ලෝකෙට ආපු අය

Tuesday, January 31, 2012

තවත් එක් සිහිනයක් පමණයි


අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..


හදවතේ මාවතේ
කෙසේ නම් තනි වුණිද මා..
ඇතිය ගිලිහී සිහින මාගේ
අළු මෙන් තැනින් තැන විසිරි ...
නිදා සිටින්නට වූයෙන් සතුට
සැනසුම අහිමි වූ නියාව නම්..
ආදරය කිරීමේ වරදට ඔබට
විඳීමට සිදුවූයේ මටය දඬුවම්...


සිහිනයෙන් දිටිමි ඔබේ රුව මා...
සිහිනය වියැකී ගිය නමුදු
මතකය පමණක් සිත තුළ ඉතිරි වී ඇති සෙයකි..
ඊයේ කිසිවෙකු මා හා සිටියද
අද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි...
රිදුම් දෙන මතකය
සර්පයෙකු වී මහද සුසුම් තුළ අරක් ගෙන සිටී..


කොතරම් කටුක වුවද ම'පැතුම්
මෙසේ වූයේ මන්දැයි මට නොහැඟෙන අරුමයකි..
බොහෝ දුර යාමට තිබුණද
වෙහෙසට පත්ව ඇති සෙයකි මා...
ඉතින් නම් දැන් කොහේ කියා යන්නද
කවරෙකු නම් මා තේරුම් ගනීවිද..
මා පැතූ දෙය වෙනුවට
දෛවය කුමක් ලබා දුන්නාදැයි නොතේරේ..


ඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..
මගේ නෙතු කෙවෙනි යට
කඳුළු කොතරම්ද  සැඟවූයේ...
මහා දහවලකදී වුව
අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..

Monday, January 23, 2012

මළ මඟුලයි !!!

මේ ලිපියෙන් මම කියන්න හදන්නෙ දැනට සතියකට විතර කලින් මට සිද්ද වෙච්ච සිදුවීමක් ගැනයි.

මේ කතාවේ කතා නායකයාට මම නමක් දානවා සිරිපාල කියලා. ඇත්ත නම නම් නෙමෙයි.(ඇත්තටම ඇත්ත නම මම දන්නෙත් නෑ..) ඉතින් මේ සිරිපාල පෙනුමින් අවුරුදු හතළිහත් පැනපු මනුස්සයෙක් වගේ. එයා මීට අවුරුදු 10 කට 11 කට විතර උඩදී අපේ ගෙදර වත්තේ පොල් ලී  ඉරන්න ආවා මට මතකයි. ඒ කියන්නේ මම ඉස්කෝලේ 6,7 පන්ති වල ඉන්න කාලේ.. ඒ දවස් වල එයාගේ රස්සාව ඒක. හැඩරුව කියනවා නම් මේ මනුස්සයා මට වඩා මිටි.. සුද්ද සිංහලෙන් කිව්වොත් කොටෙක්.( ඒත් කාගෙවත් ශරීර ලක්ෂණ වලට අපහාස කරන්න මම කැමති නෑ. ඒ නිසා කොටා නොකිය සිරිපාලම කියන්නම්.) ඉතින් ඒ කාලෙදිත් සිරිපාලට වයස 30ත් පැනල වෙන්ටැ. කසාදයක් නම් කොරගෙන තිබුනෙ නෑ හැබැයි. ඒ කාලෙන් පස්සෙ සෑහෙන කාලෙකින් තමා සිරිපාලව මම දැක්කේ. තැපැල් නයින්ටියක ආවෙ. (ඒ කාලෙත් පොඩි බයික් එකක් තමා තිබ්බෙ. ලොකු ඒවා පදින්න බෑනේ ඉතින් එයාට වඩා බයික් එක ලොකුයිනේ.) එතරම් වෙනස් වෙලත් නෑ ඒ විදියම තමා.

ඉතින් මේ කියන දවසෙ ගෙදර උන්නෙ අම්මයි මායි විතරයි. මම ඉතින් පහුගිය ටිකේ ගෙදර වැඩ නේ.. හවස් වරුවේ වැඩ ඉවර කරල දාල කාමරේට වෙලා පොඩ්ඩක් නිවී හැනහිල්ලෙ ඉන්දැද්දී ඇහුණා බයික් එකක පුටු පුටුවක්.. හීං සැරේ ජනේලෙන් බැලුව කවුද කියල. බැලින්නම් සිරිපාල!!! අම්ම කුස්සිය පැත්තට ගිහින් උන්නෙ.. ඉතින් එයාම කතා කරයිනෙ කියල මාත් කාමරේට වෙලාම උන්නා. සෑහෙන වෙලාවක් ගියා. සෑහෙන වෙලාවක් කිව්වේ පැය බාගයක් විතර.. :) ම්හ්... සිරිපාල යන පාටක් නෑ.. දෙන්නම බර කසු කුසුව.. ඇහෙන්නෙත් නෑ ඇන්ටනාව දැම්මට, දුර වැඩි.... හැබැයි යන්තම් මට පෙනුණා මොනාදෝ ෆොටෝ වගයක් අම්මට පෙන්නනවා. කව්ද දන්නෙ මොනාද කියල. අම්ම එනකල්ම ඉන්න එපැයි අහගන්න. අජිනමොටෝ අපිට මොටෝ කියල මාත් හිටිය ඉතින් බකන්නිලාගෙන ඇඳට වෙලා. ඔන්න මම බලාගෙන හිටපු මොහොත උදාවුණා. සිරිපාල බයිසිමොටෝව ස්ටාට් කොරගෙන ගියා... මම දිව්ව ගෙයි පිටිපස්සට. (අපේ ගෙදර ප්‍රධාන දොර පිටිපස්සෙ දොර වන අතර ඉස්සරහ දොර විශේෂ අවස්ථා වලදී පමණක් විවෘත කරනු ලැබේ.) අම්මා තාම කුස්සියේ.


