ලෝකෙට ආපු අය

Wednesday, February 29, 2012

~~~සඳයි තරුයි~~~ 1 කොටස


එදා බ්‍රහස්පතින්දා දවසක්. පංතිත් නැති නිසා මම වෙනද වගේම ඉස්කෝලෙ ඇරිල ඇවිත් ඇඟ හෝදගන්න බාත්රූම් එකට ගියා. ඒ වෙනකොට මගේ ඇඳුම් හෝදල දෙන එකෙන් අම්ම නිදහස් වෙලයි හිටියෙ. ඉතින් මම කලින් දා ඇඳපු ඇඳුම් ටිකයි සුදු ඇඳුම් ටිකයි හෝදල දාල ගෙට එද්දි පැයක් විතර ගිහින්. ඒ අස්සෙ අම්මගෙ ගෝරනාඩුව...

මොකද සුදු මැණිකේඕක අස්සෙ පැල වෙලා හිටියද මෙච්චර වෙලා. මම දවල් කෑම එක බෙදල කොයි වෙලේද?”

හරි හරි අම්මේඉතිං ඕකට ඔය හැටි කෑගහන්න ඕනයැ. සීතල උණත් මම නොකා ඉන්නෙ නෑනේ

එහෙම කියල අම්මගෙන් ශේප් උණු මම සීතල වෙච්ච කෑම එකත් අරන් අම්මගෙ හිරමනේ උඩ වාඩි උනේ බත් කටක් කටට දාගන්න ගමන්මයි. කුරුල්ල කනවා වගේ කියල හැමදාම අපේ සෙට් එක නෝන්ඩි කරන මගේ කෑම එක කන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. කාල ඉවර උණු හැටියේ පිඟාන හෝදලඅම්ම දීපු උණු වතුර කෝප්පෙත් අරං මම සාලෙට ගියේ උදේ ඉස්කෝලෙ කරපු කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකේ රිපෝට් එක ලියන්න හිතාගෙන.. බාගයක් විතර ලියාගෙන යද්දි ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

Tharu,heta eddi lalith sirge alkyle halide tute eka aran waren.bs.. මැසේජ් එක මල්කිගෙන්.

Hari kelle, mama danmama bag eke dagaththa. heta apu gaman magen mathak karala illaganin. bs.. මාත් ආපිටට රිප්ලයි කළා.

Thanks sweety, bs.. ආයෙත් මැසේජ් එකක් ආවා. මම ආයේ රිප්ලයි කරන්න ගියේ නෑ.. 

කර කර හිටපු වැඩේ ඉවර කරල බයෝ පොත අතට ගත්තෙ පාඩම් කරන්න හිතාගෙන. නිදි මතයි වගේ. අම්මට කියල තේ ටිකක් හදව ගන්න හිතපු මම හෙමීට කුස්සිය දිහාට ගිහිං අම්මව  බදා ගත්තෙ අම්මත් එක්ක ටිකක් හුරතල් වෙන්න තිබ්බ ආසාවටත් එක්කමයි.

කෝ එන්න මම අම්මව වඩා ගන්න.. ඉතිං කිව්වම එන්නකෝ මම කිව්වා.

අම්මෝ මට නම් බෑ. ඔයා මාව වට්ටයිමට නම් බෑ.. අම්ම බය වෙලා.

ඔය ඉතිං.. අම්මත් එක්ක බෑ නේ.. ඉන්න මම වඩාගෙන පෙන්නන්න. වට්ටන්නේ නෑ.. මම ආයෙත් කිව්ව.අම්ම කෑගහද්දීම මගේ බලේට අම්මව වඩා ගෙන කුස්සිය ඇතුලෙ ඉඳං එළියට උස්සගෙන ගියා..

අනේ මාව බස්සන්න.. මුරුගන් මාමා දකී.. ආයෙත් චරු චුරු ගානවා. 

නෑ නෑඑයා කොහෙ දකින්නදඔන්න කියන නිසා බස්සන්නම්.. අම්මේ මට තේ ටිකක් ඕන.. හෙමීට පොත දැම්මා.

ආ.. ඒක තමා මෙයාගෙ මේ කෝලම.. හරි හරි මම තේ එක හදා ගෙන සාලෙට අරං එන්නම්. ඔයා ගිහිං පාඩම් කරන්නකෝ.. අම්ම එහෙම කිව්ව.

එද්දි මගේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකත් ගේන්න.. මම යනෝ..

එහෙම කියපු මම කුස්සියෙන් එළියට ආවෙ අම්මගෙ මූණට කිස් එකක් දීගෙනමයි. ගිහිං බයෝ පොත පෙරලගත්තා. ජෛව විවිධත්වය  පාඩමේ ආත්‍රෝපෝඩා වංශය සී.ආර් පොතේ ලා කොළ පාටින් ලියල තිබුණා. මම පාට පෑන් සෙට් එකයි බාල හාෆ්ශීට් කොළ ටිකකුයි අතට ගත්තෙ කෙටි සටහන් ගහන්න.. ටික වෙලාවකින් අම්ම තේ එකයි බිස්කට් පැකට් එකයි අරං ඇවිත් කතා නොකරම හිනා වෙලාඒක මම වැඩ කර කර හිටපු ටිපෝ එක උඩින් තියල ගියේ මට පාඩම් වැඩට බාධාවක් වෙයි කියල.

බිස්කට් හතරක් පහක් කාල නිකල් පාට මගේ කෝප්පෙන් බාගයක් විතර තේ බිව්වම මට අළුත් පණක් ආවා වගේ. නිදිමතත් නැති වෙලා ගියා. හවස හය හමාර වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරපු මම ගේ අතු ගාන්න ගත්තා. වෙලාව 7යි. අම්ම ප්‍රවෘත්ති බලන්න ගියා.විශේෂ වැඩක් නොතිබුණත් හැමදාකම වගේ ෆේස්බුක් ගිහිං අළුත් විස්තර මොනාද කියල දැනගන්න  පුරුද්දක් මට තිබුණා. එදා රෑත් මම 7ට කොම්පියුටරේ on කර ගත්තේ කාලෙකින් සින්දුවක් අහන්නත් බැරි උනා කියලත් මතක් කරන ගමන්මයි. ඒවෙද්දිත් මගේ යාළුවො හිටියෙ
65කට කිට්ටු ගාණක් නිසා මම යාළුවො එකතු කර ගනිද්දී වැඩිය හොයල බැලුවෙ නෑ..


හැමදාම සෙල්ලම් කර කර හිටපු ක්‍රිකට් සෙල්ලම ටිකක් වෙලා ගහ ගහ ඉඳල ඒක එපා උණු නිසා මම ආසා සිංදුවක් දැම්ම... 

කල්පයක් පුරා හිඳගෙන
සොරාගෙන මගේ හදවත
සොඳුර නුඹ මටම
මාවත්..
 පුදුමයක් කළා...

හෙඩ් ෆෝන් එක දාගෙනම මම හෙමිහිට සිංදුවේ පද මිමිණුවා. ඊයේ රෑ ඇවිත් තිබුණ මැසේජ් එකක් දැකල අහ අහ උන්නු සිංදුවත් අමතක උණා.. ඉස්සෙල්ලම ඇස් පොඩි කරල බැලුවෙ මේ ඇත්තටම මට එවපු එකක්ද කියල.. ඇවිත් තිබුණේ පිරිමි නමකින්.  සඳුනිල් නිමන්ත දබරේරා... අහල පුරුදුම නැති නමක්.. කවුරු උණත් කමක් නෑ කියල මම මැසේජ් එක බලන්න හිතාගෙන ඒක උඩ ක්ලික් කළා.. ගෙදර ටෙලිෆෝන් එක හැඬවුණා.

