ලෝකෙට ආපු අය

Friday, September 27, 2013

නැගිටින්න බයයි මං මෙහෙම්මම ඉන්නවා...


ඉවසන්න බෑ තවත් - මගේ නෙතු හඬනවා...
හෙලන හුස්මක් ගානෙ - මගේ හිත දැවෙනවා...
දිනක් මට ඒවි යැයි - හිතුව ඇති හිතෙනවා...
මැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...

බලා ගත් තාත්තට - හුඟක් ණය ගෙවනවා...
බත් දුන්නු අම්මටත් - සළකන්න තියෙනවා...

ආදරේ වේදනා - තදින් මට දැනෙනවා...
වට්ටන්න බැරි තරම් - මම බිමට වැටෙනවා...
නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා...
තවත් වට්ටන්න බෑ - මගේ හිත කියනවා...

Saturday, August 10, 2013

කැම්පස් කවිය

මේක ලියලා නම් ගොඩක් කල්…. මේ දවස් වල මේක අපේ නිර්මාණ දාන බෝඩ් එකේ තියෙනවා…. මට හිතුණා ඒක ඔයාලටත් පෙන්නන්න…. ඔන්න දැම්මා 

වරින් වර මතුවන සොයුරු පෙම
තෙරපගෙන ආයාසයෙන්
සිත් තුළ….
තනන්නට වෙර දැරූ 
සිඳ දැමිය නොහැකි අත්වැල…. 
නොගිලිහෙනු ඇත අප මතකයෙන් 
අද හෙටට නොව 
මතු මතුද…. 

ඉදින් සබඳ, 

අවසරයි විදා හරින්නට දෑත
සිත් පුරා නැගි සෙනෙහසින්….
මේ….  
ඔබට මට බැඳෙන්නට ඇති කාලයයි 
සොයුරු බැම්මෙන්…. 

Thursday, April 18, 2013

ක්‍ෂිතිජ රේඛා - නවවන දිගහැරුම



අසෙල්ගේ පණිවිඩය කියවා සතුටට පත් යුවතිය ප්‍රසන්න හැඟීමෙන් නින්දට පිවිසියාය.

***

ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රවලට පසුගිය වතාවට වඩා විශ්වාසය ඇතිව සෙනුරි මුහුණ දුන්නාය. නිරන්තර ස්වයං අධ්‍යයනයේ යෙදීම සහ පන්ති වලට නොකඩවා සහභාගී වීම් ඊට හේතුවන්නට ඇත.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කෙරෙහිද මෙවර ඇගේ අවධානය යොමු විය.

"මේ පාර ගොඩ නේ?"

සෙනුරිගේ පාසල් මිතුරිය ලක්ෂි ඇසුවාය.  ඇය සෙනුරිගේ එකම මිතුරිය නොව සිටි මිතුරියන් අතර හොඳම තැනැත්තියයි.

"බලමු ලක්ෂි, ප්‍රථිපල එනකල් මොකුත් කියන්න බෑ කෙල්ලෙ.. නිකන් සාත්තර කියල කට වරද්දගන්න බෑනෙ"

"ඒකත් ඇත්ත තමයි සෙනුරි... මේ ඒක නෙමේ දැන් එක්සෑම් ඉවර එකේ මොනාද කරන්න ඉන්නෙ?"

"ම්ම්ම්...මම තාම ඒක ගැන කල්පනා කළේ නැහැ.. ගෙදර ගිහින් අම්ම එක්කත් කතා කරලා බලන්න ඕන"

බස් නැවතුමේදී මිතුරියට සමුදුන් යුවතිය නිවෙස බලා යාමට බසයට නැගුණාය. නිදහසේ යමක් කතා කිරීමට, සාකච්ඡා කිරීමට. සිත සැහැල්ලු කර ගැනීමට, සවන් දීමට කෙනෙකු සිටීම ඉතා හොඳය. එහෙත් හුදෙකලාව අවැසි තැන හුදකලාව ඊට වඩා අගනේය.

***

"සෙනුරි, ලොකුදුවේ... දැන් විභාගෙත් ඉවර එකේ ඉස්සරහට මොකද කරන්නෙ කියල හිතුවද?"

"ඒක තමයි අපෙ අම්මා මාත් කල්පනා කළේ... ලක්ෂි නං මට කොම්පියුටර් කෝස් එකක් ගැනත් කිව්වා..ඒක දවස් පහේමත් තියෙනවලු.."

"කවදද පටන් ගන්නෙ දුවේ?"