මම : අම්මේ, සිරිපාල මොකටද ආවෙ?
අම්මා : සිරිපාල දැන් මඟුල් කපුකම් කරනවලුනේ.
මම :  දැන් පොල් ලී ඉරන්නෙ නෑලුද?
අම්මා : ඔව්ලු.. දැන් ඒක නවත්තලලු.
මම : හ්ම්ම්..අනුන්ට කපුකම් කරන්න කලින් ඒ මනුස්සය කසාද බැඳලද?
අම්මා : ගිය අවුරුද්දෙ බැන්දලු ඇටෙන්ඩන්ට් කෙනෙක්ව...
මම : හ්ම්ම්... එහෙමද? ඉතින් මොකෝ මෙහෙ ඇවිත් තියෙන්නෙ?
අම්මා : මඟුලක් කතා කරන්න.
මම : මඟුලක් කතා කරන්න ???? කාටද චූටි අයියටද?
අම්මා : නෑ නෑ ඔයාට...
මම : ඈ... මට????? (බිබී උන්න වතුර ටිකත් හිර උනා වගේ) මට මොන මඟුල්ද අම්මෙ?
අම්මා : මම කිව්වා ඔයා තාම ඉගෙන ගන්නව කියල...
මම : අම්මෝ ඇති යන්තම්. සිරිපාලට පිස්සුද කොහෙද?
අම්මා : ඔයාට කතා කරන්න ආපු කොල්ල බැංකුවෙලු වැඩ, අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුලු, කෙල්ලට රස්සාවක් ඕන නෑලු, හැබැයි උගත්කම ඕනලු... 
(ඔන්න අම්ම කියපු හෑල්ල)
මම : අනේ මට නම් ඕන නෑ... 
අම්මා : සිරිපාලට ඒ කොල්ලට කෙල්ලෙක් හොයද්දි ඔයාව මතක් උනාලු, ඒ දවස් වල අපේ ගෙදර පොඩි ගෑණු ළමයෙක් උන්න මතකලු, බෞද්ධ අයට විතරලු කපුකම් කරන්නෙත්...
මම : මොනාද අර ෆොටෝ වගයක් පෙන්නුවේ? 
අම්මා : ආහ්, ඒ මනමාලයෝ හොයන්න දීල තියෙන කෙල්ලන්ගෙ ෆොටෝලු. මට පෙන්නුව එක එක වයස් කාන්ඩෙ... වයස 25 කෙල්ලො, 28 කෙල්ලො, 32 කෙල්ලො, 36 කෙල්ලො.. තව 45 කෙල්ලෙකුත් පෙන්නුවා...
මම : අපෝ... 45 ක් ගිහින් බැඳලා මොකටද අප්පා.. ඉතුරු ටිකත් ඔහොම්ම හිටිය නම් ඉවරනේ...

දැන් දෙබස ඉවරයි... :)

කොහොමද සිරිපාලගේ මතකෙ... අවුරුදු 10 කින් වත් දැකල නැති මාව ටාර් ගාල මතක් වෙලා, පුදුමෙ කියන්නෙ  මේ මනුස්සය අහල අම්මගෙන් දැන් මට 22 ක් විතර ඇති නේද කියලත්.. හෆ්ෆේ, මට පුදුම අපේ තාත්තටවත් මගේ වයස මතකද මන්ද... අයියෝ සල්ලි.. මට තවම 22 ක් නෑ...... මේ අවුරුද්දෙ තමා 22 ලබන්නෙ.

ම්ම්ම්.. අවුරුද්දෙ මාස 12 න් ලස්සනම මාසෙ තමා මගේ උපන්දිනේ තියෙන්නෙ.. පුළුවන් නම් කියන්ඩලාකෝ බලන්න....

ඉතින් ඔය සිදුවීම සෑහෙන වෙලාවක් යනකල් කියව කියව හිනා වෙවී උන්න ගෙදර කස්ටිය.. :)





Thursday, January 19, 2012

පොරොන්දුව


මා හද සනසමින්
තෙපලමින් මුදු වදන්
දයාබර...
කෙසේ අමතක වේද මා හට
නුඹම දුන් ඒ අරුම ප්‍රේමය

මහද පුදසුන ඔබටම
සදා කැපකර...
බලා හිඳිමි මම
එනතුරා 
අපට (අ)හිමි
සොඳුරු වසන්තය
පැතුමන් පිරුණු දෑසින්...

මගේ සවනත නිබඳ රැව් දෙන
නේක රැවුම් ගෙරවුම් වල
නිමක් නැති මුත්,
පියමනිමි මම දිරිය ගෙන
මේ රුදුරු දිවි මාවතේ...
සදා ඔබ මා පසුපස
හිඳී නම් සෙවණැල්ල සේ...

ප.ලි - මේක මම දැනට අවුරුදු 2 කට විතර කලින් ලියපු එකක්.. අද මට හම්බුණා.ඔන්න දැම්ම ඔයාලටත් බලන්න.

Friday, January 13, 2012

වැඩිපුරම කැමති?

මම ඔය ගෙදරට වෙලා ඉන්න අතරේ මට එක එක පිස්සු විකාර කල්පනා වෙනවා නේ.. ඉතින් මේකත්  එහෙම මතක වෙච්ච පිස්සු කේස් එකක් තමා. මේක රස්සා කරන අයට ඒ තරම් අදාළ නෑ. ඒත් ඉගෙන ගන්න අයට වැදගත් දේවල් කීපයක් ගැන තමා මම අහන්නේ. ඒවත් හරිම සිම්පල් ඒවා.. රස්සා කරන අය උනත් හිතෙන් පොඩි වෙලා හරි උත්තර දුන්නට අවුලක් නෑ. දැන් මගේ ප්‍රශ්නේ....

ඔයාට වැඩියෙන් වටින්නේ 

1.පැන්සලක්
2. මකනයක්
3. අඩි රූලක්



ම්ම්ම්... තව කියන්න ඕන මේ පැන්සල එකක් රතු පාට මෝස්‌තර තියෙන එකක්... අනික කහ පාට මෝස්‌තර තියෙන එකක්. 

