ලෝකෙට ආපු අය

Wednesday, December 19, 2012

සමාවෙන්න... අදත් පරක්කුයි...ඒත් කමක් නෑ...

හ්ම්ම්... යාළුවනේකොහොමදඔයාල හැමෝම සතුටින් ඉන්නවා ඇති කියල මම හිතනවා... සුපුරුදු ලිපි වලින් මිදිලා අද මේ සූදානම ඔයාලට ස්තුති කරන්නයි... JJJ ඉස්සර ඉඳං මගේ බ්ලොග් එක බලපු කට්ටිය දන්නවා ඇති හරියටම 25 වෙනි පෝස්ට් එකේදී මං ඒ වෙනකල් උන්නු හැමෝටම ස්තුති කළා... අද ස්තුති කරන්නේ මොකටදමම පෝස්ට් 50 ලියලදනෑ.... තවම 47 යි... ඒක නෙමේ වැඩේ.. මම මගේ බ්ලොග් එක ලියන්න පටන් අරං අවුරුද්දක් ගෙවිලා (අදට නෙමෙයි ඊයේට)...කාලෙ ගිහින් දන්නෙම නෑ... ඉතින් හිතුවා ඔයාලට පොඩි පාටියක් දෙන්න... J J J

මේ පහල මං නම් දාල තියෙන අයගෙවිස්තර මම 25 වෙනි පෝස්ට් එකේ දැම්ම නිසා දැන් නම් විතරයි දාන්නේ...

Sunday, December 16, 2012

නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට

ආයෙමත් ඇවිල්ලද
ආලයක්‌ මේ හිතට...
නෑ ඒත් වෙන්න බෑ
හිත පුරා ආදරේ ඉතිරිලා යද්දි
හංගන්න හැදුවාට
හංගන්න බෑනෙ මට...

සිහිනයෙන් හිනාවෙනවද මන්ද මම නුඹ නිසා...
දෑතින්ම මුහුණ වසාගෙන
මෑත් කර හොරෙන් දබරැඟිල්ල
මං දිහා බලන කොට
සත්තමයි හිතෙනවා
මහ හුඟක් ආදරේ...
කැමති නන් දොඩවන්න
සිනාසී සිටින තුරු නුඹ...
ආසයි එකම එක වරක්
දැකගන්න ඔය මුහුණ...
ඇස් වලින් පින්තූර ගෙන
හදවතේ රඳවන්න...

හිමිදිරිය ඔබයි මගෙ
රාත්‍රිය ඔබයි මගෙ
වරින් වර තතු විමසුවද නුඹේ
ලැබෙන්නේ මඳ පමාවකිනි පිළිවදන්...

කල් ගතවු ආලයෙන්
පීඩා විඳි බව දනිමි ඔබ මා මෙන්ම...
එහෙයින්ම
ඇරයුම්
නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට
මන්ද
මමද තනි තරුවක්මි
ඝනඳුරට  පෙම්බඳින
අහිමි කරගනු නොරිසි
අවසන
ඉතිරි ඝනඳුර....


Tuesday, December 11, 2012

අනේ මාත් එනව නුවර යන්න...

කවුද එන්නෙ ට්‍රිප් එකක් යන්න මාත් එක්ක.... කලින් එක පාරක මං ඔයාලව මහියංගණේ එක්ක ගියා මතකයි නේද? මතක නැති අය ඉක්මණට මෙන්න මේක බලලා එන්නකෝ... දැන් හදන්නෙ නුවර එක්ක යන්නයි... නුවර කිව්වම එකපාරටම ඔයාලට මතක් වෙන්නෙ මොකක්ද? ම්ම්ම්ම්..... මට නම් දළදා මාළිගාව තමයි... හරි හරි එහෙත් යනවා.. පොඩ්ඩක් ඉන්නකෝ.... J J J

පහුගිය ඉල් පෝය දවසෙ අපේ ලොකු අයියලගෙ පවුලෙ කට්ටිය නුවර යන්න දාගත්තා. පහුවදා අක්කගෙ උපන්දිනෙත් යෙදුණු නිසා අක්ක වෙන්න ඇති නුවර යන්න යෝජනා කළේ.. J ඉතිං ලොකු අයියගෙ කටින් ඔය නුවර කතාව ලීක්‌ උන වෙලේ ඉඳං මටත් ඕන කළා නුවර යන්න... මං නුවරට ගොඩක් ආසයි... J J J ඉතිං පෝය දවසෙ උදේ පාන්දර 4 ට නැගිටලා ලෑස්ති වෙලා අම්මත් එක්කල පාරට ගිහිං 5 වෙද්දි බස් එකට නැග්ගා... හයියෝ පට්ට නිදිමතයි.. L L L බස් එකේ සෙනඟත් නෑ... 6.20 විතර වෙද්දි වත්තලට ගියා..( ආ... දැන් කට්ටිය බලනව ඇති නුවර යනවා කියල මොකෝ වත්තලින් බැස්සෙ කියල නේ.... අයියල මාව වාහනේට නග්ග ගත්තෙ වත්තලින්... මාත් ඉතිං පිටිපස්සෙ සීට් එකේ දුවයි පුතයි එක්ක කතා කර කර ගියා... පාරවල් නම් මතක නෑ හරියටම... හැබැයි ඉස්සෙල්ලම ගියේ ගඩලාදෙණිය විහාරෙට...)