"තව සති දෙකෙන් පටන් ගන්නවලු අපෙ අම්මා.. බලන්නකො...විභාගෙට මැරීගෙන පාඩම් කරලා කරලා සතියෙන් ආයෙමත් පන්ති යන්න වෙනවනෙ"

යුවතිය මැසිවිලි නගද්දී ඇගේ මවගේ මුව කමල මත මඳහසක් නලියන්නේය.

"එහෙම තමයි ලොකූ... ඉගෙනගත්තොත් තමන්ටනේ.. මගෙ හොඳ දුව හොඳට හිතල බලන්නකො ඒකට යනවද නැද්ද කියල... තාත්තයි මායි මහන්සි වෙන්නෙ ඔය තුන්දෙනාට හොඳට උගන්නන්නනේ"

කාන්ති කීවාය. සෙනුරි හිස සැලුවාය.

***

දිනක් සෙනුරි සිය මව සහ පොඩ්ඩි සමඟ නිවසට මඳක් ඔබ්බෙන් පිහිටි වෙළඳසැලට ගියාය. ඔවුන් එයින් එළි බසින විටම ඇස් දෙක පමණක් නිරාවරණය වන සේ හිස් වැසුම් පැළඳි තරුණයින් දෙදෙනෙක් ඔවුන් අසල යතුරුපැදියක් නැවැත්වීය. භීතියට පත් මැදි වයසේ ගැහැණියත් යුවතියන් දෙදෙනාත් අඩිය ඉක්මන් කළහ.

"සෙනුරි"

පිටුපසින් හුරුපුරුදු කටහඬක් ඇසුණි. සෙනුරි මඳක් නැවතී හැරී බැලුවාය. පෙනෙන මානයේ ඈ හඳුනන කිසිවෙකු නැත. ඈ යළිත් ගමන ඇරඹුවාය.

යතුරු පැදිය යළිත් පණ ගැන්විණි. මෙවරද එය ඔවුන් තිදෙන අසල නැවතිණි.

"සෙනුරි.. මම නයන"

එසේ කියමින්ම ඔහු හිස් වැස්ම ඉවත් කළේය.

".. මේ ඔයානෙ.. අපි කට්ටියම හොඳටම බයවුණා. අපෙ අම්මා මේ නයන... අර අපේ වෙසක් නාට්ටියේ ප්‍රධාන නළුවා... අම්මට මතකද?"
"ආ.. මේ ඒ නළු බට්ටද?"

කටට ආ කියුම නතර කරගත නොහී පොඩ්ඩි තම අදහස ඉදිරිපත් කළාය.

"බට්ටා...කවුද නංගි බට්ටා...? මං නළු බට්ට නම් ඔයාලගෙ අක්කා නළු බට්ටි නේ.."

සෙනුරිට ලජ්ජා සිතුණි. සුහද වාදයේ නිමක් දකිනු වස් ඈ නයනගෙන් පැනයක් ඇසුවාය.

"ඉතින් නයන, කොහෙද මේ පැත්තේ?"

"ආ... මේ ඉන්නෙ විශ්ව.. මගෙ හොඳම යාළුවා... මෙයාල මේ කිට්ටුව ඉන්නෙ.. මං එහෙ ඇවිත් විශ්වත් එක්ක බයික් එකේ රවුමක් ගගහ ඉද්දි තමා ඔයාලව දැක්කේ.."


ඔවුන් ඒ කතා බස් කරන මොහොතේ අසෙල්ගේ පොඩි අක්කගේ සැමියා නොහොත් පොඩි මස්සිනා වන සාගරගේ යතුරුපැදිය ඔවුන් පසු කර යනු සෙනුරි දුටුවේ නැත. පාර අයිනේම සිටගෙන තවත් මොහොතක් සංවාදයේ යෙදුණු නයන ඔවුන්ට සමුදී විශ්ව කැටුව ඉදිරියට යතුරුපැදිය ධාවනය කළේය.

***

"සෙනුරි, ඉතින් දැන් මොකෝ කරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට... ඉංග්‍රීසි කෝස් එකක්... එහෙම නැත්නම් කොම්පියුටර් කෝස් එකක්..."

"ඒක තමයි අසෙල් අයියෙ, මං ලක්ෂි එක්ක කොම්පියුටර් පන්තියකට යන්න ඉන්නෙ ලබන සතියෙ ඉඳං.."

"ම්ම්... ඔව් ඒක හොඳයි... වෙලා තියෙන වෙලාවෙ ඉගෙන ගන්න ඕන... කෝස් එක කොච්චර කල්ද?"

"මාස හයයි. ඒක ඉවර වෙද්දි රිසල්ට් ඇවිත් කැම්පස් ඇප්ලිකේෂන් දාන කාලෙත් ඒවි."

