“පුතාලා අද පිරිසිදු කිරීමේ දවස මතකයි නේද? හැමෝම
එකතු වෙලා පන්ති කාමරයයි වටේ පිටෙයි පිරිසිදු කරන්න ඕන.”
පාසලේ වැඩකටයුතු ඇරඹීමෙන්
පසු පන්තියට පැමිණි චන්ද්‍රසිරි සර් කීවේය. චන්ද්‍රසිරි සර්ගේ ඒ දැනුම් දීමත් සමඟ
ළමෝ අදාළ කාර්යය සඳහා යුහුසුළු වූහ. පැරණි පරිගණක විද්‍යාගාරය පන්ති කාමරය කරගත්
අසෙල් ලාගේ පන්තියේ අස්පස් කරන්නට අස්කොන් බොහෝය.
පන්තියේ කෙළවරක වූ අඳුරු
පටු තීරය දිගේ සෙනුරි දූවිලි පිසදමමින් සිටියාය. පැරණි විද්‍යාගාරයේ වීදුරුද කළුය.
පැත්තකින් කාර්යාලයද, ඉදිරියෙන් ක්‍රීඩාගාරයද නිසා ගොඩනැගිල්ල තරමක් වටවී ඇත. අසෙල් අනෙක්
අයගේ ඇස් මඟ හරිමින් සෙනුරි වෙත ඇදුණේය.
අත දිග නැති උස් ජනෙල් කඳු
පිසදමන්නට සෙනුරි ඉස්සි ඉස්සී බරටම වැඩය. අසෙල්ද සීරුවේ ගොස් ඈ පසුපසින් සිට
ගත්තේය. වැඩ නිම කළ සෙනුරි පසුපස හැරුණාය. දෙදෙනෙකුට ඇඟේ නොගැටී සිටින්නට බැරි ඒ
පටු තීරයේ ඈ අබියස අසෙල්ය. මේ නම් පුදුම මොහොතකි.
තත්පර කිහිපයක් ඔවුන්
දෙදෙනා එකිනෙකා දෙස බලා සිටින්නට ඇත. කිසිවෙකුත් නොදකින, කිසිවෙකුත්
නොඑන අඳුරු ඉසව්වේ අසෙල්ගේ දෙතොල් සෙනුරිගේ දෙතොල් වල පහස වින්දේය. තව තවත්
අසෙල්ගේ ග්‍රහණයට ලක්වූ යුවතිය ලැජ්ජාවෙන් ඇඹරෙන්නීය. දෙදෙනාගේම මුහුණු වල සතුට
උතුරන්නේය.
“අනේ අසෙල් අයියා කවුරුහරි දකී.. ඔයා යන්න දැන්..”
විනාඩි ගණනක පමාවෙන් පියවි
ලොවට එළඹී සෙනුරි කීවාය. එසැණින් ග්‍රහණය ලිහිල් කළ අසෙල් එතැනින් එළියට විත්
පිට්ටනිය දෙසට දිව යනු සෙනුරි කවුළුවෙන් අස්සෙන් දුටුවාය.
***
“සෙනුරි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන. ඉස්කෝලෙ ඇරිල බස් හෝල්ට් එකේ
ටිකක් ඉන්න.”
අසෙල් එසේ කීවේ විවේක
කාලයේදීය. යුවතිය කිසිත් නොකීවාය. හිස සැලුවා පමණි. ඒ ආඩම්බර දෑස දෙස බලාගෙන බෑ
කියන්නට ඈට බැරිය.
***
“සෙනුරි, මං ඔයා ගැන අපේ අම්මට කියන්න හිතං ඉන්නෙ අද. අම්මට හොරෙන් මොකුත්
කරන්න මට හිත දෙන්නෙ නෑ. අම්ම හරි පව්..”
“ඔයාලගෙ අම්ම මට කැමති වෙයිද අසෙල් අයියෙ?මට නම්
හරි බයයි වගේ ඔයාව නැතිවෙයි කියල.”