ගඩලාදෙණි විහාරය ගැන මට නම් කිසි මතකයක් තිබුනෙ නෑ අම්මල මාව චූටි කාලෙ එක්ක ගියා කිව්වට... ඉතිං ඒ නිසා මටත් ඉස්සෙල්ලාම යන ගමනක් වගේ තමයි දැනුනෙ...  ඉල් පෝය කියන්නෙ කඨින පිංකම පවත්වන්න පුළුවන් අන්තිම දවස කියල ඔයාල දන්නව ඇතිනෙ..  ඉතිං මෙදා පෝයනෙ.. ධර්ම ශාලාව පැත්තෙ උපාසක ඇත්තො උන්නා.. ලැගුම් ගෙය පැත්තට වෙන්න කඨින සිවුර මහ මහ උන්න ගමේ උදවිය එකතු වෙලා... අපේ අක්කත් ටිකක් උන්න මැෂිම ටිකක් ඉල්ලගෙන පොඩ්ඩක්  මහන්න.. හැබැයි නෝ චාන්ස්... ගමේ මිනිස්සු පොර කද්දි පිටින් ආපු අපට දේවි යැ? J J J දැන් අපි ගඩලාදෙණිය විහාරය ගැන චුට්ටක් ඉගෙන ගම්මුකො....

මේ විහාරය ඉදි කරපු නිර්මාණ ශිල්පියා ගනේශ්වරාචාර්ය කියල ද්‍රවිඩ පුද්ගලයෙක්.... ඉන්දියාවෙ ඉඳං ඇවිත් තමයි හදල තියෙන්නෙ.. මේක හදල තියෙන්න IV  වෙනි බුවනෙකබාහු රජතුමා... දකුණු ඉන්දීය විජය නගර් කෝවිල් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තමා ඉස්මතු වෙලා පේන්නෙ... දන්නවද? මේක සම්පූර්ණයෙන්ම ගලෙන්ම හදපු ගොඩනැගිල්ලක්...  හදන්නම අවුරුදු 30ක් ගිහිං තියෙනවා... කොහොමද වැඩ? J J J මේ විහාරයේ ගල්කණු වල නටරාජා, ක්‍රිෂ්ණා වැනි දේව රූප කැටයම් කරලා තියෙනවා...  ගොනෙකු පිට යන මිනිසා, මාළුවෙකු පිට යන මිනිසා (අහද්දිත් හොල්මන් වගේ නෙ? J J J) කියන සුවිශේෂී දුර්ලභ කැටයම් 2 මේ විහාරෙ දකින්න පුළුවන්..

ගඩලාදෙණි සිතුවමක්

ගඩලාදෙණියේ පංසලේ සැටියක් උඩ තිබ්බ කරඬුවක්
හැබැයි ඉතිං කියන්න කණගාටුයි... මට නම් එච්ච‍ර දෙයක් පෙනුනෙ නෑ.. සමහර විට ඒ පෝය දවසක් නිසා අපට නිදහසේ විහාරයේ සැරිසරන්න තියෙන ඉඩකඩමදි වීම නිසා වුණු අතපසු වීමක් වෙන්න පුළුවන්.. ඒත් කාලයත් එක්ක ඒ දේවල් විනාශ වෙලා වගේම ඒ වටිනා සම්පත් රැකගන්නත් ඒ හැටි උනන්දුවක් හෝ අනුග්‍රහයක් නැති බව තමයි මට නම් හිතෙන්නෙ... L L L...හැබැයි මම මේ ටික දැක්කා... මේ විහාරයේ පිළිම ගෙයි ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ ඉන්න බුදුපිළිම වහන්සේ නමක් ඉන්නවා.. සිවුරෙ රැළි දියරැළි වගේ... ඇස් හොඳින් විවෘතයි... පිළිම වහන්සේට උඩින් මකර තොරණකුත් තියෙනවා J J J ....ඊළඟට ගියේ ලංකාතිලක විහාරෙට...

ලංකාතිලකෙට යන ගමන්..
බෝධීන් වහන්සේ
පන්හංගල පර්වතය මත ඉදිකරපු විහාරයක්.... මේ ලංකාතිලක වවිහාරය කෙරෙව්වෙ සේනාධිලංකාර කියන සෙනෙවියා... නිර්මාණය කළේ ස්ථපතිරායර් කියන කෙනා..( නමේ හැටියට නම් එයත් ද්‍රවිඩ වෙන්න ඇති නේද?) ඔව්.. මේ විහාරය හදන්නත් ද්‍රවිඩ ආභාෂය ලැබිල තියෙනවා... ඉස්සර නම් මේ විහාරෙ තට්ටු 7ක් තිබිල තියෙනවා... ඉස්සර උස අඩි 80ක්ලු... (සමහර තැන් වල මහල් 4යි කියලත් තියෙනවා) ඒ බව තඹ සෙල්ලිපියේ සඳහන් වෙනවා... කොහොම උණත් දැන් නම් තියෙන්නෙ තට්ටු 2 යි.. මේ විහාරෙ තියෙන්නෙ මහනුවර යුගයේ උඩරට සම්ප්‍රදායේ චිත්‍ර... ඒ චිත්‍ර අතර සූවිසි විවරණය, සත්සතිය, දිවාගුහාව කියන චිත්‍ර වැදගත්... වියන්තලේ තියෙන ලස්සනම නිර්මාණයක් තමයි හංස පූට්ටුව... සඳකඩපහණ, මුරගල, මකර තොරණ කියන නිර්මාණත් නැතුව නෙමෙයි... හැබැයි පඩිපෙළ දෙපැත්තෙ කොරවක් ගලේ ගජසිංහ රූප විශේෂයි... බුදුපිළිමය නම් කලින් වගේමයි... දියරැළි වගේ රැළි තියෙන සිවුරයි, හොඳින් විවෘත නේත්‍රා යුගලයයි මේකෙත් තියෙනවා.. (ඇත්තටම මේ කාලේ නිර්මාණය වුණු බුදුපිළිම වල පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න තරම් ප්‍රභල ලක්ෂණ නැහැ.. ශාන්ත බවින් තොර පිළිම වහන්සේලා තමා නිර්මාණය වුණේ) මේ ගොඩනැගිල්ලේ පිට බිත්ති වල ව්‍යාජ කුළුණු සහ ඇත් රූප 16ක් තියෙනවා.. අක්ක ඇතෙක් ගාව ෆොටෝ එකකුත් ගැහුවා අපි කට්ටිය ඉන්දවල... J J J ගඩලාදෙණිය සම්පූර්ණයෙන්ම කළුගලෙන් කළ නිර්මාණයක් වගේ ලංකාතිලක විහාරය කියන්නෙ මැටි බදාමයෙන් කළ ගොඩනැගිල්ලක්...

