ලෝකෙට ආපු අය

Monday, November 26, 2012

තුඹසකින් බණ පොතට


අප අසන බොහොමයක් සූත්‍ර  වල ආරම්භයේ 'ඒවං මේ සුතං, සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ....' කියල පටන් ගන්නවනේ. මේ කතාවත් එහෙම එකක්..

එක් දවසක් කුමාරකස්සප තෙරුන් වහන්සේ අන්ධවනයේ වැඩ ඉද්දි දෙවි කෙනෙක් මුළු අන්ධ වනයම ආලෝකමත් කරන විදියේ එළියක්‌ පතුරුවාගෙන උන්වහන්සේ ළඟට ආවා. ඇවිදින් එකත්පස්ව හිටගෙන මෙහෙම කිව්වා.


(මේ සංවාදයේ හැටියට ඒක සිද්ධ වෙන්නෙ බ්‍රාහ්මණයෙක් සහ නුවණැති පුරුෂයෙක් අතර. මේ දෙවියෝ කරන්නෙ ඒ සිදුවීම කුමරකස්සපයන් වහන්සේට කීම බවයි මට තේරුණේ. කෙසේ නමුත් සංවාදය පටන් ගැනෙන්නේ මෙහෙමයි)

“පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව,මේ තුඹස රෑ තිස්සෙ දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා”එතකොට බමුණෙක් කියනවා “ඒයි! ඤාණවන්තයා, ආයුධයක්‌ අරං ඇවිත් තුඹස හාරපන් කියල. ඉතිං ඒ  ඤාණවන්තයා ආයුධයක්‌ අරං ඇවිදින් තුඹස හාරද්දී අගුලක් අහු වුණා.

“ස්වාමිනී, අගුලක් තියෙනවනෙ!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය අගුල ඔසවා අයින් කරපන්.ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි ගෙම්බෙක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න ගෙම්බෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය ගෙම්බව උස්සල ගොඩට ගනින්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි දෙමංහංදියක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න දෙමංහංදියක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය දෙමංහංදියත් උස්සල අයින් කරපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි හිස් භාජනයක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න හිස් බඳුනක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය භාජනෙත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි ඉබ්බෙක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න ඉබ්බෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය ඉබ්බවත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි කඩුවකුයි,මස් කපන කොටේකුයි හම්බුණා. “ස්වාමිනී, මෙන්න කඩුවකුයි,මස් කපන කොටේකුයි හම්බුණා!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය කඩුවයි,මස් කපන කොටෙයි උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයෙමත් ආයුධයෙන් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි මස් වැදැල්ලක් දැක්කා. “ස්වාමිනී, මෙන්න මස් වැදැල්ලක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය මස් වැදැල්ලත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයෙමත් ආයුධයෙන් හාරපන්” කියල..

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි නාග රාජයෙක් හම්බුණා. “මෙන්න ස්වාමිනී, නාග රාජයෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔව්! ඔය නාග රාජයා ඔහොම හිටපුවාවේ. ඔය නාග රාජයා එක්ක හැප්පෙන්න යන්න එපා! නාග රාජයාට වන්දනා කරපන්!” කියල.

ඉතිං මේ කතාව කියල ඒ දෙවියෝ කුමාරකස්සප තෙරුන්ට කියනව භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිං මේ ප්‍රශ්න ටික අහන්න. ඒවාට නියම පිළිතුරු දෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට පමණක් බවත් කියල ඒ දෙවියා එතනම නොපෙනී ගියා.

ඉතිං දැන් කුමාර කස්සප තෙරුන් වහන්සේත් රාත්‍රිය පහන් වෙනකල් ඉඳල භාග්‍යවතුන් වහන්සේ දකින්න ගියා. ගිහිං වැඳලා එකත්පස්ව ඉඳගෙන පෙර දින රාත්‍රියේ තමන් ළඟට ආපු දෙවියා කියපු කථාව බුදුන් වහන්සේට නොඅඩුව පැවසුවා. ඉන්පස්සෙ උන් වහන්සේ මෙහෙම ප්‍රශ්න කළා.