යුවතිය කීවේ මහත් උද්‍යෝගයෙනි. විශ්ව විද්‍යාල සිහිනය ඇගේ සිත තුළද තෙරපෙනවා විය යුතුය.

"මට සෙනුරිට පුංචි කාරණාවක් කියන්න තියෙනවා"

අසෙල්ගේ කටහඬ එවර ගැඹුරුය.

"මොකක්ද අප්පේ ඒ?"

වැඩි ගණනකට නොගත් සෙනුරි ඇසුවාය.

"මට දැන් රෙකෝඩ් බාර් එකේ රස්සාව ඇති වෙලා අප්පා... මං ආයෙමත් මේක ඒ අයියටම බාර දෙන්න හිතුවා"

"එතකොට ඊට පස්සෙ?"

"පොඩ්ඩක් ඉන්නකො කියනකල්... ඒකට මා ගාව තියනවා පොඩි ප්ලෑන් එකක්..."



Wednesday, April 10, 2013

අද හොඳම දවස - ඔබ එනවා නම්...

අද...2013.04.10 වෙනිදා... අද මගේ ජීවිතයේ සුවිශේෂී දවසක්... අවුරුද්දටම එක පාරක් එන ඒ දවස උදා වෙනවා... මොකක්දඒ තමයි මගේ උපන්දිනේ... J J J වෙලාව හරියටම උදේ 6.32ටලු.. මාව හම්බවෙලා අම්මා ගෙදර ආවා කියන්නෙ අප්‍රේල් 12 වෙනිදායි...හැම මාසෙම 10 වෙනිදා මගේ උපන්දිනේ යෙදෙනවා නම් මේක ඒ හැටි සතුටක් වෙන දෙයක් නෑ මට... ඒත් මේ දවස එනකල් මම බලං උන්නේ ගිය පාර උපන්දිනේ පහු වෙච්චි දවසෙ ඉඳලමයි.. 


ඉතින් ඇයි මං මේ දවසට මේ තරම් ආදරේ කරන්නේ???
මගේ ආදරණීය අම්මා එදා උදේට කිරිබත් උයනවා... ඉස්සෙල්ලම කෑල්ල මට කවනවා... උදේම චූටි අයියාලොකු අයියාඅක්කාපුතාදුව... මේ හැමෝම මට කතා කරලා සුභ පතනවා වෙන වෙනම... අම්මගෙන් උණුසුම් හාදුවකුත් ලැබෙනවා එදාට... (වෙනදටත් ලැබෙනවා.. නමුත් උපන්දිනය දවසෙ වැඩිපුර දැනෙනවා) ඒ විතරක්යැ... දවල්ට රසම රස එළවලු බත් හදලාකට්ලට්,පපඩම් ඇතුළු මම කන්න කැමති කෑම ජාති ටිකක් හදලා... එහා ගෙදරටත් බත් පිඟානක් ගිහින් දීලා තමයි සමරන්නෙ... ඒ වගේම චූටි අයියාඅම්මා සහ ලොකු අයියලාගේ පවුලේ හැමෝම වෙනුවෙන් උපන්දින සුභ පැතුම් පත් 3ක් අනිවාර්යයෙන්ම මට ලැබෙනවා... (ඒවා එකතු කරන්නත් මං හරි ආසයි... අවුරුදු ගාණක ඉඳං මම එකතු කරපු කාඩ් තොගයක් තියෙනවා) ලොකු අයියලාගේ පවුලෙන් නම් සමහර විට පුංචි පුංචි ලස්සන තෑගී පවා ලැබෙනවා... J J J අවුරුද්දට එක පාරනේ නේද? ඒත් අවුරුදු ඉතාම කිට්ටුව උපන් දිනේ යෙදෙන නිසා වෙන කවුරුත් නම් උපන්දිනේට මොකුත් දෙන්නෙ නෑ... එකලඟ දෙපාරක් දෙන්න වෙනවනෙ නැත්නම්...

ඒත් මේ පාර උපන්දිනය ගැන මට ටිකක් දුකයි... L L L මේක මම අම්ම නැතුවතාත්තා නැතුවලොකු අයියා,අක්කා,පුතා,දුව මේ කිසි කෙනෙක් ළඟ නැතුවමගේ කොට්ටෙ නැතුවමගේ මේසෙ නැතුව... කිලෝමීටර් ගාණක් ඈත තනියම සමරන්නේ... සමරන්නේ කිව්වට කා එක්ක සමරන්නදසමරන්නෙ නෑ... අඩු ගානේ මේ පෝස්ට් එක ඔයාල බලන වෙලාව වෙද්දීත් මම ගෙදර නැහැ... අම්ම කතා කරාවි... ලොකු අය්යලා කතා කරාවි... චූටි අයියත් කතා කරාවි... යාළුවෝ මැසේජ් වලින් සුභ පතාවී...  ඒත් ගෙදර ඉන්නවා වගේ සතුටක් පිට තැනක තියෙයිදL