ලංකාතිලකේ කුඩා චෛත්‍ය වහන්සේ
මේකටත් කියන්න තියෙන්නෙ ඉතිං කලින් කතාවම තමයි... අපි යද්දි බුද්ධ පූජාව අත ගස්සවාගෙන යන වෙලාව... මාර වැඩේ කියන්නෙ පූජා කරලා ඉවර වුණාට පස්සෙ විහාර ගෙය වහනවා... වෙලාවට අපි ගියේ... යන්තම් රිංග ගෙන ඇතුළට ගිහිං බුදු පිළිමෙත් වන්දනා කළා... අඳුරු ලයිට් හින්ද ඇතුළ කළුවරයි වගේ... මොන හංස පූට්ටුවක් වත් බලාගන්න බැරි වුණා... හයියෝ... L L L ඒ මදිවට සිල් ගන්න ආපු උපාසක අම්මල පොර කකා අපිව පෙරලන් යන්න හදනවා වඳින්න... දාඩියත් දැම්ම ඒක අස්සෙ ඉඳල... ටිකක් හුළං වදින්නත් එක්ක මං ආව ෆෝන් එකේ කැමරාවත් උළුක් කරගෙන වටපිටාව බලන්න... ගල උඩ පන්සලනේ... හරි ලස්සනට ඈත පේනවා... වැඩි වෙලා ඉන්න හම්බුණේ නෑ...අයියගේ දුව මාව හොයාගෙන ඇවිත්... එයා ලිස්සල වැටෙයි කියල අයියල බය වෙලා... මට එන්නකිව්වා... මාත් ගියා ඉතිං... L

ඈත පේන අපූරුව
ඒකෙන් එළියට බහිද්දි තියෙනවනෙ ඔය පිත්තල බඩු කඩ එහෙම... ඉතිං අක්කට පිත්තල වළලු ඕන කියල අය්යා වළලු 8ක් අරන් දුන්නා.. මටත් චේන් එකක් අරන් දුන්නා... පිත්තල ඈ... හැබැයි එව්ව රත්තරන් වතුරෙ දාල පාට කරන්න පුළුවන්ලු... ඇත්තද බොරුද දන්නෙ නෑ... J J J මගෙ චේන් එක නම්  රු.250යි... හැබැයි ඒ මිනිස්සු අපිට කිව්ව නියම පිත්තල කාන්දමට ඇල්ලෙන්නෙ නෑ කියලා... කාන්දමක් අල්ලලත් පෙන්නුවා...

හ්ම්ම්... දැන් කට්ටියට මහන්සිද? නෑනේ.... තව දුර යන්න තියෙනවා....... J J J දැන් යන්නෙ ඇම්බැක්කේ දේවාලයට... අපි නිකන්ම එහෙම කිව්වට මේක කතරගම දේවාලයක්... බෝඩ් එකේ ගහල තියෙන්නෙත් ඇම්බැක්කේ කතරගම දේවාලය කියලයි... කතරගම දෙවියෝ ප්‍රධාන කොටගෙන නිර්මාණය වුණු දේවාලයක්... ඉස්සෙල්ලම පාර කියල හිටින්නම්කො... පේරාදෙණියේ ඉඳං ගම්පොල පාරේ සැතපුම් 3ක් දුරින්, හන්දෙස්ස කිට්ටුව දවුලගල කියන ප්‍රදේශයේ තමයි මේ දේවාලය තියෙන්නේ... මේ දේවාලය නිර්මාණය වීම අපූරු සිද්ධියක්.. එතන හිටපු විස්තර කියා දුන්නු මාමා තමයි මේ කතාව කිව්වෙ... ඔයාලත් අහල තියෙනවද බලන්න..