 සුද්දියේමෙන්න පොඩි අය්යගෙ යාළුව ඉසුරු කතා කතා කරනවා ඔයාට.. තාත්ත කතා කළා.

හෙලෝකියන්න ඉසුරු අයියේ මම කිව්වා.



 හෙලෝ නංගිනයන කතා කරනව කිව්ව දැන් ස්කයිප්. ලොග් වෙන්න කියන්න කිව්ව.. ඉසුරු අයිය උත්තර දුන්න.

හරි අයියේතැන්ක්ස්. බුදු සරණයි.

බුදු සරණයි නංගි

මම ෆෝන් එක තියල අම්මටයි තාත්තටයි පණිවිඩේ කියාගෙන ආපහු ඇවිත් වාඩි උණා. බැලින්නම් එතකොටම Unable to Connect Internet කියල වැටුණේ කරුමෙට. මළ හත්ඉලව්වයි.. ආයේ ඉතින් ෆේස්බුක් යන්නත් බෑ. අම්මල කොම්පියුටරේ ඉස්සරහ හිටගෙන. විනාඩි 5 කට විතර පස්සෙ ඉන්ටර්නෙට් connect වෙච්චි ගමන් මම ස්කයිප් ලොග් වෙලා පොඩි අය්යට කෝල් එකක් ගත්තා.

හෙලෝ නංගිකෝ අම්ම ඉන්නවද?” පොඩි අය්ය ඇහුවා.

ඔව් මේ මෙතන ඉන්නේඅම්මේ අයිය එක්ක කතා කරන්න.. මම නිදාගන්නවා. කතා කරලා ඉවර වෙලා මාව නැගිට්ටන්න..

එහෙම කියාගෙන රෑට කෑම බෙදාගෙන කාලදත් මැදලකකුල් දෙකත් හෝදගෙන ඇඳට ගියේ ඇත්තටම නිදිමත නිසා නෙමේ.. අද දවසට ආයේ ෆේස්බුක් ගිහින් එන්න වෙලාවක් නැති බව දන්නා නිසාමයි.. ඇඳේදී මතක් උනා මල්කියට ටියුට්‌ එක ගේනවා කිව්ව කියල. ටියුට්‌ එකත් බෑග් එකේ දාල ආයෙමත් ඇවිත් නිදා ගත්ත.

කතා කරලා ඉවර වෙලා අම්ම ඇඳ ගාවට ඇවිත් මාව කීද්දුවේ කොම්පියුටරේ වහන්න කියන්න. මම කම්මැලි කමට ඇඹරි ඇඹරි නැගිට්ටෙ ඔරලෝසුව දිහාට ඇස් කරකවන ගමන්.. හයියෝ  10.30 ත් වෙලානේ.. දැන් නම් ආයේ ෆේස්බුක් යනව බොරු. නිදා ගන්න තමා වෙන්නේ”.. තනියම හිතින් කියා ගත්තු මම ඇඳෙන් බැස්ස. සෙරෙප්පු දෙක දාගෙන පොඩි අය්යගේ කාමරේ තිබුණු කොම්පියුටරේ ඕෆ් කළා. කාමරේට ඇවිත් ෆෝන් එක කොට්ටේ යටින් තියාගෙන නින්දට වැටුණේ කවුද මේ සඳුනිල් කියල හිතන ගමන්මයි..

------------------------------------------------------------------------------------------------------------
තරූෂිට මැසේජ් කරපු සඳුනිල් කවුදඑයා එවපු මැසේජ් එකේ තිබුණේ මොනවදදැනගන්න සඳයි තරුයි දෙවෙනි කොටසත් එක්ක එකතු වෙන්න...

ප.ලි - මේක මම මුලින්ම ලියන්න හිතපු කතන්දරය. වැරදි අඩුපාඩු ගොඩක් ඇති .. කිව්වොත් ලොකු උදව්වක්. ඊළඟ කොටස සාර්ථක කරගන්න ඔයාලගේ පුංචි අදහස ප්‍රයෝජනවත් වේවි..!!!

                                                  ~~~සඳයි තරුයි~~~ 2 කොටස


Wednesday, February 22, 2012

සැරිසැරීම



විඩාපත් ගත සුසුම් ලන විට
 දුරු ගමනෙ හුදකලාවේ...
කවුළුවෙන් එන සිහිල් පවන් රොදට
වසඟ වී නටන අකීකරු කෙහෙරැල්ල
ගෙනෙයි මුවගට සිනා කැන් ළපටි ...

මොහොතකට පහව ගිය විඩාවේ
ඇසිල්ලකින් සිත දුවන අතීතය....
සිතින් පොඩි එකෙකු වී මා
අම්මාගේ ඇකයේ උණුහුමට තුරුල් වී....
ගොසින් ආයෙමි පුංචි සවාරියකුත්

දැහැනින් මිදී එළඹි කළ ලොවට පියවි
ශේෂ විය මගේ නෙත් මායිමේ
පුංචිම පුංචි සීතල එක
කඳුළු බිංදුවක්...
යළි නොඑන හුරුබුහුටි කාලේ 
සිතින් විතරයි පෙනෙන්නේ...

**********




Sunday, February 19, 2012

කෙමිස්ට්‍රි පාඩම


අද ඉස්කෝලේ කතාවක් කියන්නයි යන්නෙ මම... ඉස්කෝලේ කිව්වට ඉස්කෝලෙම නෙමේ,ඉස්කෝලේ යන කාලේ වෙච්ච එකක්... මේකෙ ප්‍රධාන චරිත දෙකයි. මමයි මගේ යාළුවයි. එයාගේ නම සඳලි... දැන් ඉතින් සඳලි කවුද කියලත් කියලම හිටියනම් තමා හොඳ..

සඳලි කියන්නෙ මම එක වසරෙදිම අඳුර ගත්තු යාලුවෙක්. ඒ දවස් වල ඉඳන්ම චිත්‍ර අඳින්න, නටන්න, සිංදු කියන්න මේ හැම එකකටම එයා දක්ෂයි. ඉතින් ඒ වෙද්දි මගේ හොඳම යාළුවා සඳලි නෙමේ උණත් ගොඩාක් හොඳ යාලුවෙක් වෙලා තමා හිටියේ. 5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු පැත්තට යද්දි අපි දෙන්න පන්ති දෙකකට වැටුණේ. එයා D මම F ..(ලොකු පැත්තයි පොඩි පැත්තයි වෙන් උනේ මහා පාරෙන්. දැන් නම් ගුවන් පාලමකුත් තියෙනවා) 11 වසරට වෙනකල් අපි දෙන්න මුණ ගැහුණේ අතිරේක විෂයකට කරපු Commerce ඉගෙන ගනිද්දි විතරමයි. යටගිය අපේ යාළුකම ආයෙත් අලුත් වුණේ සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළට ආවම අපි දෙන්නම එක පන්තියට අහු වුණ නිසයි....

සඳලි කියන්නෙ සුදු බෝලෙ වගේ ලස්සනම ලස්සන කෙල්ලක්. දකින ඕන කෙනෙක්ට ආපහු හැරිල බලන්න තරම් හිතෙන ලස්සන කෙල්ලෙක්. කොල්ලො සෑහෙන්න ඒකිට කෙළ හල හල උන්නත් ඒ හැම බලාපොරොත්තුවක්ම කඩ වුණේ ඒකි O/L පන්තියෙදීම කොල්ලෙක් එක්ක යාලු උන එකෙන්. (තාම ඒකම තමා) සඳා හිනා වෙද්දිත් හරිම සිරියාවයි.

