ලෝකෙට ආපු අය

Monday, September 17, 2012

සාහිත්‍ය දිනය


“ළමයි,හෙට ඉස්කෝලෙ සාහිත්‍ය දිනය සමරනවා. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ කවියෙකුටයි වාදන ශිල්පියෙකුටයි අපි දැනටමත් ආරාධනා කරලයි තියෙන්නෙ”

සිංහල කාලච්ඡේදයේදී පංතියට පැමිණි සිංහල විෂය භාර ධම්මික ගුරුතුමා පැවසුවේය.

“උසස්පෙළ කළා අංශයේ ළමයි ඔක්කොම ඒ අවස්ථාවට සහභාගී කර ගන්නයි හිතං ඉන්නෙ”
හේ වැඩිදුරටත් කියා සිටියේය.

“අනේ සර්, අපිට බලන්න දෙන්නෙ නැද්ද?”
මෙවන් අවස්ථාවකදී වහා ඉදිරිපත් වන ඉසුරු එකෙණෙහිම ගුරුතුමා ගෙන් පැණයක් නැගීය.

“බය වෙන්න එපා පුතා, ඔයාල මගේ පංතියේ ළමයි නේ.. ඔයාලට කොහොම හරි මේ අවස්ථාව ලබා දෙන්න මම විදුහල්පති තුමා එක්ක කතා කරනවා. ඔයාලට විතරක් නෙමේ සාමාන්‍ය පෙළ ළමයි හැමෝටම”

සිංහල ගුරුතුමා එසේ පවසත්ම ඉසුරුගේ පමණක් නොව සෙස්සන්ගේද මුවඟ සිනහ නැගෙනු පෙනිණි. වාසනාවකට මෙවසර අපේ පන්ති භාර ගුරුතුමා වූ සිංහල ගුරුතුමා නිසාවෙන් සාහිත්‍ය දින හරවත් සංවාදයක් අසන්නට ලැබෙන බැවින් අපි සියල්ලෝම ඉතා සතුටට පත් වුණෙමු.

“සර්, කවුද ඉතින් එදාට එන්නෙ?”
එවර ඉල්ලීම මා අසල හුන් මා මිතුරිය ඊශානි ගෙනි.

“ඒක එදාටම බලමුකො නේද?  දැන් සිංහල සාහිත්‍ය පොත අරගෙන නාලාගිරි දමනය පාඩම පෙරලගන්න.”

ඈත ධූලින් වැසී ගිය ඇත් රජ යැ. මෑත ස වණක් ඝන රසින් සැදී ගිය බුදු රජාණෝ යැ .ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝ යැ. ඈත එබු එබු පයින් මහපොළොව පලාපියන්නාක් සේ දිවන ඇත් රජ යැ. මෑත එබු එබු පයින් මිහිකත සනහා සනහා වඩනා බුදු රජාණෝ යැ. ඈත බැලු බැලුවන් අනේ අනේ යි කියවන ඇත් රජ යැ. මෑත බැලු බැලුවන් සාධු සාධු  යි කියවන බුදු රජාණෝ යැ.....

මුළු ශාලාවටම ඇහෙන උස් හඬින් සිංහල ගුරුතුමා ඒ කොටස කට පාඩමින් කියවන විට අපේ ඇස් පොත් වලින් ඉවත්ව ඒ දෙසට යොමු වුණේ නිතැතිනි. දහම් පාසල් පෙළ පොතක පාඩමක් අවසානයේ මේ ගද්‍ය පාඨය තිබුණු බව සිහි වී මමද එය තනිව මුමුණන්නට වීමි. එය මට මතක ඇති හොඳම බුදු වර්ණනාවයි.

