ලෝකෙට ආපු අය

Thursday, April 18, 2013

ක්‍ෂිතිජ රේඛා - නවවන දිගහැරුම



අසෙල්ගේ පණිවිඩය කියවා සතුටට පත් යුවතිය ප්‍රසන්න හැඟීමෙන් නින්දට පිවිසියාය.

***

ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රවලට පසුගිය වතාවට වඩා විශ්වාසය ඇතිව සෙනුරි මුහුණ දුන්නාය. නිරන්තර ස්වයං අධ්‍යයනයේ යෙදීම සහ පන්ති වලට නොකඩවා සහභාගී වීම් ඊට හේතුවන්නට ඇත.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කෙරෙහිද මෙවර ඇගේ අවධානය යොමු විය.

"මේ පාර ගොඩ නේ?"

සෙනුරිගේ පාසල් මිතුරිය ලක්ෂි ඇසුවාය.  ඇය සෙනුරිගේ එකම මිතුරිය නොව සිටි මිතුරියන් අතර හොඳම තැනැත්තියයි.

"බලමු ලක්ෂි, ප්‍රථිපල එනකල් මොකුත් කියන්න බෑ කෙල්ලෙ.. නිකන් සාත්තර කියල කට වරද්දගන්න බෑනෙ"

"ඒකත් ඇත්ත තමයි සෙනුරි... මේ ඒක නෙමේ දැන් එක්සෑම් ඉවර එකේ මොනාද කරන්න ඉන්නෙ?"

"ම්ම්ම්...මම තාම ඒක ගැන කල්පනා කළේ නැහැ.. ගෙදර ගිහින් අම්ම එක්කත් කතා කරලා බලන්න ඕන"

බස් නැවතුමේදී මිතුරියට සමුදුන් යුවතිය නිවෙස බලා යාමට බසයට නැගුණාය. නිදහසේ යමක් කතා කිරීමට, සාකච්ඡා කිරීමට. සිත සැහැල්ලු කර ගැනීමට, සවන් දීමට කෙනෙකු සිටීම ඉතා හොඳය. එහෙත් හුදෙකලාව අවැසි තැන හුදකලාව ඊට වඩා අගනේය.

***

"සෙනුරි, ලොකුදුවේ... දැන් විභාගෙත් ඉවර එකේ ඉස්සරහට මොකද කරන්නෙ කියල හිතුවද?"

"ඒක තමයි අපෙ අම්මා මාත් කල්පනා කළේ... ලක්ෂි නං මට කොම්පියුටර් කෝස් එකක් ගැනත් කිව්වා..ඒක දවස් පහේමත් තියෙනවලු.."

"කවදද පටන් ගන්නෙ දුවේ?"

"තව සති දෙකෙන් පටන් ගන්නවලු අපෙ අම්මා.. බලන්නකො...විභාගෙට මැරීගෙන පාඩම් කරලා කරලා සතියෙන් ආයෙමත් පන්ති යන්න වෙනවනෙ"

යුවතිය මැසිවිලි නගද්දී ඇගේ මවගේ මුව කමල මත මඳහසක් නලියන්නේය.

"එහෙම තමයි ලොකූ... ඉගෙනගත්තොත් තමන්ටනේ.. මගෙ හොඳ දුව හොඳට හිතල බලන්නකො ඒකට යනවද නැද්ද කියල... තාත්තයි මායි මහන්සි වෙන්නෙ ඔය තුන්දෙනාට හොඳට උගන්නන්නනේ"

කාන්ති කීවාය. සෙනුරි හිස සැලුවාය.

***

දිනක් සෙනුරි සිය මව සහ පොඩ්ඩි සමඟ නිවසට මඳක් ඔබ්බෙන් පිහිටි වෙළඳසැලට ගියාය. ඔවුන් එයින් එළි බසින විටම ඇස් දෙක පමණක් නිරාවරණය වන සේ හිස් වැසුම් පැළඳි තරුණයින් දෙදෙනෙක් ඔවුන් අසල යතුරුපැදියක් නැවැත්වීය. භීතියට පත් මැදි වයසේ ගැහැණියත් යුවතියන් දෙදෙනාත් අඩිය ඉක්මන් කළහ.

"සෙනුරි"

පිටුපසින් හුරුපුරුදු කටහඬක් ඇසුණි. සෙනුරි මඳක් නැවතී හැරී බැලුවාය. පෙනෙන මානයේ ඈ හඳුනන කිසිවෙකු නැත. ඈ යළිත් ගමන ඇරඹුවාය.

යතුරු පැදිය යළිත් පණ ගැන්විණි. මෙවරද එය ඔවුන් තිදෙන අසල නැවතිණි.

"සෙනුරි.. මම නයන"

එසේ කියමින්ම ඔහු හිස් වැස්ම ඉවත් කළේය.