ඇම්බැක්කේ කියන්නෙ නොයෙක් ආකාරයේ ශිල්පීන් හිටපු ගමක්.. මේ ගමේ හිටියා දළදා පෙරහැරේ බෙර වයන්නෙක්.. මේ බෙර වයන්නට කුෂ්ට රෝගයක් හැදුණා.. ඉතිං මේ මනුස්සයා කතරගම දෙවියන්ට භාරයක් වුණා තමන්ගේ අසනීපය සුව වුණොත් වාර්ෂිකව පූජාවක් තියන්න කතරගම එනව කියලා... හාස්කමකින් වගේ කුෂ්ට රෝගය සුව වුණා.. ඒ වගේම තමන්ගෙ භාරය අමතක නොකරපු රබන් වයන්නා අවුරුදු පතා කතරගම ගිහිං තමන්ගෙ භාරය ඉෂ්ට කළා.. රබන් වයන්නාගේ මහලු වයස එළඹුණා.. කතරගම පූජාවට ගිය ඔහු, තමන් දැන් වයස්ගත නිසා  නැවත කතරගම පැමිණිය නොහැකි බව කියමින් සමාව ඉල්ලුවා... කාගෙන්ද? හා කියන්න පුළුවන් නම් කාගෙන්ද? වෙන කාගෙන්ද ඉතිං කතරගම දෙයියන්ගෙන් තමයි... ටික දවසක් ගෙවුණා.. මේ රබන් වයන්නාට කතරගම දෙවියෝ හීනෙන් දර්ශනය වුණා... නොබෝ දිනකින් අපූරු සිදුවීමක් සිදුවන බවත්, එදාට මඟුල් බෙරය වයන ලෙසත් කතරගම දෙවියෝ ඔහුට දැන්වුවා... III වෙනි වික්‍රමබාහු රජතුමාගේ බිසවගේ මල් උයනේ පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිලා උන්නු සේවකයෙක් ඒකෙ තිබ්බ කදුරු ගහකට පොරෝ පාරක් ගැහුවා... පුදුමයි... එතනින් ලේ විදින්න ගත්තා... නැවතුනෙම නෑ.. ඉතිං බෙර වයන්නාට මේක ආරංචි වෙලා මඟුල් බෙරය ගෙනත් ගහන්න පටන් ගත්තා.. මඟුල් බෙර වාදනය ඉවර වෙනවත් එක්කම ලේ විදින එකත් නතර වුණා.. මේ පුදුමය සහ තමන්ගෙ කතාව බෙර වයන්නා රජතුමාට කිව්වා.. ඊට පස්සෙ රජ්ජුරුවෝ එතන කතරගම දේවාලයක් හැදුවා... හරිද? J J J

ඇම්බැක්කේ කතරගම දේවාලය
නිධාන කතාව ඉවරයි... දැන් කතා කරමු කැටයම් ගැන... අහල ඇතිනෙ... ලංකාවෙ හොඳම ලී කැටයම් තියෙනවා කියල සැළකෙන්නේ ඇම්බැක්කේ... මේ කැටයම් වල අයිතිකාරයා දෙල්මඩ මූලාචාරී තුමා... මේ ලස්සන කැටයම් කරලා තියෙන්නෙ දුර්ලභ ගම්මාළු ලීයෙන් වගේම පිහිඹිය ලීයෙන්.... මේ දේවාලයේ කැටයම් සහිත ප්‍රධාන ගොඩනැගිල්ල තමයි වාහල්කඩ මණ්ඩපය (හේවිසි මණ්ඩපය/ දික් ගෙය) කියල කියන්නෙ... මෙතන ඉඳං ලේසියට දික් ගෙය කියමු... මේ දික්ගෙයි වාහල්කඩ කණු 10ක් තියෙනවා... කණුවේ හතර පැත්තේම කැටයම් 4 ගානේ  කැටයම් 40යි... දික්ගෙයි කණු 32යි... එතකොට ඒකෙ කැටයම් කීයද? 4 ´ 32= 128 යි නේ.... J හැබැයි මේ කැටයම් එකක් වත් එකිනෙකට සමාන නම් නැහැ... පොඩ්ඩක් හරි වෙනස්... ප්‍රධාන වශයෙන් කැටයම් වර්ග හතරකට බෙදන්න පුළුවන්...

ජන ජීවිතය නිරූපණය වන කැටයම් - දරුවාට කිරි පොවන මව, රබන් වයන්නා, පෘතුගීසි සොල්දාදුවා, මල්ලව පොරය, සිංහල හේවායා, නළඟන

නිරූඪ කැටයම් (ස්වභාවික පරිසරයේ දකින හැඩතල භාවිතා කරමින් ශිල්පීන් විසින් ගොඩනැගූ රූප) - ඇත්කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා, ගජසිංහ, සැරපෙන්දියා, කිහිඹි මුහුණ, වෘෂභ කුඤ්ඡරය

අර්ධ නිරූඪ කැටයම් - කිඳුරා, කිඳුරිය, සිංහයා, හංසයා

මල්කම් හා ලියකම් කැටයම් - නෙලුම් මල, බිනර මල

ලස්සනයි නේද?

හරිම සියුම් කැටයම්...

මේ ඉන්නෙ කිඳුරි
මල්ලව පොරය
නළඟන
පෘතුගීසි සොල්දාදුවා
සිංහ රූපය

හංස රූපය
ගජසිංහ
නාරිලතා

බිනර මල් මෝස්‌තර
\
මේකත් බිනර මල් මෝස්තරයක්

භේරුණ්ඩ පක්ෂියා
මීට අමතරව ලියවැල්, කුන්දිරික්කන්, අරිම්බුව වගේම ලණු ගැටය කියන මෝස්තරත් දකින්න පුළුවන්... තවත් සුවිශේෂ දෙයක් තියෙනවා මේ දික්ගෙයි... ලී වලින් හදපු ඇණයක් තියෙනවා... ඒකට කියන්නෙ මඩොල් කුරුපාව කියලා... ඒක පරාල 26ක් එකට සම්බන්ධ කරන ඇණයක්... කොහොමද නිර්මාණ ශිල්පියාගේ වැඩ....
මකරා කියන්නෙ කවදාවත් ලෝකේ හිටපු සතෙක් නෙමෙයි... නිර්මාණය කරපු සතෙක්... ඒ රූපය නිර්මාණය වුණු හැටිත් නියමයි... මකරා හැදිලා තියෙන්නෙ මෙහෙමලු...