ධම්මික ගුරුතුමාගේ ප්‍රියතම ගීයක් වූ කොළොම්තොට නැත මහළු වී ගීතය ගායනයත්  සමඟ සිංහල කාලච්ඡේද දෙකේ නිමාවෙන් පාසලේ එදින කටයුතු නිම විය. මසිත මේ වන විට අනාගතයට පියඹ ගොස් ඇත්තේ මටත් හොරෙනි. අනිද්දා පැමිණෙන්නේ කවුරුන්ද? හිත තුළ මහත් කුහුලකි. ඊට හේතුව මින් පෙර පාසලේ සාහිත්‍ය දින උළෙලකට සහභාගී නොවීමේ අරුමය විය හැක.
                                                ***
තවත් දවසක් උදාවිණි. පාසලේ වැඩ කටයුතු සුපුරුදු ලෙස සිදු විය. නිදහස් කාලච්ඡේදයක් ලද සැණින් පෑන දුවන්නේ ඩෙස්කය මතටය. විටෙක ගී පද ලියවෙන සුරතින් විටෙක ඇඳෙන්නේ ඔබේ රුවමය.

“මොනාද අනේ ඔයා ඔය ලියන්නෙ පණ දාගෙන?”
අනපේක්ෂිතව නැගුණු මිතුරියගේ පැනයෙන් මම තිගැස්සුනෙමි.

“මොකුත් නෑ අනේ... නිකන් ඔහේ කම්මැලිකමට කුරුටු ගෑවා”

ඉන්පසු කවරෙකු හෝ එය දකිතැයි බියෙන් මම ම එය කටු ගා දමමි. ඇසින් නැගුණු කඳුළු බිඳ හෝ මුවින් නැගුණු හැඬුම් ස්වරයට ඈ සංවේදී නොවීම මට මහත් අස්වැසිල්ලකි. නැවතත් ඈ ඇගේ වැඩෙහිය. කටු ගෑ සටහන මත එය වැසෙන සේ සුරත තබාගෙන ඒ මතම හිස හොවාගතිමි. එය මහට සහනයකි.

“කම්මැලිකමට නිදා ගන්න වෙලේ පොතක් බලා ගත්ත නම් නරකද?”

නැවත ඊශානිගේ සුපුරුදු කරු කුරුවය. ඈ හට බිණීමටද මට රිසි නොවේ. මම එය නෑසුනා සේ හිඳිමි. ඔබ පිලිබඳ සිතුවිල්ලෙන් හිත පිරී ඇති විටෙක කවර නම් පොත් බැලීමක්ද? එයද වෙහෙසකර සේ දැනෙන අයුරකි.

බලාපොරොත්තු දල්වා බලා හුන් දවස හෙට !!!
                                                          ***
ධම්මික ගුරුතුමාගේ මැදිහත් වීම මත සාමාන්‍ය පෙළ සිසුන් සියල්ලන්ටම සාහිත්‍ය දින උත්සවයට සහභාගී වීමට අවස්ථාව සැලසිණි. උදෑසන 9 පමණ වන විට ධම්මික ගුරුතුමා සභාව අමතා ආරාධිත අමුත්තන් පැමිණ සිටින බවත් ස්වල්ප වේලාවකින් ඔවුන් ප්‍රධාන ශාලාව වෙත පැමිණෙනු ඇතැයි දැන්වීය.

පොල්තෙල් පහන් දල්වා පන්සිල් සමාදන්වීමෙන් අනතුරු උත්සවය ඇරඹිණ. හඳුන්වා දීමේ කතාවට අනුව පැමිණ සිටිනුයේ රත්න ශ්‍රී විජේසිංහ මහතාත් නාලක අංජන කුමාර මහතාත් ය. ඒ දෙපල සමඟ වියත් සංවාදයට මුල පිරුවේ අප පාසලේ ජ්‍යෙෂ්ඨ සිංහල ගුරු හේරත් මහතාය. රත්න ශ්‍රී මහතාගේ ගීත නිර්මාණයක් වන “පුන්සඳ රෑට ඇවිදින්” ගීතය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සාකච්ඡාව පටන් ගැනිණි.

