ලෝකෙට ආපු අය

Tuesday, March 12, 2013

ක්‍ෂිතිජ රේඛා - සත්වන දිගහැරුම



“අසෙල් අයියා... ඔයා කොයි හරියෙද ඉන්නෙ? මම නම් දැන් බස් හෝල්ට් එකේ ඉන්නෙ...”

ජංගම දුරකථනය බෑගයෙන් එළියට ගෙන අසෙල් ඇමතූ යුවතිය ඔහුගෙන් ලද කිනම් හෝ පිළිතුරක් මත නැවත එය බෑගය තුළට දැමුවාය. මේ වූ කලී ඇය සිය පියාගෙන් ලද රට තෑග්ගකි. අසෙල් සිය මසක හෝ දෙකක වැටුපෙන් ජංගම දුරකථනයක් මිලට ගත් කාලයට සමකාලීනව ඇයද එය ලැබීමට වාසනාවන්ත වූවාය.

“ඔයා ගොඩක් කලින් ඇවිල්ලනේ... මාර වැඩේනෙ උනේ..අපේ අල්ලපු ගෙදර ඇන්ටි බස් එකේ හිටියනෙ.. ඕන්නැති දෙයක් නෑ.. බුදු අමාරුවෙන් බොරු දහයක් විතර කියල බේරිලා ආවෙ..”

කිසිත් නොකී යුවතිය නොනවත්වාම සිනහ වීමට පටන් ගත්තාය.

“මෙයාට නම් හිනා, මමනෙ දන්නෙ මං කාපු කට්ට”

අසෙල් කීවේ මුහුණ ඇඹුල් කරගනිමිනි. ඒ කතාව එසේ අවසන් වූයේ ඔවුන් සිනමාපටය නැරඹීමට යෑම  සඳහා නැගිය යුතු බස් රථය ඔවුන් ඉදිරිපස නැවැත්වූ බැවිනි. මගීන් පිරී හිඳ ගන්නට අසුනක් පවා අහිමි බස් රථයට ඔවුන් ගොඩ වූයේ යා යුතු දුර ගැන වත් නොසිතමිනි.

“ශික්, ඉඳගන්න සීට් එකක් වත් නෑනේ”

යුවතියට එසේ සිතෙන්නට ඇත. අසෙල් කෙසේ වෙතත් සෙනුරි නම් සිටියේ දැඩි අපහසුවකිනි. වරින් වර තම ශරීර අභ්‍යන්තරයෙන් නැගෙන වේදනා ඉවසා ගනිමින් ඈ අසෙල් අසළම සිටගෙන හුන්නාය. ගතට කෙතරම් අපහසු දැනුනද මෙය කලින් සැලසුම් කර තිබූ ගමනකි. දෙදෙනාගේම ආශාව ඇතිව සූදානම් කළ ගමනකි. එහෙයින් අතරමඟදී එල්ලවිය හැකි බාධක ගැන දෙදෙනාගෙන් කිසිවෙකු හෝ සිතන්නට නැත.

ගතවූයේ නිමේෂයකි. වල ගොඩැලි සහිත මාර්ගයේ ගැස්සි ගැස්සි යන ගමන දරා ගත නොහී, බසය වංගුවක් ගත් වහා යුවතිය හිටිවනම අප්‍රාණික තත්වයට පත්වූවාය.

“මට වමනෙ යන්න එනවා”

සෙනුරි සිහින් හඬින් කොඳුලාය. ක්‍ෂණිකව බසයේ සීනුව නාද කළ ඔහු බසය නැවැත්වූ සැණින් සෙනුරිව වත්තම් කරගනිමින් බසයෙන් බැස්සේය. හුස්මක් හෙලන්නට අවසරයක් නොවිණි. එවෙලේම සෙනුරි පාරේ අයිනක වමනය කළාය. ඒත් සමඟම ඈ සිහිමඳ තත්වයට පත්වූවාය.

“අනේ වස්තුවේ ඔයාට මොකද මේ වුණේ?”

අසෙල් හොඳටම බිය වී ඇති හැඩකි. වැටෙන්නට නොදී තම දෑතින් අල්ලා ගත් සෙනුරි කැටුව ළඟ පාත වූ කඩයකට සේන්දු වූ ඔහු, යුවතිය එහි නවතා මඳක් කල්පනා කළේය. එම කඩයෙන් ඈට බොන්නට වතුර වීදුරුවක්‌ ගෙනැවිත් දුන් ඔහු ත්‍රීරෝද රථයක් කැඳවා ගෙන ඒමට ගියේය.