2009 අවුරුද්දෙ මුල හරියේ.. ඒ කියන්නෙ ජනවාරි අග තරම් සඳලි අපේ ගෙදර නැවතිලා පාඩම් කරන්න ආවා. (2009 කියන්නෙ මම විභාගෙ කරපු අවුරුද්ද) අපි දෙන්නම එකම මට්ටමේ වගේ තමා උන්නේ.. ඉතින් විභාගෙට ඇඩ්මිෂන් දෙනකල්ම අපි දෙන්න පාඩම් කලේ අපේ ගෙදර.. එයාලගෙ ගෙදර පාඩම් කරන්නත් අමාරුලු.. මොට්ටිසෝරි යන නංගි බබෙකුත් හිටියනෙ.


ඒ දවස් වල අපි ඉස්කෝලෙ ඇරිල ආවෙ බස් එකේ. ආයේ බස් එකෙන් බැහැලත් පයින් විනාඩි 10ක් විතර ඇවිදින්න තියෙනවා ගෙදර යන්න. ඕන නම් විනාඩි 15 ක් කරන්නත් පුළුවන්. මගේ වේගෙට විනාඩි 10 යි.. කියව කියව එන්න ගියාම විනාඩි 10 නිකන්ම 15 වෙනවා..ඇවිත් පටාස් ගාල ඇඟ හෝදගෙන පොත් දිග ඇරගෙන දෙන්න හරි හරියට පාඩම්. ෂෝර්ට් නෝට් ගහනවා, එකෙක් අනිකට පාඩම් කරපු එව්ව පාඩම් දෙනවා එක විකාරයයි.. බයෝ නම් කොහොමත් අපි දෙන්නට අවුලක් තිබ්බෙ නෑ. සඳාට අමාරු කෙමිස්ට්‍රි. මට පිකිස්‌.. ඒ විෂයන් දෙකට තමා වැඩි අවධානය දුන්නෙ.

එදා අඟහරුවාදා දවසක්. අපි දෙන්නටම පන්ති නෑ. පුරුදු පරිදි ගෙදර ඇවිත් පාඩම් කරන්න පටන් ගත්තා.මට මතක හැටියට කාබනින රසායනය ෂෝර්ට් නෝට් වගයක් හද හදා උන්නෙ.. ටික ටික හවස් වුණා... රෑටකාල ටික වෙලාවකින් සඳා ඇඳට ගියා ඔලුව රිදෙනවා කියල ... (ආහ්.. කියන්න අමතක උණා කලින්, හැමදාම අම්මගේ කාමරේ නිදියන මට තාවකාලිකව චූටි අයියගෙ කාමරේ ඩබල් ඇඳට ට්‍රාන්සර් එකක් හම්බුණා සඳා නිසා) ඉතිං මම තනියම පාඩම් කලේ..
අපේ අම්ම ඇවිත්

“ඇයි ඒ ළමය ඇඳේ?” කියල ඇහුව.

“එයාගෙ ඔලුව රිදෙනවා කිව්ව” කියල  මම අම්මට කිව්වා.

අම්මා මට කෝපි ගෙනත් දුන්න උණු වතුර බෝතලයක් පුරෝලා.. හූ හූ... සඳාට නෑනෙ කියල මාත් ඉතිං සුට්ට සුට්ට ඇද්ද 12.30 විතර වෙනකල්... ගෙදර කස්ටිය 11 වෙද්දි නිදි... තනියම පාඩම් කරල කම්මැලි කමටත් එක්ක මම පොඩ්ඩක් නිදිත් මතේ උන්නෙ..මෙන්න බොලේ හෙවණැල්ලක් පේනව පාඩම් කරන තැනට.. ටික ටික ලං වෙනව. මට දැන් බයයි බයයි වගේ..ඔන්න ටිකකින් බැලින්නම් සඳා ඇහැරලා !!! ඒ කියන්නෙ මේකි නිදාගෙන තියෙන්නෙ බොරුවට, ඔලුව රදේ කිව්වෙ බොරුවට.. දෙයි සන්තෝ මෙහෙමත් එකියක්.. අච්චර වෙලා ෆෝන් එකෙන් මල් කඩ කඩ ඉඳලා.. රහසින්.. ඇඳට වෙලා. මම අහරෙ පොත් එක්ක ඔට්ටු වෙද්දි.. දැන් මට නම් නිදි මතයි හොඳටම.. මෙයාට එළියට යන්න ඕනලු කතා කරන්න. මළ හත්ඉලව්වයි... මේකි දන්නවයි අපේ ගෙදර දොරවල් වල යතුරු, අගුලු ගැන..

මම ඉතිං කෝකටත් කියල චූටි අයියගෙ කාමරේ ජනේලේ ඇරලා දාල ඒකිව එළියට දාල දොර වැහුව.

“ඉවර උනාම කතා කරහන්”


කියල මම ඇඳේ පොඩ්ඩක් ඇල උනා. ඔන්න පැය බාගයක්/විනාඩි හතලිස් පහකට විතර පස්සෙ මට මොකකින් හරි පාරක් වැදුණා.. මම ගණන් ගත්තේ නෑ. තව ටිකක් වකුටු වෙලා නිදා ගත්තා. ආයෙත් පාරක් අර සන්තෑසියම උණා. ඇස් පොඩි කර කර නැගිට්ටා. අෆ්ෆටසිරි!!! සඳා ජනේලෙ ගාව ඉඳං කොඳුරනවා

“යකෝ ගිහින් දොර ඇරපන් මම එලියෙ”

කියල.. එතකොට තමා නිදි මත පලා ගිහින් වහා සීනි කෝන් එක මීටර් උණේ.. මේකි මට ගහල තියෙන්නෙ ජම්බු ගෙඩියකින්.. :) මම හොරා වගේ සද්ද නොකර ගිහින් පිටිපස්ස දොරේ අගුල්  ඇරලා එක්කන් ආවා කෙල්ලව. ආව ගමන් සඳා ඇඳට වැටුණා. මම ලයිට් එක දාල බැලුවා වෙලාව, පාන්දර එකත් පහු වෙලා. මට දැන් හරි සන්තෝසයි...ලයිට් එක නිමලා මාත් ඇඳේ ඇල උණාට අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නින්ද ගියේ නෑ.. ඒ මදිවට පහුවදා පිකිස්‌ ප්‍රායෝගික පරීක්ෂණයක් ලියාගෙන එන්නත් කිව්ව. ඒක කරල තිබ්බෙත් නෑ අපි.. ඉතිං අපි දෙපල කතා උණා පහුවදා ( නියම විදියට නම් එදා දවසෙ) ඉස්කෝලෙ නොගිහින් ඉන්න. ලයිටුත් නිවාගෙන නිදා ගන්නෙත් නැතුව එලි වෙනකල් කල් මැරුවා.. පාන්දර 5 විතර වෙද්දි අපි දෙන්නම ඇඳෙන් නැගිට්ටා. මම කිව්ව අම්මට අද ඉස්කෝලෙ යන්නෙ නෑ ගෙදර ඉඳං පාඩම් කරනවා කියලා..  අම්ම මොකුත් කිව්වේ නෑ.. අපි හවස 2 විතර වෙනකල් පාඩම් කළා. හවස 3ට අපි දෙන්නටම පන්ති. පංතිත් ගියා වෙලාවට ලෑස්ති වෙලා.


හ්ම්ම්... මේ විදියට පාඩම් කිරීමේ ප්‍රථිපලය වුණේ .... එක්කෝ ඒක ඕන නෑ...