අසෙල් කොතෙකුත් අස්වැසුවද
යුවතිය තවමත් බියසුළුය. කලබලය. කොල්ලා තමන් ගැන ගෙදරට කියන බව දැන්වූ විට කොයි
කෙල්ලත් එහෙමය. කුමකින් කුමක් සිදුවේ දැයි හරියටම දැනගන්නා තුරු සිත කම්මලක් වගේය.
“අම්ම කැමති වුණොත් අපි ඔයාලගෙ අම්මටත් කියමු සෙනුරි. කලින්ම කියල
හිටියම කිසි ප්‍රශ්නයක් නෑනේ..”
අසෙල් තවම කියවයි. යුවතිය
නිහඬය. ඇය ගැඹුරු කල්පනාවකය. ඉන් එහාට කිසිත් නොකිව් ඔහු ඇයව බසයේ නංවා පිටත් කොට
තම නිවෙස බලා යාමට වෙනත් බස් රියකට ගොඩ විය.
***
අසෙල් නිවසට ගොස් පිරිසිදු
වී දිවා ආහාරය නිමා කරන තුරුත් පොඩි අක්කා නෙතුලි සමඟ සුව නින්දකය. සාලයේ වේවැල්
පුටුවකට වී වීරසිංහ මහත්මිය කොට්ට උරයක් මසමින් සිටියාය. සාලයේ තිබූ කුඩා ස්ටූල්
එකක් තමා ලඟට ඇදගත් අසෙල් අම්මා සමීපයේ වාඩිවෙමින් කාරණාවට බැස්සේය.
“අම්මේ”
“හ්ම්ම්.ඇයි චූටි පුතා?”
“මං අපේ පංතියේ ගෑණු ළමයෙකුට කැමතියි.”
අසෙල් මඳක් සැලෙන ස්වරයෙන්
යුතුව එසේ කීවේ පද්මිණි දෙස එක එල්ලේ නොබලා ඇස් බිමට ඔබාගෙනය.
“කවුද චූටි පුතේ ගෑණු ළමයා? ඉතින් ඕකට බයවෙන්න කාරි නෑ. පුතා දන්නවනෙ මං අනිත් අම්මල වගේ ඕන
එකටයි එපා එකටයි හැමදේටම එපා කියන්නෙ නැති බව.”
“නම සෙනුරි බණ්ඩාර. එයයි නංගිලා දෙන්නයි විතරයි පවුලේ. තාත්තා රට.
උසස් පෙළ කරන්න අලුතෙන් පන්තියට ආපු ළමයෙක්. ලස්සනයි. අහිංසකයි. ගොඩක් චාම්..”
“අප්පට සිරි... කොල්ල ගිහින් තියෙන දුර.. කෙල්ලගෙ ජාතකේම හොයාගෙන.. යස
ඉලන්දාරියා”
අම්මාගෙන් වචනයක් ගන්නටත්
කලින්ම කොහේදෝ සිට කඩාපාත්වූ පොඩි අක්කා නෝන්ඩි හිනාවක් දමාගෙන එසේ කියද්දී
වීරසිංහ මහත්මියටද සිනා යන්නට ආ නමුත් ඇය ආයාසයෙන් එය නවතා ගත්තාය.
“අපේ පවුලට ගැළපෙනවා නම් මගෙ අකමැත්තක් නෑ පුතා. කරන දෙයක් පරිස්සමින්.
ඔයා තාම ඉස්කෝලෙ යන, මේ අවුරුද්දෙ විභාගෙ ගන්න ළමයෙක් කියල අමතක කරන්න එපා.”
අම්මාගෙන් නිල වශයෙන්ම
අනුමැතිය හිතුවාටත් වඩා පහසුවෙන් ලැබුණි. අසෙල්ට රටක් රාජ්‍යක් ලැබුණා වැනිය.
සෙනුරිට මෙය කියන තුරු ඉවසිල්ලක් නැත. එහෙත් ඊට හෙට පාසල් යනතුරු සිටිය යුතුය.
***
සෙනුරිගේ සිත නම් බොහොම
කලබලය.
“අසෙල්ගෙ අම්ම මට කැමති වෙයිද දන්නෙ නෑ.. අනේ අකමැති වුණොත්... එයාට
බැන්නද දන්නෙත් නෑ... පව් එයා... පොඩි අක්ක මොකක් හරි කොක්කක් ඇද්දද දන්නෙත් නෑ..”