සෙනුරිට ගෙදර යන්නට බැරිය. අසෙල්ට කොහොමත් ඈ සමඟ ඇගේ ගෙදර යන්නටද බැරිය. වෙනකක් තබා මේ අවස්ථාවේ හැටියට සෙනුරිව තනියම ගෙදර යැවීම කිසිසේත්ම කළ නොහැක්කේමය. මෙවන් මොහොතක යාහැකි හොඳම තැන ලෙස තම නිවස තෝරාගත් අසෙල්, යුවතිය තම නිවසට කැඳවා ගෙන ගියේය.

***

ගැහැණු ළමයෙකු වත්තම් කරගත් සිය පුතු ත්‍රීරෝද රථයකින් බසිනු දුටු පද්මිණී කලබල වූවාය.

“කවුද චූටි පුතේ මේ ළමයා? අර පුතා කියපු සෙනුරි කියන ළමයද මේ?”

“ඔව් අම්මේ, මේ සෙනුරි තමයි.. අද පංති යන්න ආවෙ.. බස් හෝල්ට් එකේදී එක පාරට වමනෙ දැම්ම.. ඒ ගමන්ම කලන්තෙ කැරකිල්ල හැදුණා.. ඉතින් මම ගෙදර එක්ක ආවා..”

පද්මිණී වහා සිදුව ඇති සංසිද්ධිය වටහා ගත්තාය. අසෙල්ගේ උදව්වෙන් ඈ සෙනුරිව ඇඳක හාන්සි කළාය.

“දුවේ, දැන් කොහොමද? මම මේ දුවට කෝපි ටිකක් හදාගෙන ආවා.. මේක බීල ඉන්නකො”

“ඇන්ටි කවුද?, මං කොහොමද මෙහාට ආවෙ”

සෙනුරි ඇසුවේ ඇත්තටම නොදන්නා කම නිසාමය. මඟ දිගට එන තුරුම ඇය නිදා හුන්නේ අසෙල්ගේ ඔඩොක්කුව මත හිස තබාගෙනය.

පද්මිණී පිළිතුරු දීමට පමාවූයෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ අසෙල්ය.

“මේ අපේ අම්ම සෙනුරි. ඔයාට කලන්තෙ දාපු නිසා මට බය හිතුණා. මං ඔයාව අපේ ගෙදර එක්කගෙන ආවා..”

අසෙල් කීවේ අම්මාව පිටුපසින් පැමිණ තුරුල් කරගනිමිනි. මවගේත් පුතුගේත් සෙනෙහස දැක සතුටට පත් සෙනුරි සෙමෙන් කෝපි කෝප්පය තොල ගෑවාය.

දිවා භෝජනයද අසෙල්ගේ නිවසින්ම සපයා ගත් යුවතිය අසෙල් සමඟ පාරට පැමිණියේ නිවෙස් බලා යෑමට බසයට නැගීමටය.




“ඔයාලගේ අම්ම හරි හොඳයි වගේ අසෙල් අයියෙ..මේ ටික වෙලාවට මට කොයිතරම් ආදරේ උණාද?”

“එහෙම තමයි කෙල්ලෙ අපේ අම්මා.. ඒ එයාගෙ හැටි... අන්න ඔයාට බස් එකක් එනවා.. එහෙනම් පරිස්සමින් ගිහින් මැසේජ් එකක් එවන්න හොඳද?”

දෙදෙනාගේම සිහිනය වූ සිනමාපටය නැරඹීම, පළමු වතාවට පමණක් එසේ සිහිනයක්ම විය.

***

මේ කාලයේදීම සෙනුරිලා මුහුණ දුන් උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් විය. අසෙල් යන්තම් B එකයි C දෙකක් ගෙන සමත් වී සිටි අතර සෙනුරි B තුනක් ගෙන සමත්ව සිටියාය. දෙදෙනාගේම මට්ටම විශ්වවිද්‍යාල සිහිනය පේන මායිමේ වත් නොවීය. රෙකෝඩ් බාර් එකේ වැඩ කරන අසෙල්ට හෝ නැවත විභාගයට පෙනී සිටින්නට සැරසෙන සෙනුරිට එයින් කම් නැත.