දැන් කස්ටිය කියයි මේක මට උනු වැඩක් කියලා.. පළවෙනි පාර එක්සෑම් කරලා ප්‍රතිපලත් ආවට පස්සෙ තමා දෙයියනේ කියල මට ෆෝන් එකක් අරන් දුන්නේ..

ප.ලි- සඳා දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය පාටමාලාව  හදාරන පළමු වසර සරසවි කෙල්ලකි.

මගේ යාළුවා පව්නේ.. ඒ නිසා නම නම් මනඃකල්පිතයි... 

Monday, February 13, 2012

ඇයි වහ කන්නෙ?


වහ කාලා කිව්වම ඔයාලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකක්ද? පැනඩෝල් බීල වකුගඩු නරක කර ගත්තු කෙනෙක්... කුරේටර් කාලා ඇස් අන්ධ කරගත්තු කෙනෙක්.. එහෙමත් නැත්නම් කෘමිනාශක බීල සති ගාණක් හොස්පිටල් එකේ හිටපු කෙනෙක්... මම කාගේද මන්ද ලිපියක කමෙන්ටුවක් විදියට ඒ ගැන දැම්ම මතකයි. (හරි හරි මතක් උණා පවනි මල්ලිගේ අළුත් ලිපියට දැම්මෙ..කමක් නෑ, මෙතනත් එක දාන්නම්කො...) අමාරුවෙන් ලැබුණු මනුස්ස ජීවිතේ ඒ විදියට විනාශ කර ගන්න එක නම් පව්කාරකම කියලයි මට හිතෙන්නේ... හැබැයි මම මේ කියන්න යන්නේ ඒ වහ ගැන නෙමේ. දැන දැනම හෝ නොදැනුවත්වම අපි ඇඟ ඇතුළට දාගන්න වහ ගැනයි මේ ලිපිය.

අද දවල් මම ටවුමට ගියා බඩු ගේන්න. එවෙලේ ආපු සිතුවිල්ලක් තමා දැන් අකුරු කරන්නේ.. අපේ පාරෙන් එළියට ආවම වම් පැත්තට හලාවත යන බස් හම්බෙන්නේ..දකුණු පැත්තට කොළඹ බස්.. දෙපැත්තටම අඩි විස්සක් විතර ගියාම තියෙනව පාට පාට කුඩ ඉහළපු පොඩි පොඩි බත් කඩ කීපයක්ම. කීයක් තියෙනවද නම් මතක නෑ.. ඒ ගොඩක් දෙනෙක්ව මම හොඳට අඳුනනවා. මා එක්ක හිනා වෙනවා. ඉතින් මේ කියන්න හදන්නෙ එයාල කෑම හදන්න බඩු ගනිද්දී නොවරදින දේවල් ගැන.

එයාල අනිවාර්යයෙන්ම අජිනමොටෝ දානවමයි. මම දන්නා කිසිම කෙනෙක් සාමාන්‍ය අයඩින් මිශ්‍ර ලුණු නම් දාන්නෙම නෑ, සහතිකයි... තව නෝ චිකන් කියුබ් පාවිච්චි කරන අයත් ඉන්නව.. ඇයි මැගී සුප් කැට... කෑම තෙම්පරාදු කරන්න ගන්නෙ පොල්තෙල් වලට වඩා ලාභ ෆාම් ඔයිල් කියන ඒවා.. (වැඩිය නෑ රුපියල් 10ක් අඩුයි.) විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා අජිනමොටෝ වලට අමතරව තව සුදු පාට කුඩු වර්ග 3ක් ද කොහෙද දානවා කියල... ම්ම්ම් තව සෝයා සෝස් ගන්න අයත් ඉන්නවනේ!!

ඉස්සර ප්‍රීමා නැත්නම් මැගී නුඩ්ල්ස් පැකට් වල ගහල තිබුණා NO MSG කියල. ඒකෙ තේරුම මම දැනගත්තේ ගොඩක් පස්සෙ, උසස් පෙළ පන්තියේදී. MSG කියන එකේ තේරුම Monosodium glutamate කියන එක. ඒ වෙනුවට කියන අනික් නම තමා අජිනමොටෝ.. ඉතින් කඩේ කෑම මේ තරම් රසවත් වෙන්න හේතුව දැන් පැහැදිලි නේද? කන්නෙ වහ. රටේම තියෙන විස ටික කන බත් පතේ..

අපේ අම්ම ඉස්සර ඉඳන්ම අපිට නුඩ්ල්ස් හැදුවත් සෝයාමීට් ඉව්වත් කවදාවත් රසකාරකය දැම්මේ නෑ..අදටත් එහෙමයි. මම ඉතින් කරන්නේ ඒක පෙන්නලා “මේක දාමු කියල” එයාව අවුස්සනවා විහිළුවට.. ඒ වෙලාවට එයාගේ මූන තමා බලන්න ඕන... J  රසකාරක පැකට් එක විසි කරන්නෙ “ඕව කන්න හොඳ නෑ,පිළිකාකාරක” කියල.. ගිය සැප්තැම්බර් මාසේ අපේ ගෙදර පිරිතක් තිබුණා. ඒකට කෑම උයන්න ආපු කට්ටිය සෝයා සෝස් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච බෝතල් බාගයක් තාම ඔහේ තියෙනව.. අල්ලන්නේවත් නෑ. දාන්න කිව්වත් අම්ම බනිනවා.


ඔයාලගෙන් මම ඇහුවොත් මෙතෙක් කාල තියෙන හොඳම කෑම වේල මොකක්ද කියල.. ගෙදර හදපු කෑම එක කියල කීයෙන් කීදෙනෙක් උත්තර දේවිද? වෙඩින් එකකදී කාපු කෑම වේලක් මතක් වෙන අයත් ඉඳීවි. මට නම් තනියෙන් හරි ගෙදර හදාගන්න කෑම එක තරම් කිසි දෙයක් විශ්වාස නෑ. මගේ යාලුවෙක් දවසක් කිව්ව එයාගේ අම්ම බෝංචි උයද්දී සුප් කැට දානවා කියල.. ඒ කිව්වේ මම 5 වසරේදී.. ඉතින් ගෙදර අම්ම කෙනෙක්ට තමන්ගේ ළමයට හදන කෑම එක සෞඛ්‍යාරක්ෂිතව හදල දෙන්නත් බෑනේ. අනේ මන්ද , ඒ කියන්නේ උයන්න දන්නෙ නැති කම.. L ඕව මොකුත් නොදා හොඳ රසට කෑම හදන්න පුළුවනි.

තව... මාතර බත් කඩ කියල ජාතියකුත් තියෙනවනේ.. ඒවල විශේෂත්වේ මොකක්ද කියන්න නම් මම දන්නෙ නෑ.. සමහරවිට ඒ කඩවල කෑම රස ඇති. ගමේ විදියට කෑම උයනවා ඇති.. ඒත් චීනෙත් නැති චයිනීස් වගේ තමා දැන් ලංකාවේ හැම තැනම මාතර බත් කඩ !! දවසක් පත්තරේක මම ඔය ගැන ෂෝක් කතාවක් කියෙව්වා. (රිද්ම පත්තරේ තිලක්ගේ කොමිටි) ඒකෙ අසන්නාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ  මාතර බත් කඩ හිමියෙක්ට..

“මාතර බත් කඩ හිමියෙකු වශයෙන් ඔබට මාතරට ඇති සම්බන්ධය කුමක්ද?”

