ලෝකෙට ආපු අය

Monday, November 26, 2012

තුඹසකින් බණ පොතට


අප අසන බොහොමයක් සූත්‍ර  වල ආරම්භයේ 'ඒවං මේ සුතං, සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ....' කියල පටන් ගන්නවනේ. මේ කතාවත් එහෙම එකක්..

එක් දවසක් කුමාරකස්සප තෙරුන් වහන්සේ අන්ධවනයේ වැඩ ඉද්දි දෙවි කෙනෙක් මුළු අන්ධ වනයම ආලෝකමත් කරන විදියේ එළියක්‌ පතුරුවාගෙන උන්වහන්සේ ළඟට ආවා. ඇවිදින් එකත්පස්ව හිටගෙන මෙහෙම කිව්වා.


(මේ සංවාදයේ හැටියට ඒක සිද්ධ වෙන්නෙ බ්‍රාහ්මණයෙක් සහ නුවණැති පුරුෂයෙක් අතර. මේ දෙවියෝ කරන්නෙ ඒ සිදුවීම කුමරකස්සපයන් වහන්සේට කීම බවයි මට තේරුණේ. කෙසේ නමුත් සංවාදය පටන් ගැනෙන්නේ මෙහෙමයි)

“පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව,මේ තුඹස රෑ තිස්සෙ දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා”එතකොට බමුණෙක් කියනවා “ඒයි! ඤාණවන්තයා, ආයුධයක්‌ අරං ඇවිත් තුඹස හාරපන් කියල. ඉතිං ඒ  ඤාණවන්තයා ආයුධයක්‌ අරං ඇවිදින් තුඹස හාරද්දී අගුලක් අහු වුණා.

“ස්වාමිනී, අගුලක් තියෙනවනෙ!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය අගුල ඔසවා අයින් කරපන්.ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි ගෙම්බෙක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න ගෙම්බෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය ගෙම්බව උස්සල ගොඩට ගනින්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි දෙමංහංදියක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න දෙමංහංදියක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය දෙමංහංදියත් උස්සල අයින් කරපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි හිස් භාජනයක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න හිස් බඳුනක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය භාජනෙත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි ඉබ්බෙක් හම්බුණා. “ස්වාමිනී, මෙන්න ඉබ්බෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය ඉබ්බවත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි කඩුවකුයි,මස් කපන කොටේකුයි හම්බුණා. “ස්වාමිනී, මෙන්න කඩුවකුයි,මස් කපන කොටේකුයි හම්බුණා!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය කඩුවයි,මස් කපන කොටෙයි උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයෙමත් ආයුධයෙන් හාරපන්” කියල.

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි මස් වැදැල්ලක් දැක්කා. “ස්වාමිනී, මෙන්න මස් වැදැල්ලක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔය මස් වැදැල්ලත් උස්සල පැත්තකින් තියපන්. ඒයි, ඤාණවන්තයා ආයෙමත් ආයුධයෙන් හාරපන්” කියල..

ඉතිං ඒ නුවණැති පුද්ගලයා ආයෙමත් හාරාගෙන යද්දි නාග රාජයෙක් හම්බුණා. “මෙන්න ස්වාමිනී, නාග රාජයෙක්!” එතකොට බ්‍රාහ්මණයා කියනව “ඔව්! ඔය නාග රාජයා ඔහොම හිටපුවාවේ. ඔය නාග රාජයා එක්ක හැප්පෙන්න යන්න එපා! නාග රාජයාට වන්දනා කරපන්!” කියල.

ඉතිං මේ කතාව කියල ඒ දෙවියෝ කුමාරකස්සප තෙරුන්ට කියනව භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිං මේ ප්‍රශ්න ටික අහන්න. ඒවාට නියම පිළිතුරු දෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට පමණක් බවත් කියල ඒ දෙවියා එතනම නොපෙනී ගියා.

ඉතිං දැන් කුමාර කස්සප තෙරුන් වහන්සේත් රාත්‍රිය පහන් වෙනකල් ඉඳල භාග්‍යවතුන් වහන්සේ දකින්න ගියා. ගිහිං වැඳලා එකත්පස්ව ඉඳගෙන පෙර දින රාත්‍රියේ තමන් ළඟට ආපු දෙවියා කියපු කථාව බුදුන් වහන්සේට නොඅඩුව පැවසුවා. ඉන්පස්සෙ උන් වහන්සේ මෙහෙම ප්‍රශ්න කළා.