රාත්‍රී හේන රැකීම සඳහා සිය තරුණ සැමියා නිවසින් පිටව ගිය පසු නිවසේ තනිවන තරුණ ගෙවිලියකගේ සිතුවිලි සමුදාය ගීතයකට කැටි කරන්නට උත්සහ කොට ඇති සෙයක් සාකච්ඡාවේදී කියවුණු කරුණු ඔස්සේ මම තේරුම් ගතිමි.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට

මේ දෙපදයෙන් කියවෙන අර්ථය වඩාත් මා සිත් ගත් අයුරකි. එනම් ගෙවිලිය තරුණ නිසාවෙන් වෙනත් තරුණයන්ගේ අවධානය ඇය කෙරෙහි යොමුව ඇති බවත් එය නතර කරන ලෙස කරන කාරුණික ඉල්ලීමක් මේ ගී දෙපදයෙන් ජනිත වෙයි.

අනතුරු තවත් අර්ථවත් ගීයක් සංවාදයට ලක් විය. එනම් “දවසක් පැල නැති හේනේ” ගීයයි. මා මිතුරියගේ ප්‍රියතම ගීයක් වූ බැවින් මෙතෙක් වෙලා මා සමඟ සිදුවූ කෙටි කතා බහද නවතා දැමූ ඈ මුළුමනින්ම ගීය හා එහි අර්ථය කෙරෙහි අවධානය යොමු කළාය. සංවාදය අතර මැද වරින් වර මට හැඬුම් ආ නමුදු ඉනූ කඳුළු බිඳු නෙත් තුළම සිර කර ගත් බවක් ඇය නුදුටුවේ එබැවිනි. වම් අතින් තදින් ගුලි කරගත් ලේන්සුව කොපමණ තෙත් වී ඇත්දැයි දන්නේ මගේ අතැඟිලි පමණකි.

ඒ සංවාදය අවසන පාසල් නිමවන හෝරාව එළඹියෙන් වියත් හරවත් දෙසුම් මැද සාහිත්‍ය දිනය නිමා විය.

“මොකද අනේ ඔයාගෙ මූණ කළු වෙලා. මේ ටිකේම ඔයා හරි අමුතුයි.”
ඊශානි මට නෝක්කාඩු කියන්නීය.

“ඔයාට පිස්සු. ඒ ඔයාට පේන හැටි. එහෙම දෙයක් නෑ” සත්‍ය වසන් කර ව්‍යාජ සිනාවක් ආටෝප කර ගනිමින් ඇගෙන් ගැළවීමට මමද පිළිතුරු දෙමි.
                                                          ***

පසු දින උදෑසන සිංහල ගුරුතුමා පංතියට පැමිණියේය.

“ළමයි, කොහොමද ඊයේ සාහිත්‍ය උත්සවේ?”
සුපුරුදු ගැඹුරු හඬින් ඔහු ප්‍රශ්න කරයි. ඒ හඬින් පිබිදුණු ළමෝ එය ඉතා විශිෂ්ඨ බව එක හඬින් කියා සිටියහ.

“ළමයි, ලබන බ්‍රහස්පතින්දා රෑ 10ට ස්වාධීන රූපවාහිනියේ මගේ ඇල්බම් එකේ වැඩසටහන පෙන්වනවා.”

පාඩම අවසානයේ නැවතත් හඬ අවදි කල ගුරුතුමා පැවසීය. මුවින් නොදෙඩුවත් සිනහවෙන් පිරී ඉතිරී යන ළපටි මුහුණු දැක ගුරුතුමා ප්‍රමෝදයට පත් වන අයුරු සියුම්ව නිරීක්ෂණය කළෙමි.
                                                          ***
“සර්, මම සර්ගේ ප්‍රෝග්‍රෑම් එක බැලුව.”

“ආ.. මේ මේ ළමයනේ.. ඉතින් කොහොමද හොඳයිද?”