“ම්ම්හ්හ්... එහෙම සම්බන්ධයක් නම් නෑ”

“හොඳට මතක් කරලා බලන්න”

“ආහ් ඔව් ඔව් ඔව්.... දැන් මතකයි. අපි දවසක් ඒ පැත්තේ ට්‍රිප් එකක් ගිහින් එද්දී මාතර හරියේදී වාහනේ ටයර් එකක් ගියා..”

ඔන්න කතාව...එතකොට අපි මේ කෑම රහ කර කර කනවා... පුළුවන් තරම් දිව පිනවනවා.. ඒකෙ ප්‍රතිපල එවෙලේම ලැබෙන්නෙ නෑ. ටිකක් කල් යනවා. ඔන්න ඊට පස්සෙ ලෝකේ නැති ලෙඩ.. ප්‍රෙෂර් කියයි, කොලෙස්ටරෝල් කියයි, සීනි කියයි... කට පරිස්සම් කරගත්තා නම් ඔය දේ වෙන්නෙ නෑ නේද? වයසට යන්න යන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බැරි කාලේ කාටවත් කරදරයක් නොවී ඉන්න, තමන් දුක් නොවිඳ ඉන්න. පුළුවන් කාලේ ඇති පදමට කාල බීල බැරි කාලේ විඳවන්නෙත් තමන්මයි නේද?

ඉන්න ටිකේ ජොලියෙ ඉඳිල්ලා කියල බැරි කාලේ විඳවන එකද ජීවිතේ?

 මේක හැමෝටම කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. කඩෙන් කෑම කන්න සිද්ධ වෙන අය ඉන්න පුළුවන්. ඒ අයට නම් දෙන්න පිළිතුරක් මට නෑ.. L  පුළුවන් තරම් සැළකිල්ලෙන් කෑම ගන්න කියල තමා කියන්න වෙන්නෙ.. හැබැයි පුළුවන්කම තියාගෙන නම් කඩෙන් කන්න එපා ඔයාලා... ගෑණු ළමයින්ට හොඳට උයන්න ඉගෙන ගන්න කියන පිරිමි පාර්ශවේ අයත් උයන්න ඉගෙන ගත්තට පාඩුවක් නම් වෙන එකක් නෑ..J

කෑම ගැන කියනවා නම් අපි කන්නෙම වහ තමා.. වී ඇටේටත් කෘමිනාශක ගහනවනේ, එළවලු වලටත් රට පෝර දානවා.. එළවලු ටිකක් නම් හිටවගත්තත් පාඩු නෑ. වී වගා කරගෙන කන්න කියල නෙමේ මේ මම කියන්නෙ.. ඒ දේවලුත් ඒ විධියට සිද්ධ වෙද්දි ඇයි තවත් වස විසම ඇඟට දාගන්නේ.. එතනදි වත් පරිස්සම් උණොත් හොඳයි නේද?

අද ලිපිය එතරම් සාර්ථක නැති වෙන්න පුළුවන්...  දාන්න හිටපු ලිපිය පහු වෙලා දානවා.. J කියෙව්වට ස්තුතියි...!!!

Tuesday, February 7, 2012

සේපාලිකා මල (කෙටි කතාව)



 “හෙට පාලොස්වක පෝය.. උදෑනැක්කෙම පන්සලට යන්න ඕන”

පියවතී එසේ කීයේ කිසිවෙකුටවත් නොව තමාටමය. තැනින් තැන අණ්ඩ දැමූ කහට ගැහි සුදු චීත්තයද තමා සන්තකයේ වූ එකම සුදු හැට්ටයද පෙර දිනම රැයේ ඈ සරි කර තැබුවේ බැතිබර සිතිණි. 

පසු දින උදෑසනම අවදි වූ පියවතී  තම සිල් ඇඳුම ඇඳගෙනම මිදුලේ වූ සේපාලිකා ගසෙන් මල් නෙළුවාය. නිවසේ බුදු කුටියට වැදුණු ඈ ඉන් කොටසක් බුදුන්ට පුදා ඉතිරිය සිලි උරයක දමා තම මල්ලෙහි ඔබා ගත්තාය.

“දුවේ, මම පන්සල් යනවා”

කියා නිවැසියන්ට දන්වා උරබන්දිය අපිළිවෙලට පටලවා ගත් වයෝවෘද්ධ ස්ත්‍රිය අඩ අඳුරේම හෙමින් හෙමින් පන්සල කරා ගමන් ඇරඹුවාය. අතරමගදී අසල්වැසි නිවසේ රොසලින් ද ඇය සමඟ ගමනට එක් වූවාය.

“ආහ්, පියවතී අක්කේ.. අද උදෑනක්කෙම ගෙදරින් එළි බැහැල වගේ ”

“ඔව් රොසලින් නගේ, ගිය පෝය දොහටත් තුනටියේ කැක්කුමක් ඇවිදින් මට එන්ට බැරි උණා නෙව.. ඒක හින්ද අද වේලපහින්ම ලෑස්ති උණා”

“ඒක නේන්නම්, හොඳා හොඳා පය ඉක්මන් කරල යමු අක්කෙ එහෙනම්”

පියවතී  දීග ගිය දූවරු දෙදෙනෙකුගේ හා පුතුන් දෙදෙනෙකුගේ මෑණි කෙනෙකි. කලක පටන් ඇයගේ වාසස්ථානය වූයේ තම පොඩි දුවගේ නිවසයි. ඈටද පස් හැවිරිදි පුතෙක් සිටී. ගතින් දුබලව ගියද පියවතී සිතින් තවමත් ශක්තිමත් කාන්තාවක් වූවාය.කල් තියා පිටත් වූ බැවින් සිල් දීමට පෑ බාගයකට පමණ පෙර පන්සලට ඒමට ඔවුන් දෙදෙනාට හැකි විය. දෙදෙනා එක්ව පන්සල් මළුව ඇමදුවෝය. ගෙන ආ තෙල්, මල්, සුවඳ දුම් වලින් තෙරුවන් පිදූහ.  

කෙමෙන් කෙමෙන් සිල් ගැනීමට පැමිණි ඇත්තන් එක්කාසු වෙද්දී පන්සලේ ලොකු හාමුදුරුවෝ ධර්ම ශාලාවට වැඩම කළහ. රැස්ව සිටී පිරිස ශීලයේ පිහිටවූ උන්වහන්සේ සිල් ඇත්තන්ගේ පාතරාසය සඳහා කටයුතු සලස්වමින් ශාලාවෙන් බැහැර වූහ.පැයක කාලයක් ලැබෙන ඒ කටයුත්තේදී වැඩි ඉඩක් වෙන වූයේ උපාසක අම්මලාගේ හා උපාසක මහත්තයලාගේ ඕපාදූප කියවිල්ලටය. මසකට වරක් හමුවන මොවුන්ගේ සතුට එය වන්නට ඇත.

“මේ, සුමනෝ දන්නවද වැඩක් ! අර එහා ගමේ ලීලක්කට සර්පයෙක් ගහල.. හොඳටම අමාරු වෙලා. ඔයිං මෙයින් බේරිලා තියෙන්නෙ”

“ඇත්තද ඇල්බට් අයියේ, හෙටම උන්දැව බලන්න යන්න වේවි”

“මේ ඒක නෙමේ පත්මක්කේ, අර දියෝනිස් අයියලාගේ ලොකු කෙලී රට ඉඳං ආවා කියන්නෙ ඇත්තද? මම නං දෑහට දැක්කෙ නෑ..”

“ඔව් සිරියාවතී නංගියේ, ඒකි ඇවිත් තියෙන්නෙ පෙරේද රාත්තිරියේ.. උන්ට දැන් හරි ජයයි..”