මේක මම බ්ලොග් අවකාශයේ සැරිසරන්න ගත්තට පස්සෙ පසුකරන දෙවෙනි උපන්දිනය... ඒත් ඔයාලත් එක්ක දුක - සතුට බෙදා ගන්න පළවෙනි උපන්දිනය...මේ දවස් වල හරියට වියදම්... අර චීත්ත ගවුම මහන්නයි මේ සාරි ජැකට් එක මහන්නයිඅරක ගන්නයිමේක ගන්නයි.... හයියෝ එපා වෙනවා... ෆුල් ලොස් වෙලා ඉන්නේ...  ඒත් උපන්දිනේ දවසෙ මාව බලන්න ආපු ඔයාලව හිස් අතින් යවන්නෙ නෑ... J J J

ම්ම්ම්... උපන් දිනේ දවසෙ මම කැමතියි මෙච්චර කාලයක් ඔයාලගේ බ්ලොග් අතරේ ගැවසිච්ච මාව ඔයාලට හැඟෙන්නේදැනෙන්නේ කොහොමද කියල දැනගන්න... ඉතිං කාලා බීලා පුළුවන් අය ඒකටත් පිළිතුරක් දාලම යමු නේද?

කේක් කන්න කැමති අයට කේක් දෙවර්ගයෙන්ම තියෙනවා ඔන්න...  




අයිසින් වලට කැමති අයට මේක...

  
බටර් කේක් කන්න ආස අයට මේක (මං වගේ)


බොන්න තියෙන්නේ නම් කෝපි තමයි...

 

හ්ම්ම්... ඉතිං යාළුවනේමගේ දුප්පත් පාටිය ඉවරයි... ලබන අවුරුද්දේ මීට වඩා හොඳ පාටියක් දෙන්න බලන්නම්කො... මේ පැත්තට ඇවිත් ගිය හැමෝටම ස්තුතියි... ඔන්න මං ගානේ ආපු හැමෝටම ලෙංගතු හාදුවක්...!!!

ලබන සතියේ ආයෙමත් පුරුදු  කතාවෙන් මුණ ගැහෙමු...

Friday, April 5, 2013

ඔයයි - මමයි

ඔයා අමතක කරන්න...
ඒත් මං මතක් කරනවා
නිතරම...

ඔයා බලන්නෙ නැතුව ඉන්න...
ඒත් මං ඔයා දිහා බලනවා
හොරෙන්ම...

ඔයා මගෙන් ඈත් වෙන්න...
ඒත් මං ඔයාට ලං වෙනවා
නොකියම...

ඔයා ආදරේ නොකර ඉන්න...
ඒත් මං ආදරේ කරනවා
නොඅහම...

ඔයා කතා නැතුව ඉන්න...
ඒත් මං කතා කරනවා
තනියම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔයා හයියෙන් හිනාවෙන්න...
ඒත් මං තවම අඬනවා
රහසෙම...



(ප.ලි -කතාව ලිවීමටම දැඩි අවශ්‍යතාවයක සිටියත්, නොවැලක්විය හැකි හේතුවක් මත ලබන සතියේ ක්‍ෂිතිජ රේඛා  කතාව පළ නොවන බව කරුණාවෙන් සළකන්න. එදිනට වෙනත් පෝස්ටුවක් දැමීමට බලාපොරොත්තු වෙමි.)

Monday, April 1, 2013

ක්‍ෂිතිජ රේඛා - අටවන දිගහැරුම



“අපෝ මොනාද හලෝ... දැන් දහම් පාසලෙන් අස් වෙලා කොච්චර කල්ද? ලැජ්ජ නැද්ද තවත් ඔව්වට යන්න...මිස්ලටත් වෙන කෙල්ලො නැද්ද මන්ද”

අවඥා සහගත බව මුසු කවට ස්වරයකින් අසෙල් එසේ කීයේය. යුවතිය නෑසුනාක් මෙන් නිහඬවම පසුවන්නීය.

“අනික මේ විභාගෙට ඇඩ්මිෂනුත් ආවට පස්සෙ.. මේ පාර විභාගෙත් ඇන ගන්න තමා ඔය.. අම්මල දූලා ඔක්කොටම පිස්සුද මං දන්නෙ නෑ”

එකදු වදනක් නොදොඩා සිටින්නට සිත සමඟ ගිවිස්සා සිටි නමුදු තවත් නිහඬව සිටීම අනුවණකමකි.