".. මේ ඔයානෙ.. අපි කට්ටියම හොඳටම බයවුණා. අපෙ අම්මා මේ නයන... අර අපේ වෙසක් නාට්ටියේ ප්‍රධාන නළුවා... අම්මට මතකද?"
"ආ.. මේ ඒ නළු බට්ටද?"

කටට ආ කියුම නතර කරගත නොහී පොඩ්ඩි තම අදහස ඉදිරිපත් කළාය.

"බට්ටා...කවුද නංගි බට්ටා...? මං නළු බට්ට නම් ඔයාලගෙ අක්කා නළු බට්ටි නේ.."

සෙනුරිට ලජ්ජා සිතුණි. සුහද වාදයේ නිමක් දකිනු වස් ඈ නයනගෙන් පැනයක් ඇසුවාය.

"ඉතින් නයන, කොහෙද මේ පැත්තේ?"

"ආ... මේ ඉන්නෙ විශ්ව.. මගෙ හොඳම යාළුවා... මෙයාල මේ කිට්ටුව ඉන්නෙ.. මං එහෙ ඇවිත් විශ්වත් එක්ක බයික් එකේ රවුමක් ගගහ ඉද්දි තමා ඔයාලව දැක්කේ.."


ඔවුන් ඒ කතා බස් කරන මොහොතේ අසෙල්ගේ පොඩි අක්කගේ සැමියා නොහොත් පොඩි මස්සිනා වන සාගරගේ යතුරුපැදිය ඔවුන් පසු කර යනු සෙනුරි දුටුවේ නැත. පාර අයිනේම සිටගෙන තවත් මොහොතක් සංවාදයේ යෙදුණු නයන ඔවුන්ට සමුදී විශ්ව කැටුව ඉදිරියට යතුරුපැදිය ධාවනය කළේය.

***

"සෙනුරි, ඉතින් දැන් මොකෝ කරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට... ඉංග්‍රීසි කෝස් එකක්... එහෙම නැත්නම් කොම්පියුටර් කෝස් එකක්..."

"ඒක තමයි අසෙල් අයියෙ, මං ලක්ෂි එක්ක කොම්පියුටර් පන්තියකට යන්න ඉන්නෙ ලබන සතියෙ ඉඳං.."

"ම්ම්... ඔව් ඒක හොඳයි... වෙලා තියෙන වෙලාවෙ ඉගෙන ගන්න ඕන... කෝස් එක කොච්චර කල්ද?"

"මාස හයයි. ඒක ඉවර වෙද්දි රිසල්ට් ඇවිත් කැම්පස් ඇප්ලිකේෂන් දාන කාලෙත් ඒවි."

යුවතිය කීවේ මහත් උද්‍යෝගයෙනි. විශ්ව විද්‍යාල සිහිනය ඇගේ සිත තුළද තෙරපෙනවා විය යුතුය.

"මට සෙනුරිට පුංචි කාරණාවක් කියන්න තියෙනවා"

අසෙල්ගේ කටහඬ එවර ගැඹුරුය.

"මොකක්ද අප්පේ ඒ?"

වැඩි ගණනකට නොගත් සෙනුරි ඇසුවාය.

"මට දැන් රෙකෝඩ් බාර් එකේ රස්සාව ඇති වෙලා අප්පා... මං ආයෙමත් මේක ඒ අයියටම බාර දෙන්න හිතුවා"

"එතකොට ඊට පස්සෙ?"

"පොඩ්ඩක් ඉන්නකො කියනකල්... ඒකට මා ගාව තියනවා පොඩි ප්ලෑන් එකක්..."



12 comments:

  1. කතාව නැගලා යනවා.

    ReplyDelete
    Replies
    1. අයිය පස් වෙනි සිල් පදය රකිනවා වගේ හතර වෙනි එකත් රකිනවා නම් ඉතින් කමක් නෑ... මටත් සතුටුයි...

      Delete
  2. නැගල නැගල නැගල යනවලුනේ... හොදයි හොදයි!!

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වෙ තුන් පාරක් නැගල යනවා කියල ඈ... :-?

      Delete
  3. මේ ඩබල චැට් කරන්නේ නැද්ද දැන් ඉන්න අනෙක් උන් වගේ. :)

    අන්තිමට තියන චිත්‍රය කාගේද..?

    ReplyDelete
    Replies
    1. හික් හික්... හැමෝම චැට් කරන්න ගත්තම ගතියක් නෑනේ.... මෙයාල චැට් කොරන්නෙ නෑලු... g-)

      අනේ මගේ නම් නෙමෙයි... උඹේද? :-SS

      Delete
  4. අනූගේ බ්ලොග් එක මට අප්ඩේට් වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඔයාට මම ෆේස්බුකියේ මැසේජ් එකක් දැම්ම ඒ ගැන... අයියා බැලුව නේද?

      Delete
  5. හ්ම්ම්ම්ම් ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  6. ඔයා ලියූ මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..