  • ඇත් සොඬ
  • සිංහ පාද
  • ඌරුකන්
  • කිඹුල් දත්
  • වඳුරු ඇස්
  • මත්ස්‍ය ශරීරය
  • ගුරුළු පියාපත්
හ හා... මම තමයි මකරා....
ඔන්න මකර තොරණක එහෙම දැක්කොතින් බලන්න ඕන හරිද? J J J

කිහිඹි මුහුණ ගැනත් වචනයක් කියන්න ඕන... ඒ කිහිඹි මුහුණේ ඉන්න සතා හුඟක් දරුණු සතෙක්ලු... ජීවත් වුණා නම් ලෝකෙම විනාශ කරන සතෙක්ලු... ඉතිං මේ සතාට දවසක් ලෙඩක් හැදුනලු... වෙද්දු නියම කරපු බේත තමන්ගෙම ඇඟ ආහාරයට ගන්න එකලු... (එහෙම කළේ මිනිස්සුන්ව විනාශ කරයි කියල) ඉතිං කාගෙන කාගෙන ගිහිල්ලා අන්තිමට කන්න බැරුව මූණ විතරක් ඉතිරි වුණාලු.. කිහිඹි මුහුණ කියන නම ලැබිලා තියෙන්නෙ කිඹුහුමක් යනකොට අපේ මුහුණ විරූප වෙන්නෙත් ඒ ආකාරයෙන් කියන තේරුමෙන්ලු... මේක කිව්වෙත් අර මාමා ම තමයි... J J J

කිහිඹි මුහුණ
ආ... තව කිව්වා... අර ඇත්කඳ ලිහිණියා ඉන්නෙ... එයා පොඩි අලි පැටියෙක්ව නියපොත්තෙන් අරන් යන්න පුළුවන් තරමේ විශාල පක්ෂියෙක් ලු... හම්මෝ අලි පැටවු එහෙමනම් අපි ..... L L L වෙලාවට ඌ කල්පිත සත්වයෙක් වුණේ...

මේ..ඇත්කඳ ලිහිණියා
අර මම කියපු නෙලුම් මල්, බිනර මල් මෝස්‌තර තියෙන්නෙ කණුව යටට ගිහිං උඩ බැලුවම පේන පේකඩ කියන කොටස් වල...

මම මේ කියපු ඔක්කොම කැටයම් කරලා තියෙන්නෙ එක්කෝ අල්ප උන්නත එහෙම නැත්නම් අර්ධ උන්නත කියන ශිල්පීය ක්‍රම අනුව... ඒ කියන්නෙ කැටයම කරන පුවරුවෙන් ස්වල්පයක් ඉදිරියට නෙරා එන විදියට කැටයම් කළොත් අල්ප උන්නත... පුවරුවෙන් භාගයක් විතර නෙරලා එන විදියට කැටයම් කලොත් අර්ධ උන්නත... (භාගයට වඩා වැඩි උනොත් අධි උන්නත, පුවරුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ත්‍රිමාණ බව පෙන්වන විදියට හදනවා නම් පූර්ණ උන්නත... හැබැයි ඒ දෙවිදියේ කැටයම් ඇම්බැක්කේ දේවාලයේ නැහැ)

දික්ගෙයට අමතරව ඇම්බැක්කේ දේවාලයේ වී අටුව, මුළුතැන්ගෙය, බුදුගෙය කියන ගොඩනැගිලි තවමත් දකින්න පුළුවන්... දේවාලයට පිටිපස්ස හරවල ඉස්සරහ බලද්දි පේනවා දේවාලෙ තියෙන්නෙ පල්ලමේ කියල... අපි වාහනේ මඟ නතර කරලා පයිනුයි ගියේ... ඉතිං පල්ලමේ ඉඳං කන්ද උඩ බලද්දි තවත් පුංචි කාමරයක් වගේ එකක් ඈත පේනවා... එතන හිටපු තව මාම කෙනෙක් ගෙන් අපි ඇහුව ඒ මොකක්ද කියල...

ඇම්බැක්කේ දේවාලයේ වී අටුව
ඇම්බැක්කේ දේවාලයේ මුළුතැන්ගෙය
ඉස්සර ඒ දේවාලෙ පෙරහැරක් තිබ්බලු.. ඒ කාලෙට රජ්ජුරුවෝ පෙරහැර බලන්නේ එතන ඉඳගෙන ලු... ඇත්තටම එතන හිටියොත් දේවාලෙ හොඳට පේනවා කියල අපිටත් හිතුනා... පොහොය දිනයක් වීම දේවාලයට ප්‍රශ්නයක්  වුණේ නැති නිසා නිදහසේ ඒක බලන්න අපිට පුළුවන් වුණා.. තව දෙයක් කියන්න ඕන... මට හිතුණු හැටියට කලින් ගියපු ස්ථාන දෙකටම වඩා ආරක්‍ෂිත බවක් මේකෙ තිබුණා... මම කිව්වෙ කලා නිර්මාණ වල.... J J J

හරි... ඔන්න මහියංගණේ ගිය වෙලෙත් යන්න ඕනම කිය කියා හිටපු තැනක අයියලට පිං සිද්ධවෙන්න යාගත්තනේ... මට හරි සතුටුයි... J J J ඔහොම තැන් වල යන්න ඕන ළමයින්ට හොඳට මතක හිටින කාලේ... නැද්ද මං අහන්නේ....? J හ්ම්ම්.... දැන් ඉතිං ට්‍රිප් එක ඉවර කරන්නයි ලෑස්තිය...