***

කාලය ගෙවී යන්නේ විදුලි වේගයෙනි..  විභාගය ටිකෙන් ටික ළඟාවෙමින් පවතී.. ඒ කෙසේ වුව ඉඳ හිට හමුවීම්, රෙකෝඩ් බාර් එකේදී දොඩමළු වීම් වලටද දෙදෙනා තවම සමු දී නොමැති අයුරකි. පොඩ්ඩිව පංති ඇරුණු පසු ගෙදර ගෙනැවිත් දැමීමේ වගකීමද අසෙල් නොපිරිහෙළා ඉටු කරන්නේ මහත් උනන්දුවෙනි. මුලදී ලැජ්ජාවට එතරම් කතා බහක් නොවුණද දැන් දැන් සෙනුරි තරමටම පොඩ්ඩිද ඔහුට සමීපය. තමාටද නංගි කෙනෙකු සිටියා නම් කොතරම් හොඳ දැයි අසෙල් කල්පනා කළේය.

***

“ලොකූ, අන්න විභාගෙට ඇප්ලිකේෂන් දාන්න හෙට උදේ ඉස්කෝලෙ එන්න කියල ලක්ෂි කෝල් කළා”

“හරි අපෙ අම්මා, මම කොහොමත් හෙට යන්න තමයි උන්නේ”

යුවතියද සැළකිල්ලෙන් පිළිතුරු දුන්නාය.

ගිය වසරේදීට වඩා මේ වසරේදී ඈ දැනුම අතින් පොහොසත්ය. එසේ වුවද ජීව විද්‍යාව හෝ ගණිතය විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවාට වඩා වාණිජ්‍ය විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම අපහසු බව යුවතිය මැනවින් තේරුම් ගෙන හුන්නාය.

පසු දින නංගිලා දෙදෙනා පාසැල් යෑමට සැරසෙන මොහොතේ සෙනුරිද පාසලට යෑමට සූදානම් වූවාය. අද අයදුම්පත්‍ර දැමීමට යනවා මෙන්ම තව මාස තුන හතරකින් විභාග අයදුම්පත්‍රය ලබා ගැනීමටද පැමිණිය යුතු වග පැමිණ සිටි සියල්ලෝම සිහිපත් කළේ කණස්සල්ලෙනි.එහෙත් විභාගයට පෙර සැමරිය යුතු, ප්‍රීති විය හැකි උත්සව දෙකකි. සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සවයයි..

සෙනුරි වෙසෙසින්ම කල්පනා කළේ වෙසක් උත්සවය ගැනයි. මන්ද යත් දහම්පාසලේ වෙසක් නාට්‍යය වෙනුවෙන් ප්‍රධාන ස්ත්‍රී චරිතයට පණ පොවන්නී ලෙස ඈ නිර්දේශ කර ඇති බව ඈ දැන ගත්තෙ අයදුම්පත් දැමූ රාත්‍රියේ බැවිනි.

Saturday, March 9, 2013

මං ලිව්ව අකුරු

මොන්ටිසෝරි යන කාලෙ වැඩ කරපු පොත් දෙකෙන් එකක් තමයි මේ..

එක වසරෙ ලිවීම පොතේ පිටුවක කෑල්ලක්...

දෙක වසරෙදි ලියපු ඉර ගැන රචනාවකින්...

මේ තුන වසරෙදි සිංහල පොතේ අකුරු...

මෙන්න මේ අකුරු ගැන ආඩම්බරයි මට...අපි පැන්සලෙන් ලිය ලිය හිටපු හතර වසරෙ පන්තියෙදි, අපේ මිස් මට තමයි ඉස්ඉස්සෙල්ලාම පෑනෙන් ලියන්න දුන්නෙ...

ශිෂ්‍යත්ව පංති පොතකින් හොයා ගත්තේ...  ඉස්කෝලෙ පොත් හොයාගන්න බැරි උනා...

(හය වසරෙ පොත් සෙට් එකම අතුරුදහන් වී ඇති බව කරුණාවෙන් සළකන්න!!!)

හත වසරෙ සිංහල පොත...අකුරු උගනී කුමරු සොඳවා...

කාට හරි මතකද මේ පාඩම... සොඳුරු ළමා විය.. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ ළමා කාලේ... බොනවිස්ටාවට ගිය කාලෙ... 8 වසරෙ සිංහල පාඩමක් නෙ..