“ස්වාමිනී, තුඹස කියන්නෙ මොකක්ද? රෑ තිස්සෙ දුම් දාන්නෙ මොනවද? බ්‍රාහ්මණයා කියන්නෙ කවුද? ඤාණවන්තයා කියන්නෙ කවුද? ආයුධය කියන්නෙ මොකක්ද? හාරනවා කියන්නෙ මොකක්ද? අගුල මොකක්ද? ගෙම්බා කවුද? දෙමං හංදිය මොකක්ද? හිස් භාජනේ මොකක්ද? ඉබ්බා කවුද? කඩුවයි මස් කපන කොටෙයි කියන්නෙ මොකක්ද? මස් වැදැල්ල කියන්නෙ මොකක්ද? නාග රාජයා කියන්නෙ කවුද?”

කුමාරකස්සප හාමුදුරුවන්ට ප්‍රශ්න වැලයි.

භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දෙන්න පටන් ගත්තා.

“පින්වත් භික්ෂුව, තුඹස කියල කියන්නෙ මේ ශරීරෙට කියන තවත් නමක්. මව්පියන් නිසා හටගත්ත, බත් මාළුපිණි වලින් හැදෙන වැඩෙන, අනිත්‍ය වූ, ඉලීම පිරිමැදීම් කරන, බිඳී යන ස්වභාවයට අයිති මේ සිරුරටයි තුඹස කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉන්නවා- කල්පනා කර කර ඉන්නවා දවල් කරන්න ඕන දේවල් ගැන, ඒකට තමයි රෑ තිස්සෙ දුම් දානවා කියල කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉඳලා- කල්පනා කර කර ඉඳලා දවල් කාලෙදි සිතින්,කයින්,වචනයෙන් කටයුතු කරන එකට තමයි දවල් කාලෙදි ගිනි ගන්නවා කියන්නෙ.”

“පින්වත් භික්ෂුව, බ්‍රාහ්මණයා කියල කියන්නෙ අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, ඤාණවන්තයා කියල කියන්නෙ නිවන් මගේ හික්මෙන භික්ෂුවට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, ආයුධය කියල කියන්නෙ ලෝකෝත්තර ප්‍රඥාවට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, හාරනවා කියල කියන්නෙ පටන් ගත්තු වීර්යයට කියන නමක්.”

“පින්වත් භික්ෂුව, අගුල කියල කියන්නෙ අවිද්‍යාවට කියන නමක්. අගුල උස්සල අයින් කරන්න කිව්වෙ අවිද්‍යාව දුරු කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව,ගෙම්බා කියන්නෙ බලවත් ක්‍රෝධයට කියන නමක්. ගෙම්බව උස්සල අයින් කරන්න කිව්වෙ බලවත් ක්‍රෝධය අයින් කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, දෙමං හංදිය කියන්නෙ සැකයට කියන නමක්. දෙමං හංදිය උස්සල අයින් කරන්න කිව්වෙ සැකය අත් අරින්න කිව්ව එකයි”

“පින්වත් භික්ෂුව, හිස් භාජනය කියල කියන්නෙ නීවරණ පහට කියන නමක්. හිස් භාජනය උස්සල අයින් කරන්න කිව්වෙ පංච නීවරණ අත් අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, ඉබ්බා කියල කියන්නෙ උපාදානස්කන්ධ පහට කියන නමක්. ඉබ්බව උස්සල අයින් කරන්න කිව්වෙ උපාදානස්කන්ධ පහ අයින් කරන්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, කඩුවයි- මස් කපන කොටෙයි කිව්වෙ පංච කාම ගුණ වලට කියන නමක්. කඩුවයි මස් කපන කොටෙයි අයින් කරලා තියන්න කිව්වෙ පංච කාම ගුණයන් අත් අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, මස් වැදැල්ල කියන්නෙ ආශ්වාදයෙන් ඇලීමට කියන නමක්. මස් වැදැල්ල උස්සල අයින් කරන්න කිව්වෙ නන්දිරාගය අත අරින්න කිව්ව එකයි.”

“පින්වත් භික්ෂුව, නාග රාජයා කියල කියන්නෙ ආශ්‍රවයන් ක්ෂය කළ රහතන් වහන්සේට කියන නමක්.”

තමන් වහන්සේට නැගුණු ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණු නිසා කුමාරකස්සප තෙරුන් වහන්සේ මහත් සතුටට පත් වුණා.