“ගොඩක් ලස්සනයි සර්. ලස්සන සින්දු ටිකක්”

පංතියෙන් බැහැරව කිසියම් කටයුත්තක් සඳහා තනිව  පුස්තකාලය දෙසට ඇවිද යන මඟ හමුවූ සිංහල ගුරුතුමා වෙත එසේ කීවෙමි. ඔහු දසන් දක්වා මඳ සිනහවක් පෑවේය.

“මම දැක්ක කුරුණෑගලත් සර්ගෙ ඇල්බම් එකේ පෝස්ටර් අලවල තියෙනවා” ඔහුගේ පදිංචිය කුරුණෑගල බව වරක් අප සමඟ පැවසූ බව මට මතකය.

“ඔව්. එහෙ ඉතින් මගෙ ගමනෙ. ඔයා කොහෙද කුරුණෑගල ගියේ?”
ගුරුතුමා මගෙන් පැණයක් අසයි. එනමුදු මා නිසොල්මන්ය.

“ළමයෝ මම ඇහුවේ මොනාටද කුරුණෑගල ගියේ කියලා?”

නැවත ඒ පැනයමය. මෙතුවක් කල් කිසිවෙකුට හෙළි නොකළ රහස ඔහුට හෙළි කල යුතුද? නැද්ද? සිත දෙගිඩියාවකි. තවත් නිහඬව සිටිය නොහැක. ඔබ පිලිබඳ මගේ මනසේ කැකෑරෙන වේදනාව මෙසේ පිට අයෙකුට කිව යුතුද? නැද්ද? සිතට දිරි ගතිමි.

“අපේ අම්ම මාස එකහමාරක ඉඳං කුරුණෑගල හොස්පිට්ල් එකේ සර්....”

කියන්නට ආ දෙය මුව තුළම සඟවා ගත් ගුරුතුමා මොහොතකට නිහඬ විය.

පුන්සඳ රෑට ගීතය 


දවසක් පැල නැති හේනේ ගීතය






50 comments:

  1. "සාහිත්‍ය දිනය" ඉස්කෝලවල මෙහෙමත් දින සමරනවද ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. නැතුව නැතුව... ඔහොම සමරනවා දැකල නැද්ද?

      Delete
  2. හරි අමුතුයි නොවැ කතාව :0 ඇත්ත එකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත වගේ එකක් තමා... :)

      Delete
  3. මතු සම්බන්දයිද ? නිමී ද?...

    ReplyDelete
  4. ආ.. මේක කියවගෙන යද්දි මං හිතුවේ මං කොහොමද ගුරුවරයෙක් උනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔය නම තියෙන ගුරුවරු කොච්චර ඉන්නවද මල්ලි?

      Delete
  5. ඔය කියපු තේරුම හරි ඇති... මේකෙත් තියෙන්නේ එහෙම කතාවක්.. අර මම කියපු තේරුම එවෙලේ මගේ යාලුවට හිතුන දෙයක් වෙන්න ඇති.
    http://prasadthought.blogspot.com/2012/06/03-2012.html

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මාත් ලින්ක් එක බැලුවා... ඕක ඉතින් එදා කියපු තේරුමනේ සාහිත්‍ය දිනේ දී.....

      Delete
  6. සින්දු දෙකම අපි කාලයක් පැල් බැඳගෙන අහපු ඒවා. ඔන්න ආයෙත් ඇහුව. ලස්සනයි වගේම අර්ථවත්.