මකනයත් ඒ වගේම රතු පාට කවරයක් තියන එකක් අනික කහ පාට මෝස්තරේ...

 පැන්සල් දෙකම එක පාර ගන්න බෑ. මකන දෙකම එක පාර ගන්නත් බෑ. ( කරුමෙට මගේ ආසම පාට නම් නෑ) 

එතකොට අඩි රූල එහා මෙහා කරද්දී රූප දෙකක් පේන එකක්. 

දැන් ඔය අය්යල අක්කල නංගිලා මල්ලිලා මට කියන්න බලන්න මේ කියන ද්‍රව්‍ය තුනෙන් එකක් තෝර ගන්න කිව්වොත් ඔයාල තෝරාගන්න දේ මොකක්ද? නිකන්ම බෑ, හේතුවකුත් ඕන.. 

මගේ පිළිතුර දවස් දෙකකින්... 

Wednesday, January 11, 2012

එපා නම් මට එපාමයි


මේ දවස් වල මගේ ආදරණීය අම්මට ටිකක් අසනීපයි. එයාව සාලේ ලෙස්සල වැටිලා.. දැන් තෙල් බඳිනවා..එක උනේ පහුගිය සිකුරාදා හවස් වරුවේ. හවස කිව්වට හවසමත් නෙමේ. රෑ 7.20 ට විතර.ලෑන්ඩ් ෆෝන් එකට ආපු කෝල් එකක් ආන්සර් කරන්න ගිහින් තමා ඕක උනේ.

අම්ම සාලේ 7 ප්‍රවෘත්ති බල බල උන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන කෝල් මම ගන්නේ නෑ. වෙන කවුරුත්ම නැත්නම් තමා මම ගන්නේ.. ඉතින් එදා උනෙත් ඒකමයි. මම කාමරේ ඇඳට වෙලා ඉද්දි සාලේ උන්නු අම්ම තමා කෝල් එක ගන්න ගියේ.. යන්න හම්බුනේ නෑ එයාට මම ඉන්න කාමරේ පහු කරන්. ( සාලෙන් එද්දිම ඊළඟට පහු වෙන කාමරෙයි මම හිටියේ) අනේ මගේ අම්මව  දඩාස් ගාල වැටුණා!! ඒ අස්සේ එයා මට කෑගහනවා ගිහින් ෆෝන් එක ගන්නකියලා..මට දැන් ෆෝන් එකේ සිහිය නෙමේ තියෙන්නෙ අම්මගෙ සිහිය. කවුද දන්නෙත් නෑනේ කියල ෆෝන් එක ගාවට දිව්වා. සුදූ, අම්මයි ඔයයි ලෑස්ති වෙලා ඉන්න, මම ආවම දොස්තර නොනලගේ ගෙදර පිරිතට යන්න. කෝල් එක තාත්තාගෙන්. විස්තරයක් කියන්නත් කලින් කෝල් එක කට් කරපු නිසා මම ආයේ කෝල් කරන්න ගියෙත් නෑ. අම්ම ගාවටයි දිව්වෙ. අනේ මගේ දෙවියනේ! අම්ම තාමත් බිම. එයාට නැගිට ගන්න බැහැ. වේදනාවෙන් හෙමීට අඬනවා මට ඇහෙනවා. මගේ අම්මට දණිස් අමාරු. ඉතින් වැටුනොත් කවුරු හරි නැගිට්ටන්නම ඕන. මම තමා අම්මව බිමින් උස්සල අරගෙන වත්තම් කරගෙන මම නිදාගෙන හිටපු ඇඳට එක්කන් ගියේ. තාත්ත ගෙදර ආවට පස්සේ  අම්ම කැමති උනේ නෑ පිරිත් ගෙදර නොගිහින් ඉන්න. (එය හුඟක් ආගමට දහමට ලැදි) ඉතින් අම්ම මට කිව්වා තාත්තට කියන්න එපා කියල. කොහොම හරි එයාල පිරිත් ගෙදර ගිහින් එද්දී මම සැපට නිදි. ඒත් අම්මල ආවම මට ඇහැරුණා. මොකද මම නිදා ගන්නෙ අම්මගෙ කාමරේ.

පහුවදා සෙනසුරාදා උදේ බලද්දී කකුල ඉදිමිලා.. හොඳටම... දම් පාට වෙලා.. අනේ මගේ අහිංසක අම්මා පව්.. එදා දවසෙම අම්ම ඇඳේමයි. මම උදේ 5.45 ට විතර නැඟිටලා අපේ කුස්සියේ දර ලිපේ අළු අස් කරල, කට්ටියටම කිරි හදල දීල, උයන්න පටන් ගත්තා. (මොනාද ඉව්වේ කියල නම් අහන්න එපා දැන් මතක නෑ) ඉතින් හවස තමා යන්න උනේ වෙද මහත්තයා ගාවට. ගියාම එයා කකුල පරික්ෂා කරල කිව්වෙ මහපට ඇඟිල්ල කෙටිල කියලා. තැවිල්ලකුයි  මැල්ලුමකුයි ලියල දුන්න බේත් තෙල් බෝතලේකුත් දුන්න. ඉතින් ඒ ගමන්ම අපේ මාමලාගේ ගෙදර ගිහින් අවශ්‍ය කරන බේත් ටික හොයාගෙන ආවෙ පහුවදා උදේ ඉඳල වත් පටන් ගන්න කියලයි.