“ස්වාමිනී, තුඹස කියන්නෙ මොකක්ද? රෑ තිස්සෙ දුම් දාන්නෙ මොනවද? බ්‍රාහ්මණයා කියන්නෙ කවුද? ඤාණවන්තයා කියන්නෙ කවුද? ආයුධය කියන්නෙ මොකක්ද? හාරනවා කියන්නෙ මොකක්ද? අගුල මොකක්ද? ගෙම්බා කවුද? දෙමං හංදිය මොකක්ද? හිස් භාජනේ මොකක්ද? ඉබ්බා කවුද? කඩුවයි මස් කපන කොටෙයි කියන්නෙ මොකක්ද? මස් වැදැල්ල කියන්නෙ මොකක්ද? නාග රාජයා කියන්නෙ කවුද?”

කුමාරකස්සප හාමුදුරුවන්ට ප්‍රශ්න වැලයි.

භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දෙන්න පටන් ගත්තා.

“පින්වත් භික්ෂුව, තුඹස කියල කියන්නෙ මේ ශරීරෙට කියන තවත් නමක්. මව්පියන් නිසා හටගත්ත, බත් මාළුපිණි වලින් හැදෙන වැඩෙන, අනිත්‍ය වූ, ඉලීම පිරිමැදීම් කරන, බිඳී යන ස්වභාවයට අයිති මේ සිරුරටයි තුඹස කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉන්නවා- කල්පනා කර කර ඉන්නවා දවල් කරන්න ඕන දේවල් ගැන, ඒකට තමයි රෑ තිස්සෙ දුම් දානවා කියල කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉඳලා- කල්පනා කර කර ඉඳලා දවල් කාලෙදි සිතින්,කයින්,වචනයෙන් කටයුතු කරන එකට තමයි දවල් කාලෙදි ගිනි ගන්නවා කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, බ්‍රාහ්මණයා කියල කියන්නෙ අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, ඤාණවන්තයා කියල කියන්නෙ නිවන් මගේ හික්මෙන භික්ෂුවට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, ආයුධය කියල කියන්නෙ ලෝකෝත්තර ප්‍රඥාවට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, හාරනවා කියල කියන්නෙ පටන් ගත්තු වීර්යයට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, අගුල කියල කියන්නෙ අවිද්‍යාවට කියන නමක්. අගුල උස්සල අයින් කරන්න කිව්වෙ අවිද්‍යාව දුරු කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව,ගෙම්බා කියන්නෙ බලවත් ක්‍රෝධයට කියන නමක්. ගෙම්බව උස්සල අයින් කරන්න කිව්වෙ බලවත් ක්‍රෝධය අයින් කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, දෙමං හංදිය කියන්නෙ සැකයට කියන නමක්. දෙමං හංදිය උස්සල අයින් කරන්න කිව්වෙ සැකය අත් අරින්න කිව්ව එකයි”

“පින්වත් භික්ෂුව, හිස් භාජනය කියල කියන්නෙ නීවරණ පහට කියන නමක්. හිස් භාජනය උස්සල අයින් කරන්න කිව්වෙ පංච නීවරණ අත් අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, ඉබ්බා කියල කියන්නෙ උපාදානස්කන්ධ පහට කියන නමක්. ඉබ්බව උස්සල අයින් කරන්න කිව්වෙ උපාදානස්කන්ධ පහ අයින් කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, කඩුවයි- මස් කපන කොටෙයි කිව්වෙ පංච කාම ගුණ වලට කියන නමක්. කඩුවයි මස් කපන කොටෙයි අයින් කරලා තියන්න කිව්වෙ පංච කාම ගුණයන් අත් අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, මස් වැදැල්ල කියන්නෙ ආශ්වාදයෙන් ඇලීමට කියන නමක්. මස් වැදැල්ල උස්සල අයින් කරන්න කිව්වෙ නන්දිරාගය අත අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, නාග රාජයා කියල කියන්නෙ ආශ්‍රවයන් ක්ෂය කළ රහතන් වහන්සේට කියන නමක්.”