පාතරාසය හමාර වී සිල් ඇත්තන් සූදානම් වූයේ උදෑසන ධර්ම දේශනාවට සවන් දීමටය. පියවතිද තම මිත්‍ර රොසලින්ද කැටුව ඉදිරිපස තිබූ කලාලයක වාඩි ගත්තාය. සවන් පත් එදෙසට යොමු කළද සිත තුබුයේ ගෙදරය.

සිව් දරු මවක් වූ ඇය තම දියණිය සෙවණේ හුන්නද තම මව ගතින් වඩ වඩාත් දුබල වන්නේද එතරම්ම ඇයට දක්වන සැලකිල්ල බිඳකින් හෝ අඩු උණා මිස වැඩි වූයේ නම් නැත. තමාටම පමණක් ජීවත් වන්නට සකසා දී ඇති නිවසින් පිට කුඩා නිවසේ ඈ තනිවම තම කෑම වේල පවා සකස් කර ගනිමින් කිසිවෙකුටත් කරදරයක් නොකරමින් විසුවාය. විශ්‍රාමික ගුරු මාතාවක් වූ පියවතී තම මූලික වියදම් සරි කර ගත්තේ පෙන්ෂන් පඩියෙනි.

ලෙඩට දුකට කලට වෙලාවට බෙහෙත් සාදා දෙන්නට තරම් සිතක් පහල නොවූ ඇගේ දියණිය ඇගේ පහසුවම තකමින් පැරසිටමෝල් පෙතිම සිය මෑණියන්ට ගිල්ලන්නට උත්සුක වූවාය. මේ ද තමාගේ දරුවෙකුයි කියා ඇය ඉවසුවාය. සිතින් හැමවිටම දරුවන් සිව් දෙනාටම ආශීර්වාද කළාය. ඔවුන්ට නම් අම්මෙක් සිටින බව මතක් වන්නේත් අවුරුදු කාලයට පමණි. හැට්ට රෙදි කෑල්ලක්, චීත්ත රෙද්දක් ගෙන තමන් බැලීමට පැමිණෙන වග ඈ දන්නීය. එහෙත් එවැන්නකට මව් සෙනෙහස සම කළ හැකිද? ඈ තම දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයද? රිදුම් දෙන මතකය යළි යළිත් අවදි වෙද්දී ඇගේ චීත්ත කොණ පෙඟී යන්නට විය. පැය එකහමාරක් ගෙවුණා ඇයම නොදත්තාය.

“පියවතී අක්කෙ, අන්න බුද්ධ පූජාව විහාරෙට වැඩම කරනවා, උන්නු තැනින් නැගිට්ටනම්... සුනංගු නොවී ඒ පැත්තට යමු”

පියවතී පියවි සිහියට එළඹියේ එවිටය. වහා කඳුළු වළකා ගත් ඈ අසල බිත්තියට වාරු දී නැගිට්ටාය.  දෙදෙනාම ඉක්මන් ගමනින් විහාර ගෙය දෙසට ඇදුනාහ. සියළු ගාථා කියා බුද්ධ පූජාව පවත්වා ඉනික්බිති සියල්ලෝම නැවත ධර්ම ශාලාවට ගොස් ඈඳී ගත්තේ දහවල් දානය වළඳන අටියෙනි.

දානයට පිළිගැන්වූයේ මොනවාද යයි පියවතී නොදනී. අතීතයට සිත දිව ගොසිනි. පොඩි දුවට අවුරුද්දක් ලබන්නටත් කලියෙන් සැමියා මිය ගිය අයුරු ඈ සිහිපත් කළාය. ඉන්පසු තමා ගුරු වෘත්තියේ යෙදෙමින් තම දරුවන් පිරිස හදා වඩා ගැනීමට වෑයම් කළ හැටි ඈට මතක් විය. නැවත කසාදයක් කර ගන්නා ලෙස මව්පියන් කළ ඉල්ලීමද නොසලකා තම මුළු ජීවිතයම දරුවන් සිව් දෙනා වෙනුවෙන් කැප කළ අයුරු සිහියට නැගෙන විට අනවසරයෙන් නෙතු අගට පැමිණි කඳුලක් ඈ ආයාසයෙන් මැඩපවත්වා ගත්තාය.

දහවල් දානමය අවස්ථාවෙන් පසු උදා වූයේ ධර්ම සංවාදයේ යෙදීමේ මොහොතයි. වයෝවෘද්ධ වෙද මහත්මයෙකු විසින් මෙහෙය වූ එය පැයකින් පමණ අහවර විය. මීළඟට තේ විවේකය එළඹිණි. රහ ගුණක් නොබැලූ පියවතී උපාසක අම්මා හකුරු කබල්ලත් සමඟ තේ ඩිංග ඉකමණින් හමාර කළාය.
පන්සලේ වැඩ වසන පොඩි හාමුදුරුවෝ ධර්ම ශාලාවට සැපත් වූයේ මේ අල්ල පනල්ලේය. ඒ මීළඟ අදියර වූ භාවනා වැඩසටහන මෙහෙයවීමටය. පොඩි හාමුදුරුවන්ගේ නම රාහුලය.

“ආහ්... උපාසක මහත්තයල තේ පානය අවසන් කරල වාඩි උණා නං මෙන්න මෙහෙන්. කෝ ඔය පොඩි ළමයි එහෙම ඉන්නවා නම් එන්න ඕන මට පේන්න ඉස්සරහට.. පිටිපස්සට වෙලා කසු කුසු ගන්න බෑ තේරුණාද? කවුරුත් බිත්ති වලට වාරු නොදී කඳ කෙලින් තියා ගත්තොත් හොඳයි”

රාහුල හාමුදුරුවෝ  උපාසක පිරිස අමතා දැනුවත් කළහ. ඉක්බිති නැවතත් ඔවුන් දෙස බැලූ හිමියෝ මෙසේ පැවසුහ.

“මම අරණ්‍යවාසීව හුඟක් කල් මහන්සි වෙලා  බණ භාවනා කරල ධ්‍යාන උපදවාගෙන තියෙනවා.. මට පුළුවන් මේ උපාසක ඇත්තන්ව විනාඩි 15ක් ඇතුළත රහත් කරන්න. කවුද කැමති දැන්මම නිවන් දකින්න. කෝ බලන්න කැමති අය අත උස්සමු”

රාහුල හිමියෝ එසේ කීයේ උපාසක ඇත්තන් මෝඩයින් යයි සිතා නොවේ.. උන්වහන්සේ එවැනි ධ්‍යානයක් ලබා සිටියේද නැත. උන්වහන්සේට ඇවැසි වූයේ මේ සිල් ඇත්තන්ගේ සිත් දැන ගැනීමටය.
විනාඩි  දෙක තුනක් බලා සිටියද කිසිවෙකුගේ අත් එසවුණේ නම් නැත.

“කෝ මේ උපාසක උන්නැහේලා කවුරුත් කැමති නැතිද දැන්මම සසරින් එතෙර වෙන්න? ඈ උපාසක අම්මේ මොකෝ අකමැතිද දැන්ම නිවන් දකින්න? මම දැන් මේ ඉස්සරහම ඉන්න කීප දෙනා ගෙන් අහන්නයි යන්නේ හේතුව.. හා කියමු බලන්න අපේ රන්දෙණිය ලොකු ඉස්කෝලේ මහත්තය මුලින්ම....”

“අනේ පොඩි හාමුදුරුවනේ, පොඩි කෙල්ල තාම ගෙදර. දෑහ පියා ගන්ට කලියෙන් ඒකිට පෙළවහක් කරල දෙන්න එපායැ..අම්මත් නැති කෙලී...”

“හොඳයි ඊළඟට කරෝලිස් වෙද මහත්තයා මොකද කියන්නෙ..”