අන්තිම නැරඹුම් ස්ථානය දළදා මාළිගාව... මේ ගැන නම් අමුතුවෙන් කියන්න තරම් දෙයක් නෑ... බෞද්ධ, අබෞද්ධ ඕන කෙනෙක් මේ පුද බිම ගැන දන්නවනේ... අපි එහාට යනකොට හවස 3.30 ත් පහුවෙලා... අපි ඇතුල් වෙද්දි ඇත්තු සරසනවා... ඇයි දන්නෙ නෑ... මාළිගාව ඇතුළෙත් සුදු ඇඳපු පොලිස් මාමලා ගොඩක් හිටියා... අපිට ගොඩක් වෙලා වඳින්න දුන්නෙත් නෑ.. කාර්තිකයි මංගල්ලයේ පෙරහැර කියල අපිට 4.30 වෙද්දීම එළියට යන්න කිව්ව... හැමෝටම... අපි මල් පූජා කරලා, ගාථා කියල, වැඳලා, පහන් පත්තු කරලා... රාජා ඇතාවත් බලලා පහළට ආවා... මෙන්න පෙරහැර පටන් ගන්න යනවා...

පෙරහැරටද මෙයා ලෑස්ති වෙන්නෙ?
හා කියන්න බලන්න පෙරහැරේ මං ආසම මොකටද කියලා.... ම්ම්ම්.... කරඬුවට.... ඇතාට.... නැට්ටුවෝ.... බෙර කාරයෝ.... නිළමේ.... ම්ම්ම්.... ගිනි පන්දම් ගෙනියන්නෝ.... හය්යෝ තව මතක් වෙන්නෙත් නෑ... හැබැයි ඔක්කොම වැරදි.... J J J  මං ආස කස කාරයන්ට... කස ගහනවා බලං ඉන්න... රටාවට බිම දිගේ චටස් ..චටස්... චටස්... චටස්....!!! පෙරහැර ඉවරයි... අපි නුවරින් පිටත් වෙද්දි හවස 5.30 ත් පහුවෙලා..
අන්තිමට ගත්තු පින්තූරේ...
ටිකක් වෙලා ඇහැරගෙන උන්නත් අයිය ඇර අපි කට්ටියම වාහනේ නිදි.. අක්කයි මායි නම් සැරින් සැරේ නැගිට්ටා... කොහෙන් හරි ඇවිදින් අයියා මීගමුවට එද්දි රෑ 9ට විතර... අක්ක නම් කිව්ව යන්න එපා පහුවදා යන්න කියල... ඒත් ඉතිං මම ඉන්න බලං ආවෙ නෑනේ.. ෆොටෝ ගහල ගහල ෆෝන් එකත් ඕෆ් වෙලා... L කොහොමහරි 9.15ට විතර ආපු ඒ.සී. බස් කට්ටක අයිය මාව එල්ලුවා... මම වැඩිය පස්සට ගියෙ නෑ... පස්සෙයි තේරුණේ වෙන කිසිම ගෑණු කෙනෙක් නෑ ඒක අස්සෙ... නිදිත්මතයි... ඒත් මට බයයි... අමාරුවෙන් ඇස් ඇරගෙනම ආවා.. LLL ගෙදර එද්දි රෑ 10.05 යි...හ්ම්ම් ඔන්න ට්‍රිප් එක ඉවරයි... J J J

---------------------------------------------------------------------------------------------------------
ප.ලි- මේ ලිපියට ගොඩක් තොරතුරු හොයාගත්තේ මගේ 7 වසරෙ ඉඳං 11වසර වෙනකල් චිත්‍ර විෂය සටහන් ලිව්ව පොතෙනුයි, තව අච්චු පොත් කීපයකිනුයි... චිත්‍ර විෂයේ සටහන් පොත කියන්නෙ මම ගොඩක් ආසාවෙන් ලස්සනට තියාගත්තු පොතක්... ඕ ලෙවල් කරලා දැන් නම් ගොඩක් කල්... ඒත් චිත්‍ර වලට මම තාමත් ආදරෙයි...

ප.ප.ලි- මහියංගණේ ට්‍රිප් එකේදි නම් එහෙං මෙහෙන් මගෙ පොටෝ කෑලි ගත්තට මේ ට්‍රිප් එකේදි මගෙ පොටෝ ගන්න බැරි උනා... ඒ නිසා කට්ටියම සමාව භාජනයකට දාල අරන් තියා ගන්න හොඳේ... J J J

Monday, December 3, 2012

එනවද? ආදරෙන්..නැහැ ආදරෙන් නෙමෙයි..සුපුරුදු ලෙන්ගතුකමින්...

ඔයාට මතකද එදා දවස...

විහාරමහාදේවි පාක් එකේ, මුරුගසන් වැස්සෙ, සීතලේ ගැහි ගැහි එක කුඩේ යට අපි ගුලි වෙච්ච දවස..

මට නම් ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ.. ඒ දවසට මං ඒ තරම්ම ආදරෙයි...