පැහැදිලි කිරීම් :-

පංච නීවරණ  
  • කාමච්ඡන්ද- කාම අරමුණු වලට ඇති ආශාව
  • ව්‍යාපාද - තරහ ඇති වීම
  •  ථිනමිද්ධ - නිදිමත හා අලස බව
  • උද්ධච්ඡ කුක්කුච්ඡ - හිතේ විසිරීම හා පසුතැවිල්ල
  • විචිකිච්ඡා - සැකය

පංච උපාදානස්කන්ධ

  • රූප උපාදානස්කන්ධය 
  • වේදනා උපාදානස්කන්ධය
  • සඤ්ඤා උපාදානස්කන්ධය
  • සංඛාර උපාදානස්කන්ධය
  • විඤ්ඤාණ උපාදානස්කන්ධය


පංච කාම ගුණ
  • රූප
  • ශබ්ද
  • ගන්ධ
  •  රස
  • ස්පර්ශ


ලිපිය සකස් කළේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත “සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය - මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකය” කියන පොතේ ඕපම්ම වර්ගයේ වම්මික සූත්‍රය කියන පරිච්ඡේදය ඇසුරු කරගෙනයි.

ප.ලි - අර තුඹස කියන වචනෙ දැක්ක වෙලේ ඉඳං මට මතක් වුණේම “දූරංගමං ඒක චරං - අසරීරං ගුහාසයං..” කියන ගාථාව තමයි. ඇත්තටම අපි තාමත් රෑට දුම් දාන , දවල්ට ගිනි ගන්න තුඹස් නේද?

හිතක හැටි!!!

හැමට බැතිබර ඉල් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි!!!

Wednesday, November 21, 2012

තරු (නු)දුටු රැය


මාතෘකාව දැකල ප්‍රබන්ධ කතාවක් කියල රැවටුණේ නෑ නේද??? නෑ නෑ... ඔන්න අද කියන්න යන්නෙ මගේම කතාවක්. මේ සිද්ධිය උනේ 2004 අවුරුද්දේ. ඒ කියන්නෙ මම 9 වසරෙ නේද? ම්ම්ම්.... ඔව් ඔව් 9 වසරෙ තමා JJJ

ඉතින් 9 වසර මුල ඉඳං මම තමා විද්‍යාව විෂය නායිකාව. ඒ වගේම දෙවෙනි වාරෙ ඉඳං පන්ති නායිකාව. (මේ ටික කිව්වෙ පම්පෝරියට නෙමේ හරිද ළමායි...අවස්ථාව පැහැදිලි කරන්න ලේසි වෙන්න JJ)

මේ කාලෙ මම විද්‍යාවට පොඩ්ඩ පොඩ්ඩ ආස වේගන එන කාලේ.ඉස්සරමත් ආසයි, හැබැයි විද්‍යාවට නෙමෙයි..... ආරම්භක විද්‍යාවට JJJ... මේ කාලේ වෙද්දි මට විද්‍යාවට ලකුණු හැත්තෑ ගණන් ලැබුණු කාලෙ ( පස්සෙ පස්සෙ ටික ටික වැඩි වූ බව කරුණාවෙන් සළකන්න J) කලින් තිබ්බේ හැට ගණන් වල... ඉතින් ඒ කාලේ විද්‍යා අච්චු පොතේ තාරකා රාශි, රාත්‍රී අහස ගැන පාඩමක් එහෙම තිබුණ මතක අයට මතකයිනෙ නේද? J ඒ පාඩමෙන් අපට පොතක් හදන්නත් දුන්නා. ඒ පොත් හැදිල්ලත් වෙනමම කතාවක්.. (පස්සෙ කියන්නංකො..අද කියන්නෙ පොත් හදන එක ගැන නෙමෙයිනේ. )

ඔන්න ඉතිං අගෝස්තු මාසෙ දවසක රෑ, ඉස්කෝලෙ තරු කඳවුරක් පවත්තන්න අපේ 9 වසරෙ විද්‍යා ගුරුවරු කතාවුණා. (2004 උසස්පෙළ විභාගෙ තිබ්බේ අප්‍රියෙල් වල කියල දන්නවද? JJJ) කොහොමින් කොහොමින් හරි අන්තිමට දවස අගෝස්තු 19 වෙනිදට යෙදුණා. මේ තරු රෑ වෙනුවෙන්ම බ්‍රිසිල්බෝඩ් සයිස් එකේ, නිල් පසුබිමේ සුදු පාටින් මුද්‍රණය කරලා ලැමිනේටින් කරපු, ලස්සන තරු සිතියමක් අපිට ලැබුණා... ආ.... නිකං නෙමේ...සල්ලි වලට... J විෂය නායකයට කිසි ගාණක් නෑ.ඔක්කොම මම කරල දෙනකල් සද්ද නැතුව ඉන්නවා. සිතියම රු 160යි. එක එක ළමයා ගාවට ගිහිං සිතියම් බෙදල සල්ලි එක්කහු කලෙත් මම... L (එදාට එනකොට හැමෝටම ඒක ගේන්න කිව්වනේ)