ඈට කිසිවක් සිතා ගන්නට
බැරිය. සිදු වූ දෙය නියමාකාරයෙක් දැන්වීමට හා දැනගැනීමට අසෙල් මෙන්ම සෙනුරිද හෙට
උදා වන තුරු ඉවසිය යුතුය.
“හා හා
මදිද ඔය කොණ්ඩේ පීරුවා.. එහාට වෙන්නකො ලොකු අක්කා. මායි පොඩි අක්කයි ලෑස්ති වෙන්නෙ
නැද්ද?”
සිඟිති මැසිවිලි නගද්දී
කොණ්ඩ කරලක් ගෙතූ පීත්ත පටිය නැවතත් ලිහා බඳිමින් යුවතිය කාමරයෙන් නික්මුණාය. පොත්
බෑගය එකලස් කරගෙන අම්මාට හා තාත්තාගේ පින්තුරයටද වැඳ ඈ නිවසෙන් එළියට බැස්සාය.
බණ්ඩාර මහතා දෝණියන්දෑවරු
තිදෙනෙකුගේ බර දරමින්, තම පවුලේ අනාගතය සුරක්ෂිත කරනු වස් කහවණු සොයා විදෙස් ගතවී,මේ ගෙවී යන්නේ සිව්වැනි
වසරයි.
තවමත් ගමේ පාසලේ ඉගෙන ගන්නා
නංගිලා දෙදෙනාට වඩා වැඩි වෙලාවක් ඈට නගරයේ පාසලට යාමට ගතවෙයි. කලින්ම සූදානම ඒ
නිසාය.
***
උදෑසන සුභ පැතුම් පෙර
පරිදිමය. එහෙත් නිකන්ම නිකන් "ගුඩ් මෝනින්" එකට අමතරව සෙනුරිගේ දෑස් අසෙල්ගේ දෑස් වල
මොනවදෝ සොයනවා අසෙල්ට දැනුණි. දැන් නම් සෙනුරිට ඉවසිල්ලක්ම නැත.
“අසෙල්
අයියෙ, අම්ම මොකෝ කිව්වේ?”
යුවතිය දෙගිඩියාවෙන් මෙන්
ප්‍රශ්න කළාය. අසෙල් නිහඬය. මුහුණ ඉරියව් රහිතය. බිමට බරවූ ගමන්ය.
“අම්ම
කැමති නැද්ද අසෙල්?”
යන්තමින් වත් ඉරියව්වක් පළ
නොකර බිම බලාගත්වනම උපකාරක පන්තිය දෙසට ඇදෙන අසෙල් දෙස බැලූ යුවතිය බලාපොරොත්තු
කඩවූ ස්වරයකින් ඇසුවාය. කවුරු උණත් මෙච්චර බැගෑපත්ව දෙයක් අසද්දී තවත් හෙට්ටු
කරන්නට ඕනා නැත. අසන කෙනා පව්ය. අසෙල් සෙමින් මුහුණ එසෙව්වේය. ඒ මුහුණේ කවට
සිනාවකි.
“අපේ
අම්මගෙන් අවුලක් නෑ සෙනුරි. අපි ඔයාලගෙ අම්මටත් කියමු. ප්‍රශ්නයක් උනොත් අපේ අම්මට
කියල පොඩි ශේප් පාරක් දාගන්න බැරි වෙන එකක් නෑ.”
පුළුවන් තරම් ඇස් ලොකු කර
සෙනුරි අසෙල් දෙස බැලුවාය. අසෙල් කියන්නෙ පාවෙන්න ඔන්න මෙන්න තරම් සැහැල්ලුවෙනි. එහෙත්
බියගුල්ලියක් වූ සෙනුරිට දැන් දාඩියත් දමා ඇත. උණු උණුවේම තම ප්‍රේමය ගැන අම්මාට
කියන්නට තරම් ධෛර්යයක් ඇති කෙල්ලන් විරලය. කතාවෙන් පන්තිය කිට්ටුවටම පැමිණ ඇත.