තමන් වහන්සේට නැගුණු ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණු නිසා කුමාරකස්සප තෙරුන් වහන්සේ මහත් සතුටට පත් වුණා.

පැහැදිලි කිරීම් :-

පංච නීවරණ  
  • කාමච්ඡන්ද- කාම අරමුණු වලට ඇති ආශාව
  • ව්‍යාපාද - තරහ ඇති වීම
  •  ථිනමිද්ධ - නිදිමත හා අලස බව
  • උද්ධච්ඡ කුක්කුච්ඡ - හිතේ විසිරීම හා පසුතැවිල්ල
  • විචිකිච්ඡා - සැකය

පංච උපාදානස්කන්ධ

  • රූප උපාදානස්කන්ධය 
  • වේදනා උපාදානස්කන්ධය
  • සඤ්ඤා උපාදානස්කන්ධය
  • සංඛාර උපාදානස්කන්ධය
  • විඤ්ඤාණ උපාදානස්කන්ධය


පංච කාම ගුණ
  • රූප
  • ශබ්ද
  • ගන්ධ
  •  රස
  • ස්පර්ශ


ලිපිය සකස් කළේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත “සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය - මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකය” කියන පොතේ ඕපම්ම වර්ගයේ වම්මික සූත්‍රය කියන පරිච්ඡේදය ඇසුරු කරගෙනයි.

ප.ලි - අර තුඹස කියන වචනෙ දැක්ක වෙලේ ඉඳං මට මතක් වුණේම “දූරංගමං ඒක චරං - අසරීරං ගුහාසයං..” කියන ගාථාව තමයි. ඇත්තටම අපි තාමත් රෑට දුම් දාන , දවල්ට ගිනි ගන්න තුඹස් නේද?

හිතක හැටි!!!

හැමට බැතිබර ඉල් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි!!!

21 comments:

  1. හරිම ලස්සන සහ වැදගත් කතාවක්. කියල දීපු හැටිත් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා... තෙරුවන් සරණයි!!!

      Delete
  2. ඉතාමත් වටිනා ලියවිල්ලක්... හරසුන් නිසරු දේ කියවලා මෙහෙම යමක් කියවපුවාම හිතට දැනෙන සැහැල්ලුව කියලා වැඩක් නෑ... ස්තුතියි ඔබට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.... මෙහෙම දවසක වත් එහෙම දෙයක් කියවලා හිත සැහැල්ලු කර ගන්න එක කොච්චර දෙයක්ද? අයියටත් තෙරුවන් සරණයි...

      Delete
  3. අනු කෙල්ලටත් සිත නිවී සැනසෙන ඉල් පෝ දිනයක්ම වේවා.

    රෙපා

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඇනෝ ඇවිදින්...

      එසේම වේවා!!! තෙරුවන් සරණයි...

      Delete
  4. බොහොම වැදගත් කතාවක් නංගි. ලංකාවෙන් පිට ඉන්න අපිට බනපදයක් මතක් කරලා දෙනවා කියන්නෙත් පිනක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා... ඒක නේන්නම්... පෝය කියල ඉතින් දැන ගන්න විදියකුත් නෑනේ නේ... කියවපු ඔයාටත් පිං...තෙරුවන් සරණයි..

      Delete
  5. පෝය දවසේ ඉතාම වටිනා ලිපියක් නංගි. මේ කතාව මම කලින් අහල තිබුනෙත් නෑ. අදමයි දැන ගත්තේ. පින් සිදු වේවා!!!
    පිරිත් වල මුල් ටිකෙන් කියවෙන්නේ "මා විසින් මෙසේ අසන ලදී.. එක සමයෙක...." එහෙමද..?