ඉතින් සෙනසුරාදා උදේ සිට මේ වන තුරුත් මගේ කාරිය පාන්දර නැගිට කිරි හැදීම, බත් මාලුපිනි ඉවීම, අම්මගෙ- මගේ සහ තාත්තාගේ රෙදි සේදීම, හවස මාළුපිණි රත් කර වළන් සේදීම, රෑට බත් ඉවීම, ගෙදර වැඩ කරන මාමාට ඕනා වෙලාවක තේ හදා දීම ඇතුළුව මෙකී නොකී සියළුම ගෙදර වැඩ. කොටින්ම hawamahawama." ෆෝන් එක ගාවට දිව්වා. "අම්මගෙ බත් එකයි වතුර එකයි පවා මමමයි ලඟට ගිහින් දෙන්නේ.. ඔය කියපු වැඩ වලට අමතරව ඉරිදා උදේ ඉඳං තවත් වැඩක් එකතු උණා.අම්මගෙ බේත් තැම්බීම, තැවීම, තෙල් ගෑම, මැල්ලුම මලවා කකුලේ බැඳීම ... උදේ හවස දෙකේම. ගෙදරම වැඩ තනියමම කරන්න උනාමයි ඒකෙ අමාරුව තේරුණේ..

ඒත් මම ඒක දුකක් කරදරයක් කියල හිතුවේ නෑ... මගේ සුදුරයක් කියල හිතුවේ නෑ... මගේ සුදූ අම්මට මෙහෙමවත් මට උදව් කරන්න ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද කියලයි මම හිතුවේ. ඉතින් ඒකාකාරී හා අවිවේකී බව නිසාම මට දවස් 2 ක් විත‍ර බ්ලොග් එක බලන්නත් බැරි උණා. ඊයෙ මම නිදාගද්දී ගොඩක් රෑ වෙලා. මම දන්නෙම නැතුව ලැපී ඉස්සරහ මට නින්ද ගිහින්. ඉතින් මේක බල බල ඉන්න වෙලාවක් නෑ. පාන්දර ගෙදර වැඩ කරන්න නැගිටින්න එපැයි.

දවස තිස්සෙම දුවල පැනල මහන්සි වෙලා රෑට මේකට ආවහම ඊයෙ බලපු පෝස්ට් එකකින් මම හුඟක් දුක් උණා. (දැන් කිසිම කෙනෙක් කරුණාකරලා මගෙන් අහන්න එපා මොකක්ද පෝස්ට් එක, කව්ද එයා, මොකක්ද ලින්ක් එක) ඒ කෙනා මගේ බ්ලොග ෆලෝ කරනවා, ඒ වගේම මාත් එයාගේ බ්ලොග ෆලෝ කරනවා. ඉතින් දුක හිතෙන දේවල් වලින් ඈත් වීමනේ හොඳම දේ.. ඒ නිසා මට එයාට කියන්න ඕන මම ආයේ ඒ පැත්තට එන්නෙ නෑ, ඔයා මගේ බ්ලොගට කමෙන්ට් නොකලට කිසි අවුලකුත් නෑ කියල. මොකද  ඔයා කමෙන්ට් නොකළ කියල මහා වෙනසක් වෙන්නේ නෑ. අනික ඔයාට මට වඩා ෆලෝවර්ස්ලා ඉන්නවානේ.

කවුරු හරි මේක කියවන කෙනෙක් හිතාවි මම මේක හිතේ තරහින් ලියපු එකක්ය කියලා. නෑ... මම මේක ලියන්නෙ හුඟක් කණගාටුවෙන්. අපේ චූටි අය්යාගේ වයසෙ මම අය්යා කෙනෙක් විදියට හිතපු කෙනෙක් එයා. සහෝදරයා, වයස 21 ක් උනාට මගේ හිත තාම පුංචියි, ඒ පුංචි හිතට සතුටට වඩා දුක හොඳින් දැනෙනවා. ඉතින් එයා ගැන එපමණයි. (සමාවෙන්න, ඔයාව අහු වෙන විදියේ කිසි දෙයක් මම මේකේ ලියලා නෑ)

මම දැන් යනවා. මොකද හෙට උදේ පාන්දර ඉඳං මට ආයෙත් ඩියුටි තියෙනවා...දැන් මම යන්නේ මගේ ආදරණීය අම්ම ගාවින් පොඩ්ඩක් ඇළ වෙන්න. මෙතෙක් කියෙව්වට ඔබට ස්තුතියි.

ප.ලි: කවුද කියල මගෙන් අහන්න නම් එපා කිසි කෙනෙක්, මම මේ කියපු කෙනා බට ලයිට් නෙමේ නම් එයාට තේරේවි.

Tuesday, January 10, 2012

එයා(ර්)ටෙල්


මේ දවස් වල ටී.වී එකේ යන ඇඩ් එකක් ගැනයි අද මගේ කතාව. මම ඔහෙ ආවට ගියාට නෙ ඕක බලන්නෙ. ඉතින් මේක කොයි කාලෙ ඉඳං යනවද කියන්න මම දන්නෙ නෑ. අනික මේ පොස්ට් එක දාන්න හිටියෙත් මීට දවස් තුනකට විතර උඩදියි. ඒ මම මේ ඇඩ් එක දැකපු මුල්ම දවස.. දැන් කට්ටිය විහිලු කරන්න එපා හරි?   කොහොමින් කොහොමින් හරි මඟ හැරුනා.. ඉතින් පරක්කු වෙලා හරි මට මේ පොස්ට් එක දාන්නම ඕන උනා.ඇති වැල් වටාරම්. කතාවට බහිමු.

මම කියන්න හදන්නෙ  එයර්ටෙල් ඇඩ්  එක ගැන. ඔයා ටීවී බලනව නම් මේක දැකල ඇති.. ඒකෙ තියෙන්නෙ බොහොම සුන්දර  අත්දැකීමක්.



මෙන්න මෙහෙමයි සීන් එක. ( මේ කියන්නෙ දන්න අයට නෙමේ, මං වගෙ කරුමෙට ටී.වී නොබලන උන්ට.) ඇත්තටම මේක ඉන්දියාවෙ හදපු එකක්නෙ. ලංකාවෙ සම්පුර්න ඇඩ් එකම පෙන්නන්නෙ නෑ..You Tube එකේ නම් මුළු ඇඩ්  එකම බැලිය හැකි. මම කතා කරන්නෙ ලංකාවෙ පෙන්නන කොටස ගැන විතරයි. ඒ ඇඩ්  එකේ එක සිද්ධියක් මගෙ හිතට හොඳින්ම දැනෙනවා. ඔයාලටත් එහෙමද බලන්න.