“මට
ඔයාලගෙ ගෙදර ෆෝන් නම්බර් එක දෙන්නකො අසෙල් අයියෙ, අම්ම
කැමති වුණොත් මම කතා කරන්නම්.”
කියන පරක්කුවෙන් අසෙල්
සෙනුරි අත කොළ කෑල්ලක් ගුලි කළේය.
***
“අපෙ
අම්මා..”
යුවතිය අම්මාට කතා කළාය. ඈ
සිටියේ සාලයට වී පත්තරයක් බලමිනි. පොඩ්ඩිත් සිඟිතිත් පාඩම් කරමින් සිටිනු යුවතිය
ඈත තියාම දුටුවාය.
“ඇයි ලොකූ?”
අම්මා මහත් දයාබරව
විමසුවාය.
“මට අම්මට
පුංචි කාරණාවක් කියන්න තියෙනවා.”
යුවතිය බිම බලාගෙන
කියන්නීය. මුහුණ ලේ පාට වී ඇත. බණ්ඩාර මහත්මිය බලමින් සිටි පත්තරය නමා එහා
පුටුවෙන් තබා උපැස්යුවල ගලවා අතට ගත්තාය. සෙනුරි බිම හින්ද ගත්තාය. සෙනුරිගේ හිස
අම්මාගේ උකුල මතය. අම්මාගේ අත සෙනුරිගේ හිස මතය. ඈ සෙමින් සිය දියණියගේ හිස
පිරිමැද්දාය.
“අපෙ
අම්මා, මාත් එක්ක තරහ ගන්න එපා. අපේ පන්තියෙ අසෙල් වීරසිංහ කියල ළමයෙක්
ඉන්නවා. එයා මට කැමතියි අම්මා..මගෙත් අකැමැත්තක් නෑ එයාට.. හරි හොඳයි එයා.
එයා එයාලගෙ අම්මටත් කියල. එයාලගෙ අම්ම කැමතියිලු. අසෙල්ම තමයි කිව්වෙ අපේ අම්මටත්
කියන්නයි කියල.. ”
යුවතිය කීවේ අම්මා දෙස
යන්තමින් වත් නොබලමිනි. මෙතෙක් වේලා අම්මාගේ උකුල මත ඇලයට හිස තබා ගෙන සිටි සෙනුරි, අම්මාගේ
උකුලේ හිස ඔබගත්තාය.
කාන්තිට මෙය මහත් ගැටලුවකි.
සෙනුරි කිසිවිටෙකත් වැරදි දෙයක් තෝරා නොගන්නා බව ඈ විශ්වාස කරයි. එහෙත් මෙය
සෙල්ලම් වැඩක් නොව සෙනුරිගේ අනාගතය පිලිබඳ කාරණයකි. කෙල්ලෙකුගේ අම්මා කෙනෙකුට එසේ
එක වරම කැමති වන්නට අමාරුය. තව ටිකක් නොව ගොඩක් කල්පනා කළ යුතුය. අසෙල්ගේ අම්මා
සමඟ කතා කළ යුතුය.
“ලොකූ, ඔයා ගාව
ඔය කියන පිරිමි ළමයගේ ගෙදර ෆෝන් නම්බර් එක එහෙම තියෙනවද? මට ඒ
ළමයගෙ අම්ම එක්ක ටිකක් කතා කරන්න ඕන.”
බණ්ඩාර මහත්මිය මුහුණට
බැරෑරුම් පෙනුමක් නගා ගනිමින් කීවාය. සෙනුරිගේ ගැහෙන සිත නම් නවතින්නේම නැත. අම්මා
මොනා කියවන්න යනවාදැයි දන්නේ උඩ ඉන්න දෙයියෝම පමණි. ඇස් අග හිරවී ඇති කඳුළු කැට
දැන් දැන් එළියට පනින්නට ළඟය.
“තියෙනව
අපෙ අම්මා..”
කවදත් මවුපියන්ට ලෙංගතු
යුවතිය සෙමින් අඩිය තබමින් කාමරයට ගොස් අසෙල් තම අත්ලේ ගුලිකල කොළ කෑල්ල
අම්මා වෙත පෑවාය.
මොහොතකින් අසෙල්ගේ නිවසේ
දුරකථනය හැඬවුණි.