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්ම භාණ්ඩාගාරික ධූරය දරපු ආනන්ද හාමුදුරුවෝ තමා බුදුන් වහන්සේ දේශනා කරපු සියලුම සූත්‍රයන් සංගායනාවට ඉදිරිපත් කළේ. එතකොට උන්වහන්සේත් මම මේ සූත්‍රය ඇහුවේ මේ විදිහටයි කියලා තමා දේශනා කිරීම ආරම්භ කරන්නේ.

      Delete
    2. @ හසිත

      හරියටම හරි මාවිසින් අහවන් තනදේ මෙසේ අසන ලදී කියල විස්තරේ කියල තමයි පිරිත් සූත්‍රය පටන් ගන්නේ

      Delete
    3. හ්ම්ම්... ඔන්න චන්දන අයියා ඔයාට උදව් කරන්න මං එන්න කලියෙන් දෙන්නෙක්ම ඇවිදිල්ලා...

      චන්දන අයියා, හසිත අයියා, කෝරලේ මහත්තයා අයියා ඔය තුන් දෙනාටම පිං සිදු වේවා තෙරුවන් සරණයි!!!

      Delete
    4. හ්ම්ම්.. ඔක්කොටොම පින්!!

      Delete
    5. @ කෝරලේ මහත්තයා

      //...මාවිසින් අහවන් තනදේ මෙසේ අසන ලදී ...//

      මේක පොඩ්ඩක් සංශෝධනය වෙන්න ඕනේ. සූත්‍රය අහපු කෙනා [ආනන්ද හාමුදුරුවෝ] තමන් සූත්‍රය ඇහුවේ කොහේදීද කියලා කියන්නේ නැහැ. ඒ සූත්‍රය බුදු හාමුදුරුවෝ දේශනා කළේ කොහේදීද කියලා තමා කියන්නේ.

      උදාහරණයක් ගත්තොත් මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුතුමා කරවූ ආරාමය වැඩවසන සේක.......

      Delete
  6. කසී භාරද්වාජයන්ට බුදුන් වහන්සේ කරපු දේශනාව සිහිපත් වුණා. ඒකෙත් කුඹුරක් සකස් කිරීම ඉදන් වැපිරීම දක්වා වූ සිද්ධි දාමය බුදුන් වහන්සේ තමන්ගේ දේශනාවට අනුකූල කරලා කරුණු දක්වනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... මම කියවන පොතෙත් තවත් ඒ වගේ කතා තියෙනවා.. ඉස්සරහට කියන්නම්කො... අයියට තෙරුවන් සරණයි...

      Delete
  7. වටිනා ලිපියක් අනු... මේවගේ හරවත් දෙයක් කියවන්නට ඉඩ සැලස්සුවට ඔයාට පිං...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළි... ඉදිරියෙදිත් මේ වගේ දේවලුත් ලියන්න මම හිතාගෙන ඉන්නවා...ඔයාටත් තෙරුවන් සරණයි...

      Delete
  8. පින් අතේ වැඩක් අනූ.
    මොකෝ බං උබව මගේ රීඩර් එකේ පේන්න නැත්තේ ?

    ReplyDelete
  9. මේකනෙ අයියේ... මම බ්ලොග් එකෙ ඇඩ්රස් එක වෙනස් කොලානේ... දැන් බ්ලොගර් අයිය මාව පෙන්නන්නෙ නෑ...

    ඉතිං අයියට කරන්න තියෙන්නේ ඔයාගෙ බ්ලොග් එකෙ,ඔයා කියවන බ්ලොග් ලිස්ට් එකේ සෙටින්ග්ස් වල Add By URL දීල මගේ ඇඩ්රස් එක දෙන්නනෙ.. මම මගේ බ්ලොග් එකේ මාව පේන්න දාගත්තෙත් එහෙමයි... :(

    ReplyDelete
  10. ආ.. නියමයි.මාත් මේ දවස්වල බුද්ධාගම අධ්‍යනය කරනවා.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..