පන්ති කමරෙක කොල්ලො කෙල්ලො පිස්සු නට නට ඉන්නවා. ඒ අතරෙ එක කොල්ලෙක් ගිහින් ඊළඟට උගන්නන්න එන සර්ගෙ කාටුන් ෆොටෝ එකක් බෝඩ් එකෙ අඳිනවා. ඇඳලා මොකුත් දන්නෙ නෑ වගේ වාඩිවෙනව. ඔන්න තව ටිකකින් සර් පන්තියට ඇවිත් බෝඩ්  එකදැකල බෙරිහන් දෙනව “කව්ද මේක ඇන්දේ?” කියල. ඇඳපු එකා ටිකක් බය වෙලා වගෙ. ටිකක් වෙලා යනකල් කවුරුත් අත උස්සන්නෙ නෑ.. ඊට පස්සෙ එක කොල්ලෙක් අත උස්සනව. ඔන්න ඊට   පස්සෙ මුලු පන්තියෙම ළමයි ටික අත් උස්සනවා. එතනින් ඇඩ් එක ඉවරයි. පහල තියෙන්නේ ඇඩ්එක තමා..

මේක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් හදපු එකක් වෙන්න පුලුවන්. ඒත් මේකෙන් ලොකු දෙයක් කියවෙනවා. ‍යාලුවෙක් කරදරේ වැටුන වෙලාවක එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මුලු පන්තියකම ළමයි ඉන්නවා කියන්නෙ ඒ එකිනෙකා අතර කොයි තරම් නම් යාළුකමක් තියෙන්න ඕනද? ටිකක් ඔයාගෙ යාලුවො ගැන කල්පනා කරල බලන්න. අර වගෙ අවස්ථාවකට ඔයා පත් වුනොත් ඔයාව බේරගන්න කීදෙනෙක් ඉන්නවද ඔයාව සර්ට අහු කරල දෙන්න, “සර්, මෙයා තමා ඇන්දේ ” කියල කියන්න කීයක් ඉඳීද? අපි හැමෝටම යාළුවො කියන්නෙ ගොඩක් සමීප කට්ටියක්. හැබැයි එයාල කොයි විදියෙ අයද කියල හොඳට තේරුම් අරන් ඒ ඒ පුද්ගලයා අනුව තම අපි වැඩ කරන්න ඕන..

"මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත්නේ මචං"

ලා..ලාලා.. ලලලල ලාලා.. ලලලල ලලලා ලාලලා...

මේ පෝස්ට් එක ලිව්වෙ එයාර්ටෙල් ප්‍රමෝට් කරන්න නෙමේ ඕන්. ලංකාවෙ අපිට නම් ඩයලොග් තමා..

Wednesday, January 4, 2012

දවස් දෙකක් කඩේක වැඩ


දෙයියනේ කියල අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම දාන පෝස්ට් එකෙන් ඉතාම මෑතකදී මම ලබපු අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.තාම සති 2 ක විතර නේද ගියේ නත්තල් පහු වෙලා.ඒ තරම් නැද්ද මන්ද, කොහොමහරි මේ පෝස්ට් එකට හේතු වෙච්ච සිද්ධිය උනේ පහුගිය දෙසැම්බර් 24 සහ 25 වෙනිදා හරිද..
25 වෙනිදා රෑනේ රිසල්ට් ආවේ. අනික ඒ දවස් වල හැමෝටමත් නිවාඩුනේ.ගෙදරට වෙලත් හරිම කම්මැලි කමේ උන්නේ. අපේ ටවුන් එකත් කතෝලික බහුතරයක් වෙච්චි එකේ මට හිතුන නත්තල් දවස් දෙකේ කඩේක වැඩ කරලා බලන්න.( නිකන් නෙමේ සල්ලි වලට.) ඉතින් මම ඔය හවස් වරුවක ටවුන් එකේ සවාරියක් දාන ගමන් ටිකක් ලොකු සිල්ලර කඩේකට ගිහින් මුදලාලිගෙන් ඇහුවා නත්තල් දායි ඊට කලින් දවසෙයි කඩේ වැඩට එන්න..මුදලාලිත් කැමති උනා දවසට රු 700 ගානේ දවස් 2 ට  1400 ක් මට ගෙවන්න..ඉතින් මාත් හා කියල ගෙදර ගිහින් අම්මට කිව්වා මෙහෙම,

අම්මේ,මම 24,25යි යනවා ####### කඩේට. මම මුදලාලිගෙන් අහල ආවේ.

ඒ ගමන අම්ම  මට කියනවා..

අනේ හැබෑට මේ ළමයට වෙලා තියෙන දෙයක්..හා හා කමක් නෑ.මම තාත්තට කියන්නම්කො ගිහින් දාන්න කියලා