එදා පෝය දවසක්... හඳ පෑව්වෙ රෑ වෙලා උණාට මගෙ හදවතට හඳ පෑව්වෙ කලින් දවසෙ රෑ මයි...

දවස් ගාණක් තිස්සෙ කටහඬින් විතරක් අපේ වෙච්චි අපි දෙන්නා මුණ ගැහෙන්න යනව කිව්වම මං දකින්නෙ හීනයක්ද කියල මම මාවම කොනිත්තගෙන බැලුවා... නෑ ඒක හීනයක්‌ නෙවෙයි.. හැබෑවක් වෙන්න යන හීනයක්..!!!

හීන කන්දරාවක් පොදි බැඳගෙන අපි මුණ ගැහුණා.. හිනා උණා... වෙනදටත් වැඩියෙන්, ඕනෑවටත් වැඩියෙන් කියෙව්වා... ඒ හිතේ සතුට වැඩිකමටමයි...

ඒත් ඉතිං ඔයා හිතුවද දන්නෙත් නෑ “මේක නම් මහ කටර් එකක් කියල” නේද?

කොහොමටත් මම කැමතියි ගොඩක් කතා කරන්න... මොනා හරි කියල මං වටේ ඉන්න හැමෝම හිනස්සන්න... දුකින් ඉන්න කෙනෙක්ව පුළුවන් විදියකට සතුටු කරන්න... ඒ මූණට හිනාවක් ගේන්න මම ගොඩක් ආසයි.කියවන්න ගත්තම මම ඉතිං ගිරවියක්ම තමයි.. කියෝනව කියෝනව ඉවරයක්‌ නෑ..

ඒත් තව කවුරුහරි කියන දෙයක් මැද්දට පනින්නෙ නැතුව අහගෙන ඉන්නත් මට බැරි නෑ.. මට ඒකත් පුළුවන්... ඒක ඔයා හොඳට දන්නවා.. මොකද ඔයත් මං වගේම ගොඩක් කතා කරන හින්ද... ... ඔයත් හරි දක්ෂයි මාව හිනස්සන්න...

එදා රෑ මට නින්ද ගියෙත් නෑ.. වෙන මොකටවත් නෙමෙයි... සන්තෝසෙට... තනියම ඇඳේ පෙරළි පෙරළි හිනාවෙද්දි අම්මට ඇහෙයිද කියලත් නොහිතුණා නෙමෙයි...

හදිස්සියෙම එක දවසක් ඔයා එක පාරටම මගෙන් ඈතට යන්න මගෙන් අවසර ඉල්ලුවා... තරහකින් නෙමේ... බොහොම ආදරෙන්... ගොඩක් ආදරෙන්... ඒ වෙන කෙනෙක් ඔයාගෙ ජීවිතේට ඇවිදින් නිසා නොවෙන වග මම සහසුද්දෙන්ම දන්නවා..

ඒත් ඔයා දැක්කෙ මගෙ හිනාව විතරයි.. හිනාවෙද්දී දත් තිස් දෙකම එලියෙ දාගෙන හිනාවෙන්න විතරක් නෙමෙයි, මට හොඳට අඬන්නත් පුළුවනි.. හයියෙන් වගේම හෙමීටත්...

රෑ තිස්සෙ තනියම හිනා වුණු මම ආයෙමත් රෑ තිස්සෙ ඇඬුවා... දිගින් දිගටම ඇඬුවා...

පොතක් පෙරලද්දී, තනියෙන් කල්පනා කරද්දි, සිංදුවක් අහද්දි  ඔයාගෙ මූණ මතක් වෙනවා.. ඔයාගෙ හිනාව මතක් වෙනවා... ඔයාගෙ කටහඬ මතක් වෙනවා.. ඔයාගෙ විහිළු මතක් වෙනවා... කොටින්ම ඔයාවම මතක් වෙනවා

මෙච්චර කල් ආදර සිංදුම අහ අහා හිටපු මම විරහ සිංදු වලට මාරු උණා...

තවමත් ඔයා කතා කරද්දි, විහිලු කරද්දි හයියෙන් හිනාවෙන මම... ඊට පස්සෙ ඇස් රතු වෙනකල් අඬන බව ඔයා දන්නෙ නෑ....

ඔයාව මතක් වෙද්දි කඳුළු නතර කරගන්න තාමත් මගෙ පුංචි හිතට බැහැ... කාටවත් කියාගන්න බැරි දුකක් හිත ඇතුලෙ තද කරගෙන...තනියම අඬ අඬ... ලෝකෙට පේන්න හිනාවෙවී... දවස ගානේ මැරි මැරී...මං ජීවත් වෙනවා.

ඒ ඇයි...?

අම්ම, තාත්තා වෙනුවෙන්... මං වෙනුවෙන් නෙමේ...

බොරු කියන්න බෑ ඔය ඇස් දෙක දිහා බලාගෙන... ගොඩක් අසරණයි මං...

මැරෙන්න මං බයයි... ඒත් ජීවත් වෙන්න ඊට වඩා බයයි!!!

පොඩ්ඩක් හිතල බලන්න... ඇයි අපි මුණ ගැහුණේ?

උත්තරයක්‌ නැති ප්‍රශ්නයක්... ඔයාටයි මටයි... අපි දෙන්නටම...

ඔයා මගෙ ළඟ නැති උණත් ඒ ආදරේ..ඒ උණුසුම් සුසුම්... ඒ හිනාව... ඒ කතාව... තාමත් මට දැනෙනවා... තාමත් මට ඇහෙනවා... ඒකෙන් මිදෙන්න මට බෑ... ඒ වැක්කෙරෙන ආදරේ 
දැක දැක මට ඇස් පියාගෙන ඉන්න බෑ... ඒත්...