“එහෙම කියන්න එපා අසෙල් අයියෙ.. මිස්ල මාව තෝරගත්තෙ විස්වාශ කරලනෙ.. මං බාරගත්තු දේ හරියට කරන්න එපැයි.. අනික මං විභාගෙ හොඳට කරගන්නම් අනේ..”

“අනේ මම නම් දන්නෙ නෑ ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ”

ඉන් එහා කිසිත් නොකියූ අසෙල් දුරකථනය විසන්ධි කළේය. එයින් සිත්  තැවුලට පත් සෙනුරි සිය කාමරයේ ඇඳ මත හිඳගනිමින් කල්පනාවට වැටුණාය. දහම් පාසල් නාට්‍යය පිළිබඳ අසෙල්ගේ කිසිදු පැහැදීමක් නැත. ළඟ එන විභාගය වෙනුවෙන් මහන්සි වී පාඩම්ද කළ යුතුය. එසේ වුව කම් නැත. තනිව හෝ පුහුණුවීම් සඳහා යාමට සෙනුරි සිතාගත්තාය.

***



“ආ... මොකද අද කුමාරි තනියම? කෝ කුමාරයා?”

නයන ඇසුවේ ඔච්චමට මෙනි. ඔහු මේ නාටකයේ ප්‍රධාන නළුවාය. දෙදෙනම දහම් පාසලේ එක පන්තියේ මිතුරෝ වූහ. දුටුවනම ලගන්නා සුළු පෙනුමක් ඇති දැකුම්කළු තරුණයෙකි, නයන. ඒ කෙසේ වුව තමා අන් සතු මලක් බැවින් යුවතිය හැමවිටම කතාබහේදී පරිස්සම් වූවාය.

එයාට වැඩ නයන, එන්න විදියක් නෑ... දිගටම තනියම තමයි මං එන්නෙ..

ඇයි එයා ඔයා රඟපානවට කැමති නැද්ද?

සිය මිතුරියගේ කටහඬේ වූ ශෝකාකූල බව ග්‍රහණය කරගත් නයන ප්‍රශ්න කළේය. බලාපොරොත්තු විරහිත පැනයෙන් යුවතිය කලබල වූවාය.

එහෙම දෙයක් නෑ නයන.. මගෙ විභාගෙත් ළඟ නිසා එයා ටිකක් බය වෙලා මම විභාගෙ අවුල් කරගනී කියලා..

ඔයා කතා කරන විදියෙන්ම මට තේරුණා අසෙල් නාට්‍යයට කැමති නැති බව...ඒ වුණාට එයත් තේරුම් ගන්න ඕන තමන්ගෙ ගෑණු ළමයා ආස කරන දෙයක් හිතේ සතුටින් කරන්න ඉඩදුන්නට කමක් නෑ කියල.. ඔයා වැරදි වැඩක් කරනව නෙමේ නෙ සෙනුරි...?

එහෙන් අසෙල් මොනවදෝ කියන්නේය. මෙහෙන් නයන තවත් මොනවදෝ කියන්නේය. දෙදෙනාගේ කියුම් අතර සෙනුරිගේ මනස එහා මෙහා දෝලනය වන්නේය. කෙසේ නමුත් අසෙල් තම පෙම්වතා බව සෙනුරිට මතක ඇත. ඉදින් ඔහු ගැන තව තවත් ගතු කියා අසෙල් කෙරෙහි නයනගේ සිත බිඳවන්නට නොකැමැති යුවතිය පුහුණුවීම් කටයුතු කෙරෙහි අවධානය යොමු කළාය.

මාස දෙකක පමණ සති අන්ත සැන්දෑ වරු මෙසේ ගතවී යන්නට ඇත. තම පංති පාඩු නොවන අයුරින් පුහුණුවීම් යොදා ගැනීමට තරම් සෙනුරි බුද්ධිමත් වූවාය.

***

මාස දෙකක පුහුණුවේ අවසන් ඵලය නෙලා ගන්නා දිනය උදාවිය. අසෙල්ගේ වචනයක සහයෝගයක් නැති වුවද ආදරණීය මවගේ නොමඳ ආශිර්වාදය නිරතුරුව ඈ සතු විය. ඔහුගේ පැමිණීම පවා අපේක්ෂා කළ හැක්කක් නොවේ. යුවතිය එයින් කම්පා නොවූවාය. අසෙල් ගැන කිසිවිටක අහිතක් නොසිතුවාය. පිවිතුරු ආදරය එලෙසය.