“මගේ මේ වෙදකම තාම කාටවත් උගන්නන්න බැරි උණා හාමුදුරුවනේ... මේ සාස්තරේ අපේ එකෙක්ට දායාද නොකර මට රහත් වෙන්න බෑ අපේ හාමුදුරුවනේ..”

“ඊළඟට පියවතී උපාසක අම්මත් කිව්වනම් බලන්න සසරින් එතෙර වෙන්න දැන්ම බැරි කාරණාව මේ කට්ටියටම දැන ගන්ඩ..”

“අනේ හාමුදුරුවනේ, මම අද උදේ ගෙදරින් එළියට බහිද්දී පොඩි දුව කිව්වා යන ලෝකෙක ගිහින් හවස 5 වෙන්ඩ කලින් ගෙදර එන එකයි, මේ ළමය බලාගන්න ඕන. මට ගමනක් යන්න තියෙනවා. පස්සෙ මම නරක ගෑණි කියන්න එපා කියල. ඉතින් දෙයි හාමුදුරුවනේ, ඉන්න පැලත් නැතිඋනොත් මම කොහේ කියල යන්නද?”

සිවුරක් ඇඟ ලාගත්තාට සිතින් තවමත් පෘථග්ජනයෙකු වූයෙන් රාහුල හිමියන්ගේ සිත සොවින් බරවිය. කියන්නට වචන දහසක් මුවට නැගුණු මුත් මුව ගොළු විය.. උන්වහන්සේ ඉන්පසු කිසිවක් ඇසූයේ නැත.


                                                           

ප.ලි -මේ මම ඉඳල ඉඳල ලිව්ව මුල්ම කතාව. පුංචි උත්සහයක්...  කතාව කියවලා අඩු පාඩු තියෙනවා නම් පෙන්වා දීලම යනවා නම් ගොඩක් හොඳයි. ආයේ කතාවක් ලියද්දි ඒවා හදා ගන්නම්... 

Friday, February 3, 2012

ඒ ගර්ල් හරි ලකී


මෙනින්ජයිටිස්.. ඒ මොකක්ද ඒ.. උසස් පෙළට බයෝ කරපු අය නම් මේක හොඳට දාන්න වචනයක් වෙන්න ඕන. සාමාන්‍ය පෙළටත් යන්තමින් තිබුණා වගේ මට මතකයි. ඉතින් දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක මම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

මෙනින්ජි පටල කියල කියන්නෙ අපේ මොළය සහ කොඳුඇට පෙළ (එහෙම නැත්නම් මස්තිෂ්කය සහ සුෂුම්නාව) වටා තියෙන පටල වලට. ඒවා 3ක් තියෙනවා. චීනාන්ශුකාව,වරාශිකාව සහ ජාලකර පටලය කියල. ඒවා තියෙන්නෙ ආරක්ෂාවට.ආතරයිටිස් කියන්නෙ සන්ධිපත් ප්‍රදාහය වගේ මෙනින්ජයිටිස් කියල කියන්නෙ මෙනින්ජි පටල ප්‍රදාහයට. ඒ කියන්නෙ මොළේ සහ කොඳුඇටපෙළ  වට කරගෙන තියෙන මේ මෙනින්ජි පටල අස්සේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලය ආසාදනය වීම.. මොළේ උණ කියල කියන්නෙත් මේකටම තමයි.. ඉතින් ඇතිනෙ නමස්කාරය. දැන් යමු ලිපියට.

මේ ලිපිය ලියන්න මට හිතුණේ තරූගේ ලෝකය ලියන තරූ අයියගේ මේ ලිපිය දැකලයි.

එකදහස්‌ නමසිය අනූවෙ දෙසැම්බර් මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙන කාලෙක සිද්ධ වෙච්ච දෙයක් මේක. මට හොඳටම උණ ගැනුණාලු.. දවසක් දෙකක් බලං ඉඳල දවසක්දා හවසක අම්මල මාව හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා. එහෙදි උණ බහින්න බෙහෙත් දුන්නලු. ඒත් උණ නම් අඩු උනේ නෑලු පොඩ්ඩක්වත්. මගේ ඇඟ ගිනියම් වෙලා වගේ රස්නෙයිලු. මාව බලන්න ආපු අපේ චූටි මාමා අම්මට කිව්වලු

 අක්කෙ බලං ඉඳල නම් හරියන්නෙ නෑ. මෙයාව හලාවතවත් ගෙනියමු

කියල. ඉතින් පහුවදා උදේම මාව හලාවත හොස්පිටල් එකට ගෙනිච්චලු. එදා දවසෙ මාව බලන්න වාට්ටු භාර දොස්තර මහත්තයා ආවම උණ බහින්න බෙහෙත් දීල

ටිකක් බලමු

කියල අම්මට කිව්වලු. ඉතින් අම්මගෙ වැඩේ මාව සීතල වතුරෙන් තෙමන එකමලු. කකුල් වල යටි පතුල් තෙමනවාලු, නළලට තෙත රෙදි කෑලි දාලා පිහිනවාලු... කොහොමහරි උණ නම් පොඩ්ඩක් වත් අඩු වෙලාම  නෑ... අම්මත් හොඳටම බයේ ඉඳල තියෙන්නෙ.

පහුවදා ළමා රෝග විශේෂඥ දොස්තර මහත්තයා මාව බලලා කිව්වලු ලේ චෙක් කරන්න ඕන කියල. ඉතින් ලේ චෙක් කරන්න ගියාම ඉන්ජෙක්ෂන් කටු ගහල තියෙනවා විසි පලකට විතර. අනින අනින තැනින් ලේ එනවා විතරලු. නහර පේන්නෙ නෑලු.. වේලිලාලු. ඉතින් මම අඬන එකමලු කරන්නෙ... අඬනවා කිව්වට ඒකත් යන්තම කෙඳිරියක් විතරලු. අඬන්නවත් මට බැරිලු.

 මේ කාලේ වෙද්දී මම අම්මගෙන් කිරි බොන්නෙත් නැතිලු. කිරි බොන්න කට අරින්නෙ නැතිලු. ඉතින් මට බටයකින් තමා පිටිකිරි දීල තියෙන්නෙ. මම ජීවිතේටම මාස නමයයි අම්මගෙ කිරි බීල තියෙන්නෙ. මට හොඳ උනාට පස්සෙ අම්මට මට දෙන්න කිරි තිබිල නෑ. ඒ දවස් වල මම මැරිච්ච ළමයෙක් ගානටලු මම උන්නෙ. සුමාන දෙකක් යනකල් ඇස් ඇරියේවත් නැතුව තමා මම ඉඳල තියෙන්නේ. අඬනවත් ඇහෙන්නෙ නෑලු, කෙඳිරි ගානවා වගේලු ඇහෙන්නෙ. මුහුණත් හොඳටම වෙනස් වෙලාලු මන්දපෝෂණය හැදුණු ළමයෙක්ගේ වගේ.

