙයක්. කොච්චර සැර ඇති කියලද හිතන්නේ.. සීනි වගේ තුන් ගුණයක්, පස් ගුණයක්, දහ ගුණයක්, සිය ගුණයක්.. නෑ නෑ නෑ 550 ගුණයක්.. L  කොහොමද ලේසි නෑ නේ වැඩේ. ඉතින් අපි සැකරින් කෑවම මොකද වෙන්නේ? ඇටකටු කුඩු වෙනවා, කැඩෙනවා... තව......

කට්ලට්, පැටිස්, රෝල්ස්, කුකුල් මස්,ඉස්සො, දැල්ලො, කකුළුවො තෙල් දාල,බැදලා සකස් කර ගැනීම පුළුවන් තරම් අඩු කරන්න. මම හිතන්නෙ සාමාන්‍යයෙන් ඉස්සො, දැල්ලො, කකුළුවො නම් කනවා අඩු ඇති ඒවායේ මිල ගණන් එක්ක. නමුත් මස් කෑම අඩු කරන තරමට හොඳයි. ලෙඩ වැඩි මස් කන අයටයි. හැකි තරම් කුඩා මාළු ආහාරයට එකතු කර ගන්න. ( මට නම් ඒකත් බා. මම මාළු කන්නෙ නෑනේ L)

මේදය රහිත කිරි වර්ගයකට මාරුවෙන්න. හයි කැල්සියම්, අර කැල්සියම් මේ කැල්සියම් කියල තියෙන කිරිපිටි හිතුමතේ බොන්න යන්න එපා. අමං හිතන හැටියට ඒ කැල්සියම් තියෙන කිරිපිටි වලින් අපි හිතන තරම් ප්‍රථිපලයක් ගන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට කැල්සියම් වැඩි වෙලා අස්ථි වල ප්‍රශ්නයක් ඇති වෙන්නත් බැරි නෑ.

 පුළුවන් තරම් කොළ පාට එළවලු, කහපාට එළවලු, කොළ වර්ග, පළතුරු කෑමට එකතු     කරගන්න. පලා වර්ග නම් කන තරමට හොඳයි.ඇස් පෙනීමට වගේම කොන්ඩේ කළු වෙන්නත් එක්ක. (හැබැයි ඒ හොඳට තියෙන දේ රැකගන්න මිසක් ඇස් පෙනීම නැති වුණාට පස්සේ හෝ කොන්ඩේ සුදු උනාට පස්සේ නැවත තිබ්බ තත්වයට පත් වෙයි කියල නම් මම විශ්වාස කරන්නේ නෑ)

වාහනේම/බයික් එකේම ඔහේ කකුල තියාගෙන යන්නේ නැතුව ව්‍යයාමෙටත් එක්ක පොඩ්ඩක් පයින් ඇවිදින්න.(හැබැයි ගැහැණු අය ෂොපින් කරනවා වගේ නම් නෙමේ ඈ) බයිසිකල් පදින එකත් හොඳයි.

මේ උපදෙස් පිළිපැදලා කෙට්ටු වෙන්න ගිහිං අම්ම තාත්තාගෙන් හරි සැමියා/ බිරිඳ ගෙන් හරි බැනුම් අහන්න උණොත් ඔන්න මම නෑ J J J


ලිපිය අවසන් කරන්න කියල හිතනකොටම තවත් කතාවක් ඔලුවට ආව. අපේ සමහර මැට්ටෝ/මැට්ටියෝ මහත් වෙන්න බේත් බොනවා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මේකට දෙන ප්‍රධාන ඖෂධයක් තමයි (ප්‍රෙඩ්නිසලෝන්) Prednisolone කියන්නේ. හරි... කතාව ඇත්ත... මහත් වෙනවා තමයි.. හැබැයි ටික දවසකින් ආයේ බෙහෙත් ගන්න එන්න වෙනවා (Diabetes) දියවැඩියාවට. දියවැඩියාව කියන්නෙ ලෙඩ ගොඩක ආරම්භයක්.ඊට පස්සෙ  (Hypertensive අධි රුධිර පීඩනය, තරබාරුකම (Obesity)..  අවසානයේදී  Myocardial Infarcture (MI)    තේරෙන සිංහලෙන් කිව්වොත් හෘදයාබාධ (Heart Attack)... ඔන්න ඔහොමයි සෙල්ලම යන්නෙ හා හා ... එහෙනම් මහත් වෙන්න බේත් බොන්නෙ බලාගෙනයි!!! ඒ වගේම දොස්තර මහත්තයා කලින් ලියල දීපු බේත් තුණ්ඩුව අරන් ආයේ බේත් ගන්න යන අය Prednisolone  ගැන අවදියෙන් හිටියොත් හොඳයි නේද?
ආසියාවේ NCD එහෙමත් නැත්නම්  Non Communicable Diseases  ( බෝ නොවන රෝග වල ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න වෙනවා.


තෙල් අධික ආහාර නිසා (Liver)අක්මාවත්

 ලුණු අධික ආහාර නිසා (Kidney)වකුගඩුත්

මස් අධික ලෙස ගැනීමෙන් (Heart)හදවතත් ලෙඩවෙනවා.

මේ ඉන්ද්‍රියන් සියල්ල ලෙඩ උනාම මොළේට (Brain)  රුධිර සැපයුම අඩු වෙලා (Paralyse)  අංශභාගය හැදෙන්න පුළුවන්.

බය කරන්න නෙමෙයි හොඳේ, දැනගන්නයි කිව්වේ... J\

ම්ම්ම්...අපි අතර තවත් කොටසක් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන කස්ටියක්. අනේ ඉතිං අන්න එහෙම කට්ටිය දෙයියනේ කියල කාල බීල ඉන්ඩල අප්පා... දඩි බිඩි ගාල පඩිපෙළක් නැගගන්න බැරි,අඩියට දෙකට ගමනක් යාගන්න බැරි තරබාරු අය දැක්කම මහත් වෙන්නේ මොකටද කියලා හිතන්නේ නැද්ද?

ඕන දේක හොඳ- නරක කියල දෙපැත්තක් තියෙනවනෙ. කෙට්ටු වෙන එකෙත් පොඩි අවාසියක් තියෙනවා. සමහර වෙලාවට සමහර අයට සමහර බර දේවල් උස්සන්න අමාරු වෙන්න පුළුවන්.

හැබැයි බරක් නම් තව කාත් එක්ක හරි එකතු වෙලා උණත් ඉස්සුවහැකි. හැබැයි මම අර කලින් කියපු ලෙඩක් හැදුනොතින් ඒ ලෙඩේ බෙදා ගන්න කෙනෙක් නෑ.. මතක තියාගන්න..!!!

හෑ.. අන්න බොලේ කවුදෝ කොස්සක් උස්සන් මේ පැත්තට දුවගෙන එනවා. කන්ඩ එපා කිව්වා එව්වට තරහ ගිහින් වෙන්ටැ... ඔන්න මම නම් හැන්ගුණෝ... J