මේ අවුරුද්දෙ මං ලිව්ව අකුරු වලට සමස්ත ලංකා කුසලතා සහතිකයක් ලැබුණා... ආඩම්බර කමක් නෑ.. නිහතමානී සතුටකින් කියන්නෙ... මේ නමය වසර සිංහල පොත

අවුරුදු නමයක්ම සිංහල ඉගෙන ගෙන ඔන්න දහයෙදි තමයි හෝඩිය ඉගෙන ගන්නෙ... මරු වැඩේ නේද?

මේ අනිත් එක... අපි එකොළහ වසරෙදි ,බෝඩ් එකක ලොකුවට හෝඩිය ලියාගෙන.... සර් ගාවට ගිහින්... හෝඩිය කියෝගෙන යන්න ඕන... ඇගයීමක්.... ෆුල් ආතල් තමා ඉතිං....

මෙන්න උසස් පෙළ බයෝ පොතේ අකුරු ටිකක්... දොළහ වසරෙදි


මේක නම් දහතුන වසරෙදි... දන්නවනෙ ඉතිං ඉක්මණට ලියද්දි අකුරු එහෙ එහෙ වෙනවනේ... නේද?


මේ වර්තමානයේ බහුලව ඉංග්‍රීසි ලියන ආකාරය...

හැබැයි මෙහෙමත් ලියන්න බැරිව නෙවෙයි... වෙලාවකට මෙහෙමත් ලියනවා... හැබැයි ටිකක් වෙලා යනවා... කෝකද ලස්සන?  :)


හා ඉතිං දැන් ඔහොමලු ඈ...

Monday, March 4, 2013

ක්‍ෂිතිජ රේඛා - සයවන දිගහැරුම




“ආ...ඔයා අද කලින්ම ආවද සෙනුරි?”

“හ්ම්ම්ම්...ඔව් අසෙල් අයියෙ,අද පේපර් එකක් කළා. ඒ නිසා වේලාසන පංති ඇරියා...ගෙදර යන්නත් තව වෙලා තියෙන හින්දා මං මෙහාට ආවා..”

යුවතිය සිනාසෙමින් කීවාය.

“ඒක හොඳයි, මට කම්මැලිත් නෑ එතකොට...තනියම මේක අස්සට වෙලා දවසම ඉන්න ගියාම එපා වෙනව”

අසෙල් කීවේ යුවතිය කුමක් කරන්නට සැරසේදැයි බලමිනි. පොත් බෑගය පසකින් තැබූ යුවතිය එහි තිබූ පරිඝනක යන්ත්‍රයේ වාදනය වෙමින් තිබූ ගීත ශ්‍රවණය කිරීමට පටන් ගත්තාය. ඇතැම් විටක මේසයට තට්ටු කරමින්ද, විටෙක පා ඇඟිලි වලින් බිමට තට්ටු කරමින්ද, තවත් විටෙක සිහින් හඬින් මුමුණමින්ද යුවතිය ගීත රස වින්දාය.

හෝරාවකට මඳක් වැඩි කාලයක් එහි ගත කළ සෙනුරි නිවාස බලා යාමට සැරසුණේ අසෙල්ගේ වදනිනි.

“යමු නේද සෙනුරි? මං ඔයාව ගිහින් ඇරගෙනම යන්නම්”

“මොකේද යන්නෙ,ඔයා බයික් එකක් ගත්තද?මට කිව්වෙවත් නෑ”

යුවතිය කීවේ අමනාප මුහුණක් මවා ගනිමිනි.

“මගෙ නෙමේ ළමයො, බයික් එක අපේ මස්සිනාගේ..එයා වැඩට යන්නෙ බස් එකේනෙ.. මං බයික් එක අරං ආවා”

“අනේ ඒ වුණාට මට බයයි අයියෙ...ඔයාට ලයිසනුත් නෑ නේද? ඔක්කොමත් හරි ඔයාට ඔච්චර ලොකු බයික් එකක් පදින්න පුළුවන්ද?

පුරුද්ද නම් කෙසේවත් අත්හරවන්නම බැරිය. අහන්නේ එකක් දෙකක් නොව ප්‍රශ්න වැලකි.

“ලයිසන් නැතිවුණාට අපිත් හොඳ බයික්කාරයො තමයි හරිද නංගි..නගින්න නගින්න...”

අසෙල් කීවේ උජාරුවෙනි. බයික් එකේ වාඩි වූ යුවතිය අසෙල්ගේ බඳ වටා දෑත යවා තදින් අල්ලාගත්තාය. මොහොතකින් අසෙල් බයික් එක පණගන්වා ධාවනය ඇරඹීය.