අගෝස්තු 9 වෙනිදා හවස වගේ මට උණ ගැනුණා. අපි ඉතිං උණක් ගැනුණට එතරම් කලබල වෙන්නෙ නෑනේ. ඒ හින්ද අඩුවෙයි කියල පැනඩෝල්, සමහන් අරව මෙව්වා බිව්වා මිසක් බේත් ගන්න උනන්දු වුණේ නෑ. මම ඉස්කෝලෙ ගියෙත් බස් එකේ. ඔන්න එක දවසක් මට උදේ බස් හෝල්ට් එකට ආවම කැරකිල්ල වගේ. බස් එකත් ආව. වෙනද වගේ පොරකාගෙන නගින්නත් පණ නෑ. අමාරුවෙන් නැග ගත්තා, මෙන්න ඒ පාර සීට් එකක් නෑ L ටිකක් දුර එහෙම්ම ගියා. දැන් නම් ඉන්න බෑ. අක්ක කෙනෙක්ට කියල සීට් එකක් ඉල්ලගත්තා. ඉස්කෝලෙට ගියාට වැඩක් වුණෙත් නෑ. ඔලුව උස්සගන්න බෑ. අපේ පංතිභාර මිස් ගෙදරට කෝල් කරල, අම්ම ආව මාව එක්ක යන්න... JJJ අගෝස්තු 17,18 වෙද්දි මට කොච්චර අසනීපද කියනවනම් කතා කළාට උගුරෙන් ශබ්දය පිට නොවෙන තරම්.

9 වෙනිදා හවස පටන් ගත්තු උණ 19 වෙනකල්ම හොඳ උනේ නෑ. එක පාරක් බේතුත් ගත්තා...ම්හු... අඩුවක් නෑ. ඔන්න 19 වෙනිදත් වුණා. මට කොච්චර යන්නම ඕන උනත් අම්ම මාව යැව්වෙම නෑ කඳවුරට... LLL එදා රෑ අපි ඉස්කෝලෙ දිහා බල බල ගියා පවුලේ වෛද්‍යවරිය ගාවට.. ඉක්මණට උණ බහින්න පස්ස පැත්තෙන් දාන බේත් එකක් තියෙනව දන්නවනේ නේද? අන්න ඒක තුණ්ඩුවේ ලිව්ව ගෙදර ගියාම ගන්න. තව බොන්න බේතුත් දුන්නා. හැබැයි ගෙදර ගිහිං ඒක ඇතුල් කළාට පස්සෙවත් උණ බැස්සෙම නෑ.
අපේ පාරේ මහගෙවල් තියෙන ඩොක්ටර් කෙනෙක් වැඩ කළා හොස්පිටල් එකේ. නම ප්‍රභාත්. ඉතිං එදා රෑ එයා බෙහෙත් දෙන චැනල් සෙන්ටර් එකේ රෑ 12 වෙනකල් බේත් දෙන හින්ද අපි රෑ 12ට අංක ගන්නෙත් නැතුව එයාට පෙන්නන්න ගියේ එයාගේ තාත්තා (ස්ටීවන් අංකල්)ගේ උදව්වෙන්. ඔන්න එවෙලේ එයා කියපි එවෙලෙම මාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියල... ඒ මහ රෑ 12ට.... L ගොඩක් රෑ වෙලා නිසා අපි ගියේ පහුවදා උදේම.

පොඩ්ඩ වෙලාවක් එලියෙ ඇඳක ඉන්න උනත් ඉක්මණටම මට ඇතුලේ වාට්ටුවක ඇඳක් ලැබුණා. ඒත් කාවවත් නවත්තගන්න දෙන්නෙත් නෑ... LLL අම්ම නැතුව ඉන්නත් බෑ... ඩොක්ටර් ප්‍රභාත්ගෙත් ඇඳුනුම්කම උඩ අම්මව බලෙන්ම වගේ නවත්ත ගත්තා. උදේ ලොකු දොස්තර මහත්තