ලෝකෙට ආපු අය

Sunday, February 24, 2013

ක්‍ෂිතිජ රේඛා - පස්වන දිගහැරුම



“හැපි බර්ත්ඩේ ලොකු අක්කා...”

සෙනුරිට මුල්ම උපන්දින සුභ පැතුම සිඟිති ගෙනි. පාසල් ගමන නිම කළ යුවතිය තවමත් නිදි ඇඳේ ඒ මේ අත පෙරලෙද්දී, පාසල් යාමට සූදානම් වන අතර සිඟිති ඈ වෙත ආවේ පොඩ්ඩී කාමරයට එබෙන්නටත් පෙරය. මෙවැනි දවසක නම් කිරිබතක් වරදින්නට ඉඩක් නැත.

දෙසොහොයුරියන්ගේ උණුසුම් හාදු සහ මවගේ ආශිර්වාදය සමඟ දවස ඇරඹූ යුවතියට වහා මතකයට නැගුණේ වන්දනාව අවසන අසෙල් කී වචනයයි. හනික ඇඟපත සෝදා අළුත් ඇඳුමක් ඇඟලා ගත් ඇය හිස පීරද්දී, බණ්ඩාර මහත්මිය කාමරයට පැමිණියාය.

“කොහෙ යන්නද ලොකූ?”

ඇය ඇඳේ හිඳගනිමින් ඇසුවාය.

“අසෙල් උපන්දින තෑග්ගක් දෙන්න තියෙනව කියල එන්න කිව්ව අපෙ අම්මා. මං ඉක්මණට ටවුන් එකට ගිහින් එන්නම්”

යුවතිය ආසාවත් බියත් කැටිවූ ආයාචනාත්මක හඬින් කීවාය.

“හ්ම්ම්.. යන තැනක ඉක්මණට ගිහින් එන්න ඕන.. කල්පනාවෙන්.. පරක්කු වෙන්නෙ එහෙම නෑ.. පරිස්සමින් ගිහින් එන්න ඕන තේරුණාද?”

මඳක් කල්පනා කළ කාන්ති පිළිතුරු දුන්නාය. මෙවැනි ලස්සන දවසක ඇගේ හිත තලන්නට කාන්තිට බැරිය. නමුත් සෙනුරි ඇගේ වැඩිමහල් දියණියයි. යොවුන් ඇගේ පරිස්සම ගැන තව තවත් සිතන්නට වුවමනාය. අනෙක් අතට සෙනුරි කෙල්ලෙකි.. අසෙල් කොල්ලෙකි.. කෙල්ලකගේ අම්මා කෙනෙකුගේ සිතේ මේ සා බියක් ජනිත වීම අසාධාරණ නැත.


“ලොකූ... පරිස්සමින්..”

ගේට්ටුවෙන් පිටවී යන සෙනුරි දෙස අයාගත් දෙනෙතින් යුතු කාන්ති හඬනැගුවාය

“හරි හරි අපෙ අම්මා, ඉක්මණට එනවා..”

යුවතිය එසේ කීවේ නැත. සිතින් සිතුවා පමණි.

***

“අසෙල් අයිය දැන්ද ආවෙ? මං පරක්කු නෑ නේද?”

අසෙල් වෙත ලයාන්විත බැල්මක් හෙලූ සෙනුරි ඇසුවාය. උත්තරය කටට දී ප්‍රශ්න ඇසූවිට දෙන්න උත්තරත් නැත.



“නෑ සෙනුරි, එන්නකො යන්න මාත් එක්ක”

“කොහෙද මේ මාව එක්ක යන්නෙ... අනේ... අනේ මට බයයි අසෙල් අයිය...මට ඉක්මණට යන්නත් ඕන... අම්ම බයවෙයි... අනේ.... මං ඉක්මණට එන්නම් කියලයි ආවෙත්...”

යුවතිය බයාදු හඬින් කීවාය.

“මට පේන්නෙ අම්මට වඩා දුව බය වෙලා වගෙයි... බය වෙන්න එපා හලෝ, මං ඔයාව ස්ටුඩියෝ එකටයි එක්ක යන්නෙ..”

සිනාවෙන් මුව පුරවා ගත් අසෙල් කීවේය. යුවතියගේ දෙබැම ඉහළට එසැවිණි. කිසිවක් කියන්නට තැත් කළ නමුදු මුවින් හඬ පිට නොවීය.


***

“මෙයාගෙ සම්පූර්ණ ෆොටෝ එකක් ගන්න ඕන”

“හරි සර්, ඇඩ්වාන්ස් එක ගෙවල රිසිට් එක ගන්න. මිස් ඇතුලෙ කාමරයට ගිහින් ලෑස්ති වෙන්න. මං 
කැමරමන්ට එන්න කියන්නම්.”

කවුන්ටරයේ සිටි තරුණයා හට මුදල් ගෙවා රිසිට්පත ලබාගත් අසෙල්, සෙනුරි පිටතට එන තුරු රැඳී සිටියේය.

“හයියෝ... ඔයා ෆොටෝ එකටත් ඔහොමද හිටියේ?”

විශ්මයට පත්ව මාරුවෙන් මාරුවට තමා දෙසත් පාර දෙසත් බලමින් ඉදිරියට ඇදෙන යුවතිය දෙස බැලූ අසෙල් විමසුවේය.

“ඒක ඉතින් ෆොටෝ එක ගන්න දාට බලන්න බැරියැ.. ඒක නෙමේ, ඔයාට මොකටද මගෙ ෆොටෝ එකක්? ඒක මටද? නැත්නම් ඔයාටද?”

යුවතිය ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළාය.

“ඔයාගෙ ෆොටෝ එකක් ඔයාටම දෙන්න මට පිස්සුයැ... ඒක මට තියාගන්න ගත්තේ... හැමදාම මා ළඟ තියාගන්න...”

මනමාල හිනාවක් පාමින් අසෙල් පිළිවදන් දුන්නේය.

“ඉතින් දැන් මට එන්න කිව්වෙ ඕකටද? කෝ මට උපන්දින තෑග්ගක් නැද්ද?”

“ඉන්න ඉන්න... තියෙනවා...”

කරේ එල්ලාගෙන සිටි බෑගය විවෘත කර කුඩා බ්‍රවුන් පේපර් බෑගයක් අතට ගත් අසෙල් එය සෙනුරි අත තැබුවේය. කුමක්දැයි බලන තුරු යුවතිය නොඉවසිලිමත්ය.

“ඔයාට බලන්නම ඕන නං බලන්න ඉතින්..”
යුවතියගේ සිතැඟි හඳුනාගත් අසෙල් කීවේය.

බ්‍රවුන් පේපර් බෑගය විවෘත කළ ඈ තව තවත් පුදුමයට පත් වූවාය. එතුළ වූයේ කුඩා රන් මාලයක් සහ වළලු දෙකකි. මෙය ඈට මහමෙරක් තරම් වටී. වහා අසෙල්ව වැළඳ ගැනීමට සිතුණද පොදු ජනතාවගේ නෙතු ගැටෙන ඉසව්වේ එසේ හැසිරීම අනුචිත බැවින් ඈ ඒ අදහස මැඩ ගත්තාය.

“අනේ ගොඩාක් ලස්සනයි අසෙල් අයියා... ඔයාට හුඟාක් ස්තුතියි..”



අමුතුවෙන් ස්තුති අවැසි නැත. එය දුටු මොහොතේ සෙනුරි කෙතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වීද යන්න අසෙල් සියැසින් දුටුවේය. අහිංසක ඇගේ මුහුණ කොයිතරම් නම් සුන්දරද? ඔහු යුවතිය දෙස බලා මඳ සිනහවක් පෑවේය.

“සෙනුරි ඔයාගෙ පන්ති කවදද පටන් ගන්නෙ?”

අසෙල් ඇසුවේ හදිසියේ මතක් වූ යමක් අසන්නාක් මෙනි.

“ලබන සතියෙ ඉඳං යන්න ඕන අසෙල් අයියෙ... තවත් පහුවුනොත් පාඩම අල්ලගන්න බැරිවෙනවා.. දැනටමත් මං පරක්කුයි...”

“හ්ම්ම්... මට හෙට ඉඳං එන්න කියල අර අයිය කිව්ව... වැඩ ටික පුරුදු වුණාම මට තනියෙන් ඒක කරගෙන යන්න දෙන්නම් කිව්ව... ඔයාටත් ඕන වෙලාවක ඇවිත් යන්න පුළුවන්... පාර අයිනෙමයි... ම්ම්ම්.... නම....ආ.... නම කැළුම් ඉලෙක්ට්‍රොනික්ස්....”

“ඉස්සෙල්ල ඔයා වැඩ ටික පුරුදු වෙන්නකො.. ඊට පස්සෙ ඉඩ ලැබුණු වෙලාවක මං එන්නම්කො...අම්මෝ පැය දෙකක් ගිහින්...!!! මං යන්න ඕන අයියෙ...”

අත බැඳි ඔරලෝසුව දෙස බැලූ සෙනුරි කීවාය. පෙම්වතුන් එක්ව හිඳින විට කාලය ගත වනවාද නොදැනේ.. වෙන්වෙන්නටද අකමැතිය... ඒ පැය දෙක ඔවුනට ඇසිල්ලක් මෙන් දැනෙන්නට ඇත.

“හරි සෙනුරි පරිස්සමින් යන්න එහෙනම්...”

“ඔයත් පරිස්සමින්”

දෙදෙනාම අත් වනා එකිනෙකාගෙන් සමුගත්හ. නැවත හමුවන දිනය කවරක්දැයි සෙනුරි මෙන්ම අසෙල්ද නොදනී. 

Tuesday, February 19, 2013

ක්‍ෂිතිජ රේඛා - සිව්වන දිගහැරුම



“පුතා... මෙන්න මං අග්ගලා වගේකුත් හැදුව ගෙනියන්න...”

“ආ... ඒක හොඳයි අම්මෙ... මේ පාරත් අම්මගෙ සුපුරුදු ගම්මිරිස් ප්‍රතිකාරය දැම්මද? එහෙනම් මට වෙන්නෙ සිරීපාදේ නැගිල්ල පැත්තකින් තියල කට්ටියගෙ කටවල් වලට හුළං ගහන්න..”

අසෙල් මහ හඬින් සිනාසෙමින් එසේ කීවේය. එසේ කීවද අම්මාගේ කැවිලි පෙවිලි වල රසයට සම කිරීමට අයෙක් ගමේ වත් නැති බව ඔහුගේ විශ්වාසයයි.

“අනේ බොරු නොකිය ඉන්න ළමයො... අග්ගල නිකන්ම පැණි විතරක් දාල හදල හරියන්නෙ නෑ.. පොඩ්ඩක් සැර වැර හිටින්න ගම්මිරිස් ඇට දෙක තුනකුත් දැම්මම තමයි රහ”

පද්මිණී මහත්මිය මහත් දයාබර ලෙස කැවිලි පාර්සලය සකස් කර අසෙල් අතට දුන්නාය. එවිටම නිවසේ දුරකථනය නාද විය.

“හෙලෝ”

“හෙලෝ අසෙල් අයියා, ඔයා හරියටම හවස 2 වෙද්දි පාරට එන්න..  අපි ඔයාව එක්කගෙන යන්න එනවා”

“හරි සෙනුරි”

ඇමතුම සෙනුරි ගෙනි. සියල්ල සූදානම් කරගැනීමට ඇත්තේ තව පැයක පමණ කාලයකි. තම ගමන් මල්ල සූදානම් කළ අසෙල් මුහුණ කට සෝදාගෙන, ඇඳ පැළඳගෙන, අම්මාටද වැඳ, තම මස්සිනා කැටුව අතුරු පාර කෙලවරට ගියේය.


***

සිය මස්සිනාට සමුදුන් අසෙල් පැය බාගයක් පමණ ගතවන තැනදී ක්‍රීම් පාට වෑන් රථයක පිටුපසම අසුනේ දකුණු කෙලවරේ හුන්නේය. සෙනුරි හුන්නේ ඊට ඉදිරි අසුනේය. සිඟිති නම් අම්මා අසළම හේත්තු වී සිටි අතර පොඩ්ඩි අම්මාත් ලොකු අක්කාත් අතර තිබූ අසුනේ හුන්නාය. සහභාගී වන්නෝ එපමණක් බැවින් සියලු දෙන හොඳින් අත පය දිගහැර විවේකීව සිටියෝය. රත්නපුරයට පැමිණෙන තුරුම නොයෙකුත් විහිලු තහළු කරගනිමින් සිදුවූ කතා බස් වල තරම කෙසේ වීද යත් කොහි සිටින්නේදැයි ඔවුහුම නොදත්තෝය.

“නෝනා, ඔන්න දැන් නම් රත්නපුරේටත් ආවා”

රියදුරු මහතා මඳක් පසුපස හැරෙමින් එසේ කීවේ කාන්තිට ඇසෙන්නටය.

“ළමයිනේ, රත්නපුරේ ඉඳං ලොකූ දුරක් නෑ සිරීපාදෙට. අපි දැන් ඉන්නෙ සමන් දෙයියන්ගෙ අඩවියේ”

***

රියදුරු මහතා වෑන් රථයේ සිටියදී පිරිස සිරිපා කරුණා කිරීමට පිටත් වූහ. මෙය නම් අවාරේ සිරිපා වැඳීමකි. මේ කාලයට සිරිපා කරුණා කරන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. එය එසේ වුවද යන්තම් අඳුරු වැටීගෙන එන හැන්දෑවේ වුවද පිරිස් කිහිපයක් කන්ද නගිනු දක්නට හැකිවිය.

“මේ කාලේ සමන් දෙයියො සිරීපාදෙ නෑ”

අසෙල් කිව්වෙ සිඟිති දෙස බලමිනි.

“එහෙනම් සමන් දෙයියො කොහෙද ඉන්නෙ අයියා මේ දවස් වල?”

“මේ කාලෙ සමන් දෙයියො ඉන්නෙ රත්නපුරෙ මහ සමන් දේවාලෙ. මේ සිරීපාදේ අවාරෙ කාලෙනෙ.. මැයි ඉඳං දෙසැම්බර් වෙනකල්ම අවාර කාලේ. අනිත් මාස ටිකේ තමයි සමන් දෙයියො සිරීපාදෙට වඩින්නේ”

අසෙල් දැනමුත්තෙකු ලෙස කියන්නෙ පෙර දින අම්මගෙන් අසාගත් කතාවයි. නංගිලා දෙන්නාට නම් මෙය කදිම කතාවකි. මෙසේ කතාවෙන් කතාවෙන් අසෙල් සිඟිතිව අල්ලාගෙනත්, සෙනුරි අම්මාව අල්ලාගෙනත් කන්ද නගින විට පොඩ්ඩි තනිවම කන්ද නැග්ගාය. ඔවුන් අසළින්ම සෙමින් ඉදිරියට ඇදුනේ තුන් සරණේ කවි කියමින් යන වන්දනා පිරිසකි.

බුද්ධං සරණේ සිරස දරාගෙන.... යනුවෙන් ඔවුන් මුවඟ රැව් දුන් රාවය තව ටිකක් ඉදිරියට යන තුරුම ඇසුණි.

“පුතේ, නංගිව හයියෙන් අල්ලගන්න”

“හරි හරි අම්ම බය වෙන්න එපා. මං සිඟිතිව හයියෙන් අල්ලං තමයි ඉන්නෙ..”

“අනේ මගෙ සෙරෙප්පුව.... අනේ මගෙ සෙරෙප්පුව වැටුණ අම්මෙ.... අම්මේ....”

සිඟිති මහ හඬින් කෑගසන්නීය.

“හරි පැටියෝ, කෑ ගහන්න එපා ඉතින්.. දැන් මේ කරුවලේ සෙරෙප්පුව හොයන්න බැහැනේ. අපි හෙට උදේ බහිද්දි බලමුකෝ ඈ..”

අසෙල් නැගණිය සැනසුවේය. එහෙත් ඇගේ මුහුණ නම් තවම ඇදවූ ගමන්ය.. ඉතින් තවත් ටිකක් දුර මේ සීතලේ, මඩ ගොඩේ නිරුවත් දෙපයින් ඇවිද්ද යුතුය. තව ටිකක් චූටි වූවා නම් අම්මා හෝ ඇයව වඩාගෙන යන්නට ඉඩ තිබුණි. දැන් එයද නැත.

වරු ගණන් එක තැන සිටගෙන සිටීම් වැනි බාධක පසු කරමින්, පාන්දර දෙක තුන වන විට සිරිපා කඳු මුදුනට ගොඩවීමට පිරිසට හැකි විය. සිත්සේ සිරිපා වන්දනා කරගත් ඔවුහු නැවත කන්ද බැසීම ආරම්භ කළහ.

“පොඩ්ඩි, බලාගෙන... ලිස්සයි”

සෙනුරිට එසේ කියා කටක් ගන්නට නොලැබුණි. පොඩ්ඩිගේ කකුල ලිස්සා ගොස් ඈ බිම වැටුණාය. අසෙල් වහා එතෙන්ට පැමිණෙන විට පොඩ්ඩිගේ කකුලෙන් ලේ ගලමින් තිබුණි. සිඟිතිව සෙනුරිට භාර කළ ඔහු පොඩ්ඩිව වත්තම් කර ගනිමින් කන්ද බැසීමට පටන් ගත්තේය.


“මෙන්න තියෙනෝ මගෙ සෙරෙප්පුව.. මගෙ තැඹිලි පාට ගැට ගැට සෙරෙප්පුව..”

මඳ එළියේ වුව මඩ වැකි සෙරෙප්පුව හඳුනා ගත් දැරිය එය ලැබීමෙන් මහත් සතුටට පත් වූ සෙයකි.

“අපි දැන් කෙළින්ම ගෙදරද යන්නෙ අපෙ අම්මා?”
සිරිපා කන්ද නැගීමෙන් සෙනුරි මහත් වෙහෙසට පත්ව සිටියාය. දැන් ගෙදර යන්නට තිබුනා නම් හොඳය.

“නෑ ලොකූ, සමන් දෙයියන්ගෙ අඩවියට ආපු එකේ සමන් දේවාලෙටත් ගිහිල්ලම යන්නයි කල්පනාව..”

“ඒක නම් හොඳ අදහස.. නංගිට පුළුවන් රත්තරන් පාට සමන් දෙයියොයි ඇතාවයි බලන්න..”
අසෙල් එසේ කිවේය.

“රත්තරන් පාට...???”

“ඔව්, රත්තරන් පාට තමයි නංගියේ.. සමන් දේවාලෙ වැඩ ඉන්න සමන් දෙයියො රත්තරන් පාටයි”

ප්‍රශ්නාර්ථයක් මවාගත් කුඩා දැරියගේ කුතුහලය සංසිඳුවාලමින් අසෙල් පිළිතුරු දුන්නේය. උදේ 7-8 වන විට බැසීම අවසන් කළ පිරිස වාහනයට ගොඩවී සමන් දේවාලය කරා ගමන් ආරම්භ කළහ.

“ආං අර පේන්නෙ සමන් දේවාලෙ..”

සමන් දේවාලය වැඳ පුදාගෙන රත්තරන් පාට සමන් දෙයියන්වද බලාගෙන ටික වෙලාවක් ඒ පුදබිමේ ගත කළ කාන්තිලා එතනින් පිටවූයේ නිවෙස් බලා යාමේ අදහස පෙරදැරිවය.

***

“සෙනුරි, ඔයාගෙ උපන්දිනේ ලඟයි නේද? එදාට ඔයා එන්න ඕන මාත් එක්ක තෑග්ගක් ගන්න යන්න...”

අසෙල් එසේ කීවේ රහසිනි. යුවතියගේ මුහුණ විශ්මයෙන් ඇලලී යද්දී අසෙල් ඇයට ඇසක් ගසා වාහනයෙන් බැසීමට සැරසුණි. කිසිවක් කියන්නට තරම් වෙලාවක්ද නොවීය.

“මම බහිනවා අම්මේ, නංගිලා මම යනවා, මම යන්නම් සෙනුරි”

“හොඳයි පුතා, පරිස්සමින් ගෙදර යන්න.”

කාන්ති එසේ කියද්දී නංගිලා දෙන්නා ඔහුට අත වැනුවෝය. සෙනුරි නම් ඔහු දෙස බලා සිනාසුනා පමණි.

***

“පුතා කොහොමද ගමන..?”

“ගමන නම් හොඳයි අම්මා... චූටි නංගිගේ සෙරෙප්පුව නගිද්දී වැටුණා. බහිද්දියි හම්බුණේ... ම්ම්ම්.. තව පොඩි නංගි බහිද්දි ලිස්සලා වැටිලා අල්ලගෙන බැස්සුවේ මම... අපි සමන් දේවාලෙටත් ගිහින් ආවෙ...”

අසෙල් ජනේලයෙන් ඉවත බලාගෙන තේ කෝප්පය තොල ගාන ගමන් කීවේය. අම්මා සමඟ කතා කරන මුත් ඔහුගේ සිත ඇත්තේ වෙනතකය. එනම් නොබෝ දිනකින් එළඹෙන සෙනුරිගේ උපන්දිනය වෙනුවෙන් තමා දිය යුතු තෑග්ග කුමක්දැයි කියාය. කල්පනා සාගරයක ගැලී අවසන ඔහු එක්තරා නිගමනයකට එළඹියේය.

අම්මාද කුස්සියේ වැඩක් පිණිස එතැනින් ඉවත්ව ගියාය.