    ReplyDelete
    Replies
    1. මෙච්චර දිග පෝස්ට් එකේ සින්දු විතරද ඇහුවේ... කමක් නෑ.. වෙලාවට සිංදු 2 වත් දැම්මේ.. නැත්නම් හෙමීට යයි යන්න... :)))

      Delete
  7. මේක පටන් ගත්තෙ කොහෙන්ද කෙළවර වුනේ කොහෙන්ද? .... :)

    "ඈත ධූලින් වැසී ගිය ඇත් රජ යැ. මෑත ස වණක් ඝන රසින් සැදී ගිය බුදු රජාණෝ යැ .ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝ යැ. ඈත එබු එබු පයින් මහපොළොව පලාපියන්නාක් සේ දිවන ඇත් රජ යැ. මෑත එබු එබු පයින් මිහිකත සනහා සනහා වඩනා බුදු රජාණෝ යැ. ඈත බැලු බැලුවන් අනේ අනේ යි කියවන ඇත් රජ යැ. මෑත බැලු බැලුවන් සාධු සාධු යි කියවන බුදු රජාණෝ යැ....." මේ ටික මට කටපාඩම්.. ඒ කාලෙ මම බොහෝම මනාපයෙන් හිටපු විශයක් තමයි සාහිත්‍යය..

    ReplyDelete
    Replies
    1. අපිටත් තාම කෑලි බෑලි මතකයි පාඩම් කරපු :D

      "එබස් ඇසූ මාගේ ස්වාමි දරුවෝ සිනා පහළ කල කල්හි සතර දළදාවෙන් නැඟි සුදු බුදු රැස් කඳින් මුළු අහස ක්ෂීර සාගරය ගලන්නා සේ සුදු කෙරෙමින්"

      "ඉක්බිති ඇස් දැල්වී ගියේ කට දැල්වී ගියේ අක් පයින් නැඟී සිටින්නට වම්හ, සාදු සාදු කියන්නට වම්හ"

      Delete
    2. බෙර දවුල් සින්නම් ආදිය වුට්ටුම්හ කියලත් කෑලක් තියෙන්නෙ. සර් ඒක කියපු විදිහ තාමත් මතකයි..

      Delete
    3. අනේ අප්පොච්චියේ එච්චර නම් මතක නෑ මට... මතක ටික තමා ඔය දාල තියෙන්නේ.... දැන් අයියල දෙන්නගේ තරඟය ඉවරයි නේද?

      @හරී
      අගක් මුලක් හොයාගන්නත් බැරිද? කමක් නෑ ඔන්න ඔහේ නිකන් කියවල දාන්න...

      Delete
  8. ම්ම් දෙපාරක් විතර බලන්න උනා තේරුම් ගන්න...ඇත්ත සිද්ධියක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකක් තමා අක්කෙ...

      Delete
  9. දැං ඉස්කෝලවල සාහිත්‍ය දින තියනවා අඩුයි...
    විශේෂයෙන්ම කොලඹ පාසල් වල..

    ReplyDelete
    Replies
    1. ඔව්... අඩුයි තමා.. ඒත් ඉතින් අපි කොළඹත් නෙමෙයිනේ... තියෙනවා නම් හොඳයි... නොතියන එක ජාතික අපරාධයක්...

      Delete
  10. අඩේ අපි ඉස්කෝලේ නම් මෙහෙම සමරලාම නෑ.. අඩුම තරමේ සාහිත්‍ය දිනයක් තියෙනවද කියලාත් ගානක් නෑ..

    අර පුන්සඳ රෑට ඇවිදින් සිංදුවේ තේරුම වෙන දවසක ලියන්ඩ පුලුවන්ද අනූ ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ... වැඩක් නෑ වැඩක් නෑ...

      ඒ සින්දුවේ තේරුම උඩ රවින් අයිය දාපු කමෙන්ට් එකේ ලින්කුවෙන් බලා ගන්න අයියා....

      Delete
  11. දුක හිතෙන කතාවක්. අපේ කැම්පස් එකේ කලා උළෙලටත් ආවා රත්න ශ්‍රී මහත්තය ගිය සැරේ!