ලේ පරීක්ෂාවෙන් මොකුත් හොයාගන්න නම් බැරි උනාලු. ඊට පස්සෙ අර විශේෂඥ දොස්තර මහත්තයා කිව්වලු මගේ කොන්දෙන් වතුර ගන්න ඕන කියල. එක පාරක් වතුර අරන් චෙක් කලාලු හලාවත හොස්පිටල් එකෙන්. මට ඒ කොන්දෙන් වතුර ගන්න අමාරුව වත් නොදැනෙන ගානට කිසි වෙනසක් නැතුව උන්න කියලයි අම්ම කිව්වෙ. කොහොමහරි ඒකෙනුත් මොකුත් හොයාගෙන නෑ. හැබැයි ඒ ගත්තු වතුර කිරීම කිරි පාට බව අම්ම දැකල තියෙනවා. ආයෙමත් සැරයක් කොන්දෙන් වතුර ගත්තලු. එවෙලේ අම්මා හලාවත මෙඩිකල් සෙන්ටර් එකකින් චෙක් කරලා.. එතකොට තමා හරියටම ලෙඩේ මොකක්ද කියල හොයාගෙන තියෙන්නෙ. මට මෙනින්ජයිටිස් හැදිලාලු.. මොළේට විෂබීජයක් ගිහින් ලුඊට පස්සෙ තමා මට හරියටම ප්‍රතිකාර පටන් අරන් තියෙන්නෙ. සුමාන දෙකක් යනකල්ම මගේ ඇඟේ රස්නෙ නම් බිංදුවක් වත් අඩුඋනේ නෑලු.

මම දවස් 20ක්ම හලාවත හොස්පිටල් එකේ ඉඳල තියෙනවා. ඒ හැමදාකම උදේ ලෙඩ්ඩු බලන වෙලාවට මාව බලන්න තාත්තා ආවලු. ඒ වෙනකොට ඉස්කෝලේ අටේ පංතියේ හිටපු මගේ ලොකු අයියා ඉස්කෝලේ ඇරිලා තනියම බස් එකේ එනවලු මාව බලලා විස්තර දැනගෙන යන්න. එද්දි ඕන කරන දේවල් අරගෙන  ඇවිත්, ගෙනියන්න තියෙන රෙදි අනං මනං අරන් යනවලු. අනූ එකේ ජනවාරි මාසෙ ඉස්කෝලෙට ඇතුල් වුණු මගෙ චූටි අය්යාව ඉස්කෝලෙට බාර දෙන්න ගිහින් තියෙන්නෙත් තාත්තා. එයත් චූටි නෙ. අවුරුදු පහනේ.. ඉතින් එයා නම් මාව බලන්න ඇවිත් නෑ. කිරි අම්මා චූටි අය්යාව බලාගෙන ගෙදර උන්නලු. එයාටත් අම්ම නැතුව හුඟක් පාළු හිතෙන්න ඇති..මාව බලන්න අපේ පාරේ හැමෝම ආවලු. ලොකු මාමා, චූටි මාමා, සුදූ මාමා මේ හැමෝම ඒ දවස් 20 ඇතුළත මාව බලන්න ආවලු.

කවුරු මාව බලන්න ආවත් ඒ දවස් 20න් දවස් 3ක් 4ක් ඇරෙන්න අනිත් හැම වෙලාවකදිම මගේ ළඟ උන්නෙ මගෙ අම්මාලු.. දැන් වගේ පහසුකම් ඒ කාලේ නෑනේ. එක ඇඳේ ළමයි දෙන්නෙක් දානවලු. අම්මල දෙන්නටම ඉඳගන්න තිබුණෙත් එකම එක පුටුවලු. ඉතින් වැඩි හරියක් අම්ම හිටගෙනම තමා ඉඳල තියෙන්නෙ. කකුල් පිට්ටු වගේ ඉදිමිලාලු. සෙරෙප්පුවක් කිට්ටු කරන්නවත් බැරිලු.(අම්ම ඒ දවස් වල විඳපු දුකට දැන් එයාට ඊට හපන් කරදරයක් වෙලා කියල මට හිතෙන්නෙ. එයාට දණිස් අමාරු හැදෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තෙත් ඕක තමා.) චූටි මාමා අම්මට කියනවලු

අක්ක ගෙදර ගිහින් හෙට උදේ එන්න

කියල..ඉතින් ඒ වගේ වෙලාවට අම්මට අමාරු නිසා හවස මා ලඟ ඉන්න කවුරුහරි ආවොත් අම්ම හවස 5ට ගෙදර ගිහින් ලුණු වතුරෙන් කකුල් තවාගෙන ආයෙමත් පහුවදා උදේ පාන්දරම එනවලු. මම ගියපු මොන්ටිසෝරියේ මිස් දවස් දෙකක් මා ළඟ හිටියලු..(චූටි අය්යා ගියෙත් ඒකටමයි)
ඉතින් සති දෙකක්ම මළකඳ වගේ හිටපු මාව ටික ටික සනීප වෙන්න අරන් තියෙන්නෙ තුන්වෙනි සතියෙදියි. ඒ දවස් වල විශේෂඥ දොස්තර මහත්තයා වාට්ටු බාර දොස්තර මහත්තයට කිව්වලු

ඒ ගර්ල් හරි ලකී. ඔය ලෙඩේ හැදුනු අය 3000ට එක්කෙනෙක් තමා ජීවත් වෙන්නෙ. ජීවත් උණොත් 
අංගවිකල වෙනවා

කියල.ඉතින් මැරෙන්නෙත් නැතුව අංගවිකල වෙන්නෙත් නැතුව ජීවිතේ බේරුණේ මගෙයි අම්ම තාත්තගෙයි පෙර පිනකට වෙන්න ඇති. 

ජනවාරි 21 වෙනිදා ලොකු අය්යා ඉස්කෝලේ ඇරිලා ඇවිත් තියෙන්නෙ මාව බලන්න. ටිකට් කපන බවක් එයා දන්නෙ නෑලු. ඒත් ටිකට් කපල නිසා, එයාගෙ ලොකු බෑග් එකේ තිබිච්ච බඩු ටිකත් අහුරගෙන අම්මවත් එක්කගෙන බස් එකේ ආවලු. අම්ම මාව තුරුල් කරගෙනලු. ගෙදර ආවට පස්සෙත් මම සාමාන්‍ය විදියට ඉඳල නෑ... මාස 9ක් වෙලා අල්ල අල්ල නැගිට්ට මම ඉපදිච්ච ගමන් ළමයාගේ ගානට වැටුනලු. උඩු බැලි අතට දාපු අතේ ඔහේ උන්නලු. ඊට පස්සෙ එහෙට මෙහෙට පෙරළුනාලු.ඊටත් පස්සෙ දණ ගෑවලු. අල්ල ගෙන නැගිට්ටේ ඊට පස්සෙලු. ඉතින් මේ කාලේ අම්මට මගෙන් තොර ලොවක් නැතිලු. මළකඳ වගේ උන්නු මාව දැකල අම්ම අඬනවලු. මාව ජීවත් වෙයි කියලා කවුරුත් හිතල නෑ..

දැන් නම් මෙනින්ජයිටිස් වලට බෙහෙත් ඇති. කලින් අඳුන ගන්න ක්‍රමත් ඇති. ඒත් මේ සිද්ධිය උණු 1991 ජනවාරි මාසෙ ඔය දේවල් ගැන එතරම් හොයාගෙන තිබිල නෑ. ඔන්න ඔය විදියට තමා මගේ ජීවිතේ පළවෙනි බාධකයට මුහුණ දුන්නෙ. මම විශ්වාස කරන විදියට හැමෝම මම ජීවත් වෙන එකක් නෑ කියල හිතාගෙන ඉද්දි අම්මගෙ ඇස් දෙකෙන් වැටුණු කඳුළුයි තාත්තගෙ ගතින් වෑහුණු දහඩියයි තමා මාව ජීවත් කළේ.

මගේ ආදරණීය අම්මේ තාත්තේ , මතු උපදින ජාති ජාතිත් මම ඔයාලට ණයගැතියි....

මේ ආදරණීය මතකය අවදි කරපු තරූ අයියේ, ඔයාටත් ගොඩක් ස්තුතියි...

ෆොටෝ එක ගත්තේ මෙතනින්..