(අම්ම එහෙම කිව්වට ඉතින් දවස් 2 ට පඩි නෙ... J නේද ??) ඔන්‍න‍ ඉතින් 24 වෙනිදත් උනා. මාත් ඉතින් තාත්තට කියල උදේ 8  වෙද්දී කඩේ ගාවට ගිහින් දම්ම ගත්තා. හැබැයි පයින් යන්නත් බැරි දුරක් නෙමේ.. එතකොටත් මුදලාලි ඇවිත්. මම ආපු ගමන් කොස්ස අරගෙන කඩේ ඇතුළ අතු ගෑවා. ඒකෙ තව වැඩ කරන්නෙ අයිය කෙනෙකුයි අක්ක කෙනෙකුයි විතරයි. අක්කා එහෙ පැත්තේ රොටී කඩේ උදේට කෑම කකා හිටියේ.. අතුගාල ඉවර වෙලා, කඩේ ඇතුළ අස් පස් කරලා කඩේ අරිනකොට 8.30 විතර උනා. අක්කත් ඒ ගමන්ම වගේ ආවා.. ටික වෙලාවක් යද්දී කස්ටමර්ස් ලා එන්න ගත්තා. 24 වෙනිදනේ. නත්තල් සම්බන්ධ බඩු තමා වැඩි හරියක් කස්ටිය ඉල්ලන්නේ.. මට දැන් කේක් හදන බඩු ලැයිස්තුව කට පාඩම්. නෝනලා එනවා එක එක මොස්තරේ ඇඳුම් ඇඳගෙන කේක් බඩු ගන්න. පිටි, සීනි, බිත්තර, ඇස්ට්‍රා, ප්ලම්ස්,රට ඉඳි ,තෙල් කඩදාසි...ම්ම්ම් ඔව්වනේ සාමාන්‍යයෙන් ගන්නේ. සමහර කට්ටිය එක එක විකාර දානවනෙ තව. (මං නම් ආසා නෑ ඒවාට.මට නිකන් බටර් කේක් තරං කිසිම කේක් එකක් රහ නෑ)  චෙරිෂ් කියයි කරන්ස් කියයි මුද්‍රික කියයි කැන්ඩි පීල් කියයි.. මට නම් එලෝ විකාරෙන් මෙලොව අත ගානවා වගේ ඔය කේක් බඩු දැමිල්ල. මම දන්න ඇති කැන්ඩි පීලක් නෑ. ඉතින් මගේ වැඩේ අක්කට කෑ ගහල අහනවා

අක්කේ, මේ කේක් බඩු කොහෙද තියෙන්නේ?”

ඉතින් අපරාදේ කියන්න බෑ ඒකිත් හරි හොඳ කෙල්ල. කර කර උන්න වැඩේ දමල ගහල දුවගෙන එනවා මගේ සපෝර්ට් එකට. මම ඉතින් සෑහෙන්න දුෂ්කර ක්‍රියාවක් කරලා බඩු ටික හොයාගෙන දාලා දෙනවා. එදාම කඩේක වැඩට ගිය මං දන්නවයි කොහේ කොහේ නම් ඔය බඩු භාණ්ඩ තියෙනවද කියල.. ශෝක් වැඩේ කියන්නේ ඉතින් තෙල් කඩදාසි තියෙන්නේ 2 නි තට්ටුවේ. ඉතින් කවුරුහරි තෙල් කඩදාසි ඉල්ලපු ගමන් මම තමා උඩට දුවල ගිහින් අරන් එන්න ඕන.. ඉතින් වැඩිපුර ගෙනත් තියාගන්න දෙන්නෙත් නෑනෙ මුදලාලි, ඉල්ලන ඉල්ලන සැරේට ගිහින් ගේන්න ඕන. එදා දවසට ඒකට විතරක් කී පාරක් උඩ තට්ටුවට ගියාද කියල මට  මතකත් නෑ. J බෑ කියන්නත් බෑනේ ඉතින් මම පඩියට හරියන්න වැඩ කරන්නත් එපැයි. එක පාරක් මම කැන්ඩි පීල් දාන්න ගොහින් නෑවා. ඒක දැකල සුරංග අයිය කියනවා

මට කිව්වනම් දාලා දෙනවනේ නංගි

කියලා. මාත් ඉතින් බොහොම අහිංසක හිනා පාරක් දාලා එතනින් කැපුනා.(සුරංග කියන්නේ ඒකෙ වැඩ කරන අයියගේ නම) කොල්ලො කුරුට්ටො එනවා රතික්ඤා, අහස කූරු, බඹර චක්කර අරන් යන්න. වැඩිහිටි පිරිමි අය නම් එන්නෙම ගෝල්ඩ් ලීෆ්, බ්‍රිස්ටල් අහගෙන තමා. මොකද මුළු ටවුමටම සිගරට් විකුණන කඩ 2 යි තියෙන්නේ. අනිත් ඒවල සිගරට් නෑ. ආපු පිරිමි අයගෙන් 90 % ක් විතරම ආවේ ඒකට විතරමයි. මේ ගැන වැඩිපුර ලියන්න ඕන නෑ කියල මට හිතෙනවා. (මම නම් අකමැතිම දෙයක් තමා සිගරට්) කොහොමත් ඒ අංශය කඩේ වැඩ කරන අයට අදාළ නැති අංශයක්. අපිට ඒවා දෙන්න තහනම්. මුදලාලි මොකක්හරි වෙන වැඩක හිටියොත් කොයි වෙලේ හරි එයා දෙනකන් මිස අපි දෙන්නේ නෑ. තව 24 වෙනිදා ප්‍රධාන වශයෙන් විකිණිච්ච දෙයක් තමා කොකාකෝලා සතුට බෝ කරන්න අරන් යන ඒවාසහ ස්ප්‍රයිට් ( ඒක නම් මගේ ප්‍රියතම බීම -ඇල් වතුර හැරුණම J)... තව සමහර මහත්හොරු සෝඩා, බීම බොන කප් එහෙමත් අරන් යනවා.. අපිත් ඉතින් මොකුත් තේරෙන්නෙ නෑ වගේ ඉල්ලන බඩු ටික දීල බලන් ඉන්නවා.
ඒ අස්සෙ මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ හිටපු නංගිලා මල්ලිලා- අය්යල අක්කලා එහෙමත් එනවා ඒ කඩේට. මට ලැජ්ජාවේ බෑ. ඇයි ඉතින් එයාල දන්නවයි මම මේ ජොලියට කරන වැඩක්ය කියල.. උන් හිතනවා ඇති මම දැන් කඩේක රස්සාව කරනවා කියලා. කමක් නෑ. මාත් ඉතින් ශේප් එකේ හිනාවක් දාලා මාරු වෙනවා. නැත්නම් අනම් මනං කියවන්න ගිහින් අන්තිමට මුදලාලි ගෙන් හොඳට අහ ගන්නයි වෙන්නේ.
කොච්චර උනත් ඒ කඩේ මුදලාලිට නම් පුදුම හදිස්සියක් තියෙන්නේ. කස්ටමර්ස් ලාටත් වඩා හදිස්සි එයාට.  සැරින් සැරේ මටත් සැර දානවා.