“ඔච්චර හයියෙන් යන්න එපා...එක්කෝ අපි අතුරු පාරකින් යමුද?මට බයයි අයියෙ...”
සෙනුරි සෙමින් කොඳුලාය. තම බඳ වටා ග්‍රහණය තව තවත් දැඩිවත්ම අසෙල් වේගය බාල කළේය.

“හයියෝ...දෙවියනි, කාට කියන්නද මේ දුක ඔබ හැර...හරි අතුරු පාරකින් යමු.”

දිගු සුසුමක් වාතලයට මුසු කළ අසෙල් මඳක් ඉදිරියේ වූ අතුරු පාරට බයික් එක හැරවූයේය. නිවසට එන තුරුම යුවතිය කිසිත් නොදෙඩුවාය.

***

සෙනුරිගේ පංති යාමත් අසෙල්ගේ වැඩට යාමත් පටන් ගෙන දැන් දැන් මාස කීපයක්ම ගතවී අවසන්ය. වේලාසන පංති නිමවූ දිනක හෝ හදිසියේ පංති නිවාඩු බව දැනගන්නට ලැබුණු දිනක අසෙල්ගේත් සෙනුරිගේත් සැන්දෑ වරු ගෙවී යන්නේ මෙලෙසිනි.

බොහෝ සැන්දෑ වරු වලදී රෙකෝඩ්බාර් එක ළඟ සිට සෙනුරිලාගේ නිවස තෙක් අතුරු පාරේ ඔවුන් දෙදෙනා බයික් එකේ ගමන් කරනු දැකීම සුලබ දසුනක් විය.ඔවුන් පෙම්වතුන් බව බොහෝදෙනාට තවදුරටත් රහසක් නොවීය.



***

“අසෙල් අයියෙ, අපේ පොඩ්ඩිට කරදරයක් වෙලා. ගිය බ්‍රහස්පතින්දා විද්‍යා පංති ඇරිලා හවස ගෙදර එද්දි කොල්ලො දෙන්නෙක් එයාගෙ පස්සෙන් ඇවිත්. බයික් එකකින්...දැන් කෙල්ල හොඳටම බය වෙලා ඉන්නෙ. ආයෙ පංති යන්න බෑලු..ඔයාට පුළුවන්නම් හවස එන ගමන් එයාව ගෙනත් දාගෙන යනවද?”

එසේ හමුවූ එක් බදාදාවක සෙනුරි අසෙල්ට කීවාය. පිරිමි පුළුටක් නැති ගෙදරක අම්මාට පමණක් දුවණියන් තිදෙනෙකුට ආරක්ෂාව දිය හැකිද?

“අයියෝ ඕක සුළු දෙයක්නෙ.. නංගිට බය නැතුව ඉන්න කියන්න.. මං හෙට ඉඳන්ම එක්කන් එන්නම් පොඩ්ඩිව..”

අසෙල් කීවේ දෙවරක් නොසිතාය. තමාගේ උදව් අවැසි කාටදැයි තරාතිරම නොබලා නොපැකිලව උදව් කිරීම අසෙල්ගේ සිරිතය.

“ඔන්න පොඩ්ඩියේ මං අසෙල් අයියට කිව්ව වැඩ ඉවර වෙලා එනගමන් ඔයාව එක්කගෙනම එන්න කියලා. ඔයා බය වෙන්න එපා.. පංතියට ගිහින් හොඳට ඉගෙන ගන්න..එයා ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන එකක් නෑ.. මං අම්මටත් කියන්නම්කො”

පොඩ්ඩිගේ කාමරය වෙත ගිය සෙනුරි, ඇගේ හිස අතගාමින් එසේ කීවාය. ඕනෑම බාල සහෝදරයෙකුට හෝ සහෝදරියකට තම වැඩිමහල් සොහොයුරා පියෙකු වැනිය, වැඩිමහල් සොහොයුරිය මවක වැනිය. පොඩ්ඩිටද ඒ මොහොතේ එය එලෙසින්ම දැනෙන්නට ඇත.

***

“නංගි, ගොඩක් වෙලාද පංති ඇරිලා?”

අසෙල් ඇසුවේ කණගාටුවට පත් ස්වරයෙනි.

“නෑ අයියෙ, මං දැන් මෙතෙන්ට ආව විතරයි. අපි යමුද?”