ආයෙමත් මං අසරණයි... හැබැයි ඒ අසරණකමට පලි ඔයා නෙමෙයි... මගෙ අහිංසක කඳුළු කැට විතරමයි...

ලෝකෙ කොයිම ආදරවන්තියක්වත් කොයිම මොහොතක හරි තමන්ගෙ ආදරවන්තයගෙන් අහන්න අකමැති ආමන්ත්‍රණයක් මට අහන්න සිද්ධ වුණා... හරිම දුකයි..මගෙ මුළු ලෝකෙම කකුල් දෙක පාමුල කඩන් වැටුණා වගේ... ඒත් ඔයා හරි....

අසම්මත පෙමක පැටලුණු අපි දෙන්නා කොයිම මොහොතක හරි වෙන්වෙන්න පුළුවන්... නෑ නෙමෙයි...

ඒත් අපේ සිත් එකට බැඳුණේ ඒ අසම්මතය දැන දැනමයි...  

ගොඩක් හිනාවෙන්නෙ ගොඩක් අඬන මිනිස්සුලු... ඔව් ඒක ඇත්ත...

වෙලාවකට මට හිතෙනවා මං කොයිතරම් නම් පව්කාරද කියල... මං ආදරේ කරන කිසිම දෙයක් මට ලැබෙන්නෙ නෑ.. එක්කෝ මා ළඟ රැඳෙන්නෙ නෑ... ඒ ඇයි කියල මට තාම හිතාගන්නත් බෑ..

සාම්ප්‍රදායික මත වාද කරපින්නා ගත්තු අපේ අම්මල තාත්තල ඉස්සරහ අපි දෙන්නා කොයි තරම් නම් අසරණද? යාලුවෙද්දී කීයක් නම් දේවල් හොයන්න වෙලාද? ආගම... වයස... කුලය... ජාතිය... වාසගම... ගම...

අනේ ඒත් ඉතිං හිතට බ්‍රේක් නෑ... හිත් දෙකක් එකට බැඳෙන්නෙ ඔව්ව හොය හොයා නෙමෙයි.. අපි දෙන්නට උණෙත් ඒකමයි නේද?

මං වගේම ඔයත් අඬනව කියල මං දන්නවා... හිතින් දුක් වෙනවා කියල මම දන්නවා... හිත හදාගන්න කියල මට කිව්වෙත් ඔයාමයි... ඉතිං අපි දෙන්නම හදාගමු හිත...

මල් කියන්නෙ දවසගානෙ පිපිලා පරවෙලා යන දෙයක්...

කලින් දවසෙ පිපිච්ච මල් මැරෙන්න බෑ කියල කොයිතරම් කෑ ගැහුවත් ගහ අළුත් මල් පුබුදුවද්දි පරණ මල නිකම්ම ඇකිලිලා පොඩි වෙලා යනවා... ජීවිත කාලෙ ඉවරයි... ඊට පස්සෙ කෑගහිල්ලත් නෑ මොකුත් නෑ....

සමහරුන්ගෙ ආදරෙත් මල් වගේ... හිටපු ගමන් පිපිල පරවෙලා යනවා... සුවඳ වත් ඉතිරි නොකරම...

ඒත් ඔයාගෙ ආදරේ සුවඳ තවමත් මා ළඟම ඉතිරියි... ඒ සුවඳට මගෙන් ඈත් වෙන්න මං ඉඩ දෙන්නෙ නෑ... ඒ සැර නැති සෞම්‍ය සුවඳට මම ගොඩාරියක් ආදරෙයි... ඒ ආදරේ අමරණීය මලක්... ඊයේ පිපිලා අද පරවුණු මලක් නෙමෙයි...

ආදරෙයි ජීවිතේ ජීවත් කරවන්නෙ... මාව ජීවත් කරවන්නෙත් ඒ ආදරේ...

ඉතිං අපි ආදරේ කරමු.. හිතින් විතරක්... කාටත් හොරෙන්... රහසින්!!!

වේගයෙන් වෙනස්වෙන ලෝකයේ... අඬන හැටි නොපෙන්නා අපි හයියෙන් හිනාවෙමු....සල්ලි, වෙනත් අරමුණු.. ඉටු කරගන්න දුවන මිනිස්සු අතර අපි දෙන්න හෙමීට ඇවිදගෙන යමු... එනවද?

ආදරෙන්... නැහැ ආදරෙන් නෙමෙයි... සුපුරුදු ලෙන්ගතුකමින්....

හිතේ ආදරේ පුරෝගෙන හංගගෙන හිටියත් මේ හිත තාමත් ඔයාට ලෙන්ගතුයි...

ඒත් ඒ අසම්මතයට මෙපිටින් මිස එපිටින් නම් නෙමෙයි....

...එක්වීමක් නොමැති සසරේ
රහසින්ම පෙම් කරමු
රහසින්ම මිය යමු
අපේ දෛවය එය නම්
වැලඳගනිමු ආදරයෙන්..
පෙම් කරමු
කාලයාටත් හොරෙන්,
මරණින් මතුවටත්...





සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැළපෙනවා...
රුව සැන්ගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවී....

මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී...

සිතුවිලි සිරවී....


 සියලු උපුටා ගැනීම් වල අයිතිය මුල් නිර්මාණකරුවන් සතුය.