ළමයෝ,අර මිනිස්සු මොනාද බලනවා.. ටිකක් එතනට ගිහින් බලන්න.

දැන් ඔයාල බලයි ඒක තරහින් කියපු එකක් වෙන්න බෑනේ.ඔය අපූරුවට කියල තියෙන්නෙ කියල. ඒත් ඉතිං ඒක මට කියපු ටෝන් එක අනුව තමා ඒක හිතාගන්න වෙන්නේ. (පොඩ්ඩක් ට්‍රයි කොරලා බලන්ඩලකෝ  මුදලාලි කෙනෙක් වැඩකාරයෙක්ට කියන විදියට ඒක කියන්න) තරහත් ගියා මට ඒත් කට තදීන් පියාගෙන හිටිය මම. අක්ක කිව්වා;

මුදලාලි ඔහොම තමා. ගණන් ගන්න එපා නංගි

කියල. මුදලාලිට අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් කොයිම වෙලාවකවත් වැඩක් නැතුව කතා කර කර උන්නොත් යකා නඟිනවා. ඒ නිසා එකක් ඉවර වෙද්දී තව වැඩක්. ඒක ඉවර වෙන්න කලින් තව වැඩක්.. ඒ විදියට අපිට වැඩ පැවරුවා. එක මොහොතක් නිකන් ඉන්න දුන්නෙ නෑ. එක විනාඩියක් වාඩිවෙන්න දුන්නෙ නෑ.

කෙල්ලේ, මේ හිස් බීම බෝතල් ටික උඩ තියෙන කේස් එකට දාලා අලුත් ඒවා ගෙනත් ෆ්‍රිජ් එකෙන් දාපං

කෙල්ලෙ, මේ කාඩ්බෝඩ් පෙට්ටි ටික තියෙන තැනින් අඩුක් කරපං (තරහ ගිහින් ඉන්න වෙලාවට බාසාව.)

දුවේ, ඔය චොක්ලට් බිස්කට් කේස් එක ගහලා ඉවර වෙලා මේ සන්ලයිට් කේස් එකත් ගහල දාන්න (මේ තරහ නිවුනම)

මොනා කියල හරි එයාට ඕනේ හැමවෙලේම වැඩම කරන්න වැඩම කරන්න....


 ඔය උලව් අස්සෙ ටුවරිස්ට්ලා එනවා නානාප්‍රකාර  දේවල් අහගෙන, මුදලාලි ඒ වෙලාවට ඉස්සරහට යැව්වෙත් මාව. මට දැන් මක්ඤං වගේ.. එදා දවසට සුද්දෝ කට්ටි 2 ක්  ආව. මං හිතන්නේ එයාල ඉංග්ලිෂ් නම් වෙන්න බෑ. කියපු මෙලෝ හසරක් තේරුණේ නෑ. කොහොමහරි උන්ම කඩේ ඇවිදලා ඇවිදලා ඕන කරන දේ හොයාගන්න අපි ඉඩ දුන්නා. අන්තිමට අරන් ආවේ මොනාද දන්නවද??? ඉබියතුරක්‌ !!! අන්තිමට යද්දිත් මම තැන්කූ  කියල හිනා වුනාම මුන් වෙන මොනාද අපබ්‍රංශයක් දොඩවල ගියේ.. මට තනියම හිනා.
එදා දවල් මම කද්දී වෙලාව 1.30 ට විතර. සෙනඟ පිරෙන්න කලින් කට්ටියම කන්නත් එපැයි. දම්මි අක්ක කෑවේ මට කලින්. අපේ අම්ම බත් එක දීල තියෙන්නෙ  හොඳ කෙනාට.සුරංග අය්යා මට ඉඳං කියනවා;

අපෝ නංගි, මොකක්ද මේ බත් එකේ හැටි. මේක නිකන් වඩ මුලක් වගේනේ

එහෙම තමා.. මම ගෙදර කන විදියට තමා අම්ම එවල තියෙන්නෙ
එහෙම උත්තර දුන්නෙ මම. ඔය වගේම කතාවක් අපේ චුටි අය්යත් මට කියල තියෙනවා දවසක්. J

හවස් වෙන්න වෙන්න ගොඩක් සෙනඟ ආවා. ඇයි ඉතිං 24 වෙනිදනේ.. මරු මරු වැඩ තමා ඉතිං මටත් වෙන්නේ. පිටි දාන්න ගියාම පිටි අත් දෙකේම. හුණු ගාලා වගේ. මම ඉතිං ඒ ගමන්ම ගිහින් නළ ලිඳ ගහල හෝදගෙන ආවා අත් දෙක. පොල්තෙල් බෝතලයක් දාන්න කියල එක මහත්තයෙක් මට කිව්වා. පොල්තෙල් දදා ඉද්දි ටින් එක වැටුන බැරල් එක ඇතුළට. මගේ එක අතක බෝතලේ. හෙමීට අත දාලා ටින් එක ගත්තා. එකේ කොක්ක අහු වුනෙත් නෑ. අතේ ගන්න දෙයක් නෑ පොල්තෙල්.  වෙලාවට ඒ බැරල් එක ඇතුළට වෙන්න තිබුනේ. මම අත් සබන් දාලා හෝදගෙනම ඉස්සරහට ගියා. .

මුදලාලි නම් එයාට  ඕන වෙලාවට අල්ලපු කඩෙන් තේ එකක් ගෙන්න ගන්නවා. වැඩ කරන ජනතාවට (ඒ කියන්නේ අපිට) හුළං. අපි ඉතිං තිබහ උනාම පිටිපස්සට ගිහින් වතුර ටිකක් බීල ආයෙත් වැඩ.  ඉස්සරනම් ඒ කඩේ තේ හැදුවලු. දම්මි අක්ක තමා කිව්වේ. ඒත් දැන් හදන්නේ නෑ. එයා නම් කොහොමටත් තේ බොන්නෙත් නෑලු. රෑ 8 වෙද්දී වෙනදට ඒ කඩේ වහනවා. ඒත් නත්තල් දවස නිසා වහන පාටකුත් නෑ වේලාසන. දැන් නම් කකුල් දෙක මැන්ඩලින් ගහනවා වගේ.. රිදේනවා. ඉඳ ගන්නවත් නෑනේ ඒ උනාට. අක්කත් ගියා හවස 6 වෙද්දී එයාට බස් එක මිස් වෙනවා කියලා. අය්යා නම් බයිසිකලේ එන නිසා හිටියා. දැන් මායි, සුරංග අයියයි , මුදලාලියි තමා කඩේ. කොහොමහරි 10 විතර වෙනකල් ඇද්දා. අපේ තාත්තත් ඇවිදින් මාව එක්ක යන්න. ඔන්න කඩේ වහන්න ඔන්න මෙන්න කියලා ආපි ජෝඩුවක්‌ පත හෑල්ලක් උස්සගෙන. මට ඉතිං යක්ෂ තරහ. ඇයි යකොඩෝ මුන්ට තව ටිකක් වේලාසන එන්න බැරිද? අපිට ගෙවල් වලට යන්න දෙන්නෙත් කරුමේ කරුමේ... තරහටත් වඩා මට එහෙම කියවුණේ අමාරුවටමයි. යන්තම් අය්යාවත් අඩගහගෙන ඒකත් දාලා හිතින් වෙන හෙනහුරෙක් නම් කඩාපාත් වෙන්න එපා කිය කිය මායි අයියයි ඉක්මන් කරලා එළියේ දාලා තිබුණු බඩු ඇතුළට කරා. යන්න ලෑස්ති වෙද්දි මුදලාලි බෑග් වලට චෙකප් පාර දාන්න අමතක කලෙත් නෑ. මං නම් ඉතිං ගෙනිච්චෙත් නෑ. මොනා අරන් යන්නද ඔය ටික දුරට.. මට සල්ලිත් හම්බුණා. තාත්ත එක්ක විගහට ගෙදර දිව්වෙ බඩ  ගින්නට.
ගෙදරට අඩිය තියන්නත් කලින් අම්ම අහනවා;

කොහොමද දුවේ, වැඩ අල්ලගත්තද? ලේසිද? මහන්සිද?”

ප්‍රශ්න වැලයි. අනේ ඕවට උත්තර දිදී ඉන්න පුලුහන් කාටද අෆ්ෆා.. මම කිව්වා "මට ඇඟ හෝදන්න උණු වතුර ටිකක් දෙන්න. ඇඟ හෝදන් එද්දී බත් බෙදල තියන්න" කියලා. කාපු ගමන් නිදා ගත්තා. හම්මෝ එවෙලේ නිකන් නිවන් ගියා වගේ...

පහුවදා මම නැගිටිද්දීම 8 යි වෙලාව. තාත්ත මාව ගිහින් දැම්මෙත් නෑ. මම පයින්ම ගියා. මම යද්දී සුරංග අයියා කේක් තියෙන මේසේ හදනවා. මාත් ඉතිං එතෙන්ට ගිහින් පොඩ්ඩක් සප් එක දීල ඇතුළට ගියා. ඊයේ තරම් අද සෙනඟ නෑ වගේ කිය කිය උන්නේ මම. 25 නේ. කන මිනිස්සු කාල, බොන මිනිස්සු බීල ගෙවල් වලට වෙලා පාටි දාන දවසනේ.. අපරාදේ මාත් ගෙදර හිටිය නම් මට සුපිරි කෑමක් කන්න තිබ්බා.. අපේ ගෙවල් වටේම කට්ටියට නත්තල්.අපිට අවුරුදු නේ..J කලින් දවසේ තරම්ම නැති උනත් සෙනඟ ආවා සෑහෙන්න. වැඩිපුරම වික්කේ කේක් පෙට්ටි, බිස්කට් පෙට්ටි, අයිස් ක්‍රීම් වගේ දේවල්.
දවල් කෑම එක බෙදන වෙලේ අම්මට මාව මතක් වෙලාද කොහෙද මට සැන්විච් එකකුත් බත් එකට උඩින් ඔතල එවලා.. ඉතිං කොහොමින් කොහොම හරි දවල් කෑම වලට සහ රෑට කෑම වලට යන කට්ටිය තමා ගොඩක්ම ආවේ. බීල විකාරෙන් දොඩවන පිස්සොත් ආවා. මම නම් ගියේ නෑ එයාලට බඩු දෙන්න. අහලින් මරු වෙන්න බෑ අරක්කු ගඳ L...

එදා  9 විතර වෙනකොට කඩේ වැහුවා.. දම්මි අක්කත් 9 වෙනකල් හිටිය,එයාගේ මහත්තයා ආවා එයාව එක්ක යන්න. මම සල්ලිත් අරගෙන, අය්යටත් යන්නම් කියාගෙන,ලොලිපොප් එකකුත් කටේ දාගෙන, තාත්තට කියල පොප්කෝන් එකකුත් අරෝගෙන  ගෙදර ආවා. ..
ගෙදර ඇවිත් බැලින්නම් නත්තල් විමානේ. ඇඟ හෝදන්නත් කලින් කළේ කොකිස් 4 ක් 5කට වග කියපු එක.. නත්තල් දා රෑ යන හින්දි ෆිල්ම් එක බලන්න කලින් අදහස් කරගෙන උන්නත් ඇඟේ පතේ අමාරුව නිසා ඇඳට වැටුණු ගමන් අපරාදේ කියන්න බෑ මට හොඳට නින්ද ගියා...ඔන්න ඔහොමයි මගේ නත්තල ගෙවුණේ.


මේ බලන්නකෝ නිදා ගෙන ඉන්න අපූරුව.... J