පොඩ්ඩි පිළිතුරු දුන්නාය. අසෙල්ගේ මුහුණේ අතුරුදන් වූ සිනාරැල්ල යළි කැඳවීමට ඒ වැකිය ප්‍රමාණවත් විය.පොඩ්ඩිව නංවා ගත් අසෙල් වැඩි වේලා නොගොස් සෙනුරිලාගේ නිවස කරා ළඟාවූයේය. ගමන අතරතුර කිසිදු සංවාදයක් සිදු නොවීය.

“පුතා තේ එකක් බීල යනවද?”

පොඩ්ඩි බයික් එකෙන් බසිද්දී මිදුලේ හුන් කාන්ති ඇසුවාය.

“නෑ අම්මේ, දැන් බෑ.. පොඩි වැඩක් තියෙනව...මං පස්සෙ වෙලාවක එන්නම්කො”

වැඩක් තිබුණා හෝ නොතිබුණා හෝ දැන්ම සෙනුරිලාගේ ගෙදරට පය තබන්නට අසෙල් මැලිවෙයි. ගේට්ටුව අසළින් සෙනුරිව හෝ පොඩ්ඩිව බස්සවා යෑම වෙනමම වැඩකි. දැන්ම ඉක්මන් වන්නට වුවමනා නැතිය යන්න අසෙල්ගේ හැඟීමයි.

***

“උඹ මගෙ බයික් එකේ තෙල් පුච්ච පුච්ච දවස ගානෙ එක එක කෙල්ලන්ට ට්‍රාන්ස්පෝට් දෙනව නේ?”

මස්සිනා කෙනෙකුට වඩා යහළුවෙකු සමාන ඇසුරක් පවත්වන පොඩි අක්කාගේ සැමියා, සාගර පැවසූයේ අසෙල්ගේ පිටට තට්ටුවක්ද දමමිනි. අසෙල් කලබල වූයේ නැත. ඇත්තෙන්ම වරදක් කර නැතිනම් කලබල වන්නට කිසිසේත්ම වුවමනාද නැත. අසෙල් මෙවැනි විහිළු හොඳින් හඳුනයි.

“නෑ බං අයියෙ, ඒ සෙනුරිගේ පොඩි නංගි.. පංති ඇරිලා ගෙදර ගිහින් දාන්න ගියා. වෙන ඉතින් සෙනුරි මිස කවුරුවත් යන්නෙ නෑ මා එක්ක...”

අසෙල් වැඩි ගණනකට නොගෙන මුව පුරා සිනහව පුරවාගෙන,සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය. මෙතෙක් වේලා රශ්මිගේ තුරුලේ හුන් නෙතුලි සාගර සොයා ආ  හෙයින් සංවාදය එතෙකින් නිමා විය.

***

“කවද්ද ඔයාට පංති නිවාඩු කිව්වෙ සෙනුරි?”

“ම්ම්ම්...ලබන අඟහරුවාද නෙමෙයි ඊළඟ අඟහරුවාදා...”

යුවතිය මඳක් කල්පනා කර පිළිතුරු දුන්නාය.

“ඔයා ගෙදරට කිව්වද එදාට නිවාඩු කියල?”

අසෙල්ගෙන් නැවත පැනයකි.

“තාම නෑ අසෙල් අයියෙ, ඇයි එහෙම ඇහුවෙ?”

ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව දැන දැනම යුවතිය කිසිත් නොදන්නා ලෙසම ඇසුවාය.

“නෑ හලෝ, ඔයත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න ආසයි.. ඒත් පංති පාඩු කරන් එක්ක යන්නත් මට දුකයි.. ඔයා මොකද කියන්නෙ? කැමතිද? කැමති නම් එදාට පංති යනව වගේ එන්න පුළුවන් නෙ..”

“අනේ මන්ද”



සෙනුරිට එක්වරම කියැවිණි. අහපු පළියට නිකන්ම හා කියන්නටද නොහැක. දැන් සෙනුරිට සිදු වී ඇත්තේ ‘උණු හින්ද බොන්නත් බෑ,කිරි හින්ද අහක දාන්නත් බෑ’ වැනි තත්වයකි. සෙනුරිගේ ප්‍රකාශයත් සමඟ අසෙල්ගේ මුහුණද තැලිච්ච කජු ලෙල්ලක් මෙන් වෙනස් වී ඇත.

“හ්ම්ම්..යමුකො එහෙනම්..”

දිගු නිහැඬියාවකින් අනතුරුව සෙනුරි යන්තම් තොල් සොලවමින් සෙමින් කීවාය.