සෙනුරි, අසෙල් අදවත් එන්නෙ නැද්ද?

නයන නැගූ පැනය හමුවේ සෙනුරි අසරණය.
                           
නෑ නයන එයා ගමනක් ගිහින්.

ඔහුට බොරුවක් කී යුවතිය තමාම රවටා ගත්තාය.

***

එකක් ඉවරවෙද්දි තව එකක් කියන්නාක් මෙන් විභාගය කට ළඟටම පැමිණ ඇත. හිතේ ආසාවට නාට්‍ය රඟපෑවාට සෙනුරිද දැන් මඳක් බිය වී ඇති හැඩකි. පාඩම් වැඩ අධික බැවින් දැන් දැන් අසෙල් හමුවීම සම්පූර්ණයෙන් නැවතී ඇති අතර යන්තම් වචන කිහිපයකට සීමාවන අවස්ථා බොහෝය. දෙදෙනාම ඒ අවස්ථා සමසිතින් විඳ දරා ගත්හ.

***

ආ...අසෙල් අයියෙ.. ඔයා? අම්මේ දැක්ක කල්...

ඔයා පාඩම් කරන නිසා මං ඉතින් කරදර කලෙත් නෑ සෙනුරි..අද ආවෙත් හෙට ඔයාට එක්සෑම් පටන් ගන්න හින්ද... යමුද?



අසෙල්ගේ හැටි ඈ හොඳින් දනී. මඳහසක් මුවඟ නලියද්දී යුවතිය යතුරුපැදියට නැගුණාය.

දැන් පාඩම් කරල ඉවරයි නේද?

ම්ම්ම්... ඔව්... ඉවරයි...

යුවතිය සිහින් හඬින් මිමිණුවාය.

නිවසට ගොස් මුහුණ කට සෝදා, ආහාරපාන ගෙන අවසන පොත් බෑගය අස් කිරීමට සූදානම් වූ සෙනුරිගේ ඇස් එක්වරම ජංගම දුරකථන තිරය වෙත යොමුවිය.

එහි වූයේ කෙටි පණිවිඩයකි.

මගෙ රත්තරනේ, හොඳට විභාගෙ කරන්න.. ඔයාට වරදින්නෙ නෑ කවදාවත්... බුදු සරණයි...

එහි වූයේ එයයි.

Tuesday, March 12, 2013

ක්‍ෂිතිජ රේඛා - සත්වන දිගහැරුම



“අසෙල් අයියා... ඔයා කොයි හරියෙද ඉන්නෙ? මම නම් දැන් බස් හෝල්ට් එකේ ඉන්නෙ...”

ජංගම දුරකථනය බෑගයෙන් එළියට ගෙන අසෙල් ඇමතූ යුවතිය ඔහුගෙන් ලද කිනම් හෝ පිළිතුරක් මත නැවත එය බෑගය තුළට දැමුවාය. මේ වූ කලී ඇය සිය පියාගෙන් ලද රට තෑග්ගකි. අසෙල් සිය මසක හෝ දෙකක වැටුපෙන් ජංගම දුරකථනයක් මිලට ගත් කාලයට සමකාලීනව ඇයද එය ලැබීමට වාසනාවන්ත වූවාය.

“ඔයා ගොඩක් කලින් ඇවිල්ලනේ... මාර වැඩේනෙ උනේ..අපේ අල්ලපු ගෙදර ඇන්ටි බස් එකේ හිටියනෙ.. ඕන්නැති දෙයක් නෑ.. බුදු අමාරුවෙන් බොරු දහයක් විතර කියල බේරිලා ආවෙ..”

කිසිත් නොකී යුවතිය නොනවත්වාම සිනහ වීමට පටන් ගත්තාය.

“මෙයාට නම් හිනා, මමනෙ දන්නෙ මං කාපු කට්ට”

අසෙල් කීවේ මුහුණ ඇඹුල් කරගනිමිනි. ඒ කතාව එසේ අවසන් වූයේ ඔවුන් සිනමාපටය නැරඹීමට යෑම  සඳහා නැගිය යුතු බස් රථය ඔවුන් ඉදිරිපස නැවැත්වූ බැවිනි. මගීන් පිරී හිඳ ගන්නට අසුනක් පවා අහිමි බස් රථයට ඔවුන් ගොඩ වූයේ යා යුතු දුර ගැන වත් නොසිතමිනි.

“ශික්, ඉඳගන්න සීට් එකක් වත් නෑනේ”

යුවතියට එසේ සිතෙන්නට ඇත. අසෙල් කෙසේ වෙතත් සෙනුරි නම් සිටියේ දැඩි අපහසුවකිනි. වරින් වර තම ශරීර අභ්‍යන්තරයෙන් නැගෙන වේදනා ඉවසා ගනිමින් ඈ අසෙල් අසළම සිටගෙන හුන්නාය. ගතට කෙතරම් අපහසු දැනුනද මෙය කලින් සැලසුම් කර තිබූ ගමනකි. දෙදෙනාගේම ආශාව ඇතිව සූදානම් කළ ගමනකි. එහෙයින් අතරමඟදී එල්ලවිය හැකි බාධක ගැන දෙදෙනාගෙන් කිසිවෙකු හෝ සිතන්නට නැත.

ගතවූයේ නිමේෂයකි. වල ගොඩැලි සහිත මාර්ගයේ ගැස්සි ගැස්සි යන ගමන දරා ගත නොහී, බසය වංගුවක් ගත් වහා යුවතිය හිටිවනම අප්‍රාණික තත්වයට පත්වූවාය.

“මට වමනෙ යන්න එනවා”

සෙනුරි සිහින් හඬින් කොඳුලාය. ක්‍ෂණිකව බසයේ සීනුව නාද කළ ඔහු බසය නැවැත්වූ සැණින් සෙනුරිව වත්තම් කරගනිමින් බසයෙන් බැස්සේය. හුස්මක් හෙලන්නට අවසරයක් නොවිණි. එවෙලේම සෙනුරි පාරේ අයිනක වමනය කළාය. ඒත් සමඟම ඈ සිහිමඳ තත්වයට පත්වූවාය.

“අනේ වස්තුවේ ඔයාට මොකද මේ වුණේ?”

අසෙල් හොඳටම බිය වී ඇති හැඩකි. වැටෙන්නට නොදී තම දෑතින් අල්ලා ගත් සෙනුරි කැටුව ළඟ පාත වූ කඩයකට සේන්දු වූ ඔහු, යුවතිය එහි නවතා මඳක් කල්පනා කළේය. එම කඩයෙන් ඈට බොන්නට වතුර වීදුරුවක්‌ ගෙනැවිත් දුන් ඔහු ත්‍රීරෝද රථයක් කැඳවා ගෙන ඒමට ගියේය.



සෙනුරිට ගෙදර යන්නට බැරිය. අසෙල්ට කොහොමත් ඈ සමඟ ඇගේ ගෙදර යන්නටද බැරිය. වෙනකක් තබා මේ අවස්ථාවේ හැටියට සෙනුරිව තනියම ගෙදර යැවීම කිසිසේත්ම කළ නොහැක්කේමය. මෙවන් මොහොතක යාහැකි හොඳම තැන ලෙස තම නිවස තෝරාගත් අසෙල්, යුවතිය තම නිවසට කැඳවා ගෙන ගියේය.

***

ගැහැණු ළමයෙකු වත්තම් කරගත් සිය පුතු ත්‍රීරෝද රථයකින් බසිනු දුටු පද්මිණී කලබල වූවාය.

“කවුද චූටි පුතේ මේ ළමයා? අර පුතා කියපු සෙනුරි කියන ළමයද මේ?”

“ඔව් අම්මේ, මේ සෙනුරි තමයි.. අද පංති යන්න ආවෙ.. බස් හෝල්ට් එකේදී එක පාරට වමනෙ දැම්ම.. ඒ ගමන්ම කලන්තෙ කැරකිල්ල හැදුණා.. ඉතින් මම ගෙදර එක්ක ආවා..”

පද්මිණී වහා සිදුව ඇති සංසිද්ධිය වටහා ගත්තාය. අසෙල්ගේ උදව්වෙන් ඈ සෙනුරිව ඇඳක හාන්සි කළාය.

“දුවේ, දැන් කොහොමද? මම මේ දුවට කෝපි ටිකක් හදාගෙන ආවා.. මේක බීල ඉන්නකො”

“ඇන්ටි කවුද?, මං කොහොමද මෙහාට ආවෙ”

සෙනුරි ඇසුවේ ඇත්තටම නොදන්නා කම නිසාමය. මඟ දිගට එන තුරුම ඇය නිදා හුන්නේ අසෙල්ගේ ඔඩොක්කුව මත හිස තබාගෙනය.

පද්මිණී පිළිතුරු දීමට පමාවූයෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ අසෙල්ය.

“මේ අපේ අම්ම සෙනුරි. ඔයාට කලන්තෙ දාපු නිසා මට බය හිතුණා. මං ඔයාව අපේ ගෙදර එක්කගෙන ආවා..”

අසෙල් කීවේ අම්මාව පිටුපසින් පැමිණ තුරුල් කරගනිමිනි. මවගේත් පුතුගේත් සෙනෙහස දැක සතුටට පත් සෙනුරි සෙමෙන් කෝපි කෝප්පය තොල ගෑවාය.

දිවා භෝජනයද අසෙල්ගේ නිවසින්ම සපයා ගත් යුවතිය අසෙල් සමඟ පාරට පැමිණියේ නිවෙස් බලා යෑමට බසයට නැගීමටය.




“ඔයාලගේ අම්ම හරි හොඳයි වගේ අසෙල් අයියෙ..මේ ටික වෙලාවට මට කොයිතරම් ආදරේ උණාද?”

“එහෙම තමයි කෙල්ලෙ අපේ අම්මා.. ඒ එයාගෙ හැටි... අන්න ඔයාට බස් එකක් එනවා.. එහෙනම් පරිස්සමින් ගිහින් මැසේජ් එකක් එවන්න හොඳද?”

දෙදෙනාගේම සිහිනය වූ සිනමාපටය නැරඹීම, පළමු වතාවට පමණක් එසේ සිහිනයක්ම විය.

***

මේ කාලයේදීම සෙනුරිලා මුහුණ දුන් උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් විය. අසෙල් යන්තම් B එකයි C දෙකක් ගෙන සමත් වී සිටි අතර සෙනුරි B තුනක් ගෙන සමත්ව සිටියාය. දෙදෙනාගේම මට්ටම විශ්වවිද්‍යාල සිහිනය පේන මායිමේ වත් නොවීය. රෙකෝඩ් බාර් එකේ වැඩ කරන අසෙල්ට හෝ නැවත විභාගයට පෙනී සිටින්නට සැරසෙන සෙනුරිට එයින් කම් නැත.

***

කාලය ගෙවී යන්නේ විදුලි වේගයෙනි..  විභාගය ටිකෙන් ටික ළඟාවෙමින් පවතී.. ඒ කෙසේ වුව ඉඳ හිට හමුවීම්, රෙකෝඩ් බාර් එකේදී දොඩමළු වීම් වලටද දෙදෙනා තවම සමු දී නොමැති අයුරකි. පොඩ්ඩිව පංති ඇරුණු පසු ගෙදර ගෙනැවිත් දැමීමේ වගකීමද අසෙල් නොපිරිහෙළා ඉටු කරන්නේ මහත් උනන්දුවෙනි. මුලදී ලැජ්ජාවට එතරම් කතා බහක් නොවුණද දැන් දැන් සෙනුරි තරමටම පොඩ්ඩිද ඔහුට සමීපය. තමාටද නංගි කෙනෙකු සිටියා නම් කොතරම් හොඳ දැයි අසෙල් කල්පනා කළේය.

***

“ලොකූ, අන්න විභාගෙට ඇප්ලිකේෂන් දාන්න හෙට උදේ ඉස්කෝලෙ එන්න කියල ලක්ෂි කෝල් කළා”

“හරි අපෙ අම්මා, මම කොහොමත් හෙට යන්න තමයි උන්නේ”

යුවතියද සැළකිල්ලෙන් පිළිතුරු දුන්නාය.

ගිය වසරේදීට වඩා මේ වසරේදී ඈ දැනුම අතින් පොහොසත්ය. එසේ වුවද ජීව විද්‍යාව හෝ ගණිතය විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවාට වඩා වාණිජ්‍ය විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම අපහසු බව යුවතිය මැනවින් තේරුම් ගෙන හුන්නාය.

පසු දින නංගිලා දෙදෙනා පාසැල් යෑමට සැරසෙන මොහොතේ සෙනුරිද පාසලට යෑමට සූදානම් වූවාය. අද අයදුම්පත්‍ර දැමීමට යනවා මෙන්ම තව මාස තුන හතරකින් විභාග අයදුම්පත්‍රය ලබා ගැනීමටද පැමිණිය යුතු වග පැමිණ සිටි සියල්ලෝම සිහිපත් කළේ කණස්සල්ලෙනි.එහෙත් විභාගයට පෙර සැමරිය යුතු, ප්‍රීති විය හැකි උත්සව දෙකකි. සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සවයයි..

සෙනුරි වෙසෙසින්ම කල්පනා කළේ වෙසක් උත්සවය ගැනයි. මන්ද යත් දහම්පාසලේ වෙසක් නාට්‍යය වෙනුවෙන් ප්‍රධාන ස්ත්‍රී චරිතයට පණ පොවන්නී ලෙස ඈ නිර්දේශ කර ඇති බව ඈ දැන ගත්තෙ අයදුම්පත් දැමූ රාත්‍රියේ බැවිනි.