    ReplyDelete
    Replies
    1. අයියට දුක හිතුණද? අපේ ඉස්කෝලෙට ආවේ 2006

      Delete
  12. සංවේද කතාවක්. සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයට ලියලා තියෙනවා. අගෙයි

    ReplyDelete
    Replies
    1. පැමිණීම හා අගය කිරීම සතුටක්... ස්තුතියි....

      Delete
  13. හ්ම්ම්... අන්තිමට කියලා තියෙන ටික ඇත්තටම සිද්ධ වුණ දෙයක්ද? ....

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික විතරක් නෙවේ... :)

      Delete
  14. samahara than deparak kiyuwa therum ganna aththa siddiyakda yalu

    ReplyDelete
    Replies
    1. ඇත්ත වගේ තමා යාලු... පැමිණීම සතුටක්...

      Delete
  15. මොකෝ මෙහෙම දෙයක් ලියවුනේ එකපාර?? ම්...අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. එක පාරත් නෙමේ.. හිතල මතලා ලිව්ව එකක්.. අනේ මන්ද කිවේ මොකෝ?

      Delete
  16. හරිම අපුරුයි එ වගෙම අමුතුයි එ අමුත්තට මම අසයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔව් මල්ලි අමුත්තක් කළා මං...

      Delete
  17. ඔය සිංහල උගන්වපු ධම්මික සර් කියනනේ ධම්මික බණ්ඩාර නේද? මොනව වුනත් රත්න ශ්‍රී බාසාවෙන් පෙළහර පාන්නසේ සහ නාලක කියන්නේ ගිටාරයෙන් මෙන්ම ගායනයෙන්ද පෙලහර පාන සංගිතඥයෙක්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. වැඩ දන්න අයට බොරු බෑ කියන්නෙ ඒකනේ... මේ කිව්වෙ ධම්මික බණ්ඩාර සර් ගැන තමයි... අපි ඕ ලෙවල් පන්තියේ ඉද්දි 2006 සර් තමා සිංහල ඉගැන්නුවේ.. පුදුම ආසාවකින් ඉගෙන ගත්තේ.. සිංදු කියනවා හිටපු ගමන්...

      මේ කිව්වේ සර්ගේ "නිල්කැට වැස්ස" ඇල්බම් අවුට් කරන කාලේ සිද්ධියක්....

      Delete
  18. දුක හිතෙන කතාවක්.ඇත්ත එකක් එහෙම නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. අයියට දුක හිතුණද? සත්‍ය සහ මිත්‍යාව කලවම් කරලා පත අට එකට හින්දපු කතාවක්...

      Delete
  19. එකපාර තේරුම් ගන්න නම් අමාරු වුනා..
    කොහොම වුනත් අපූරු කතාවක් !!!
    ජය!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා... එක පාර තේරුම් ගන්න බැරි වෙන්න තමා ලිව්වේ... ස්තුතියි පැමිණීම සහ කොමෙන්ටුව වෙනුවෙන්...

      Delete
  20. ම්ම්ම්ම්.. ඒකත් එහෙමයි

    ReplyDelete
  21. ඒ ඇත්තටම වෙච්ච සීන් එකක් ද බන්?? :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඇත්ත වගේ එකක් තමා බං.... :(

      Delete
  22. මන් හිතනවා මේක ඇත්ත කතාවක් වෙන්න ඇති කියලා.
    ඔය වගේම අත්දැකීමක් මටත් තියෙනවා මගේ අම්මත් මාස එකහාමාරක් ඉස්පිරිතාලේ හිටියා ගොඩක් අමාරු වෙලා.මම තනියෙන් ඒ හැමදේටම මුහුණ දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඔයා හිතුවා හරි.... මේක 90% විතරම ඇත්ත කතාවක්...
      ළමයෙක් ඉස්කෝලේ යන, විභාග කරන කාලයක අම්ම කෙනෙක් ඉස්පිරිතාලේ යනවා කියන එක දරා ගන්න ලේසි දෙයක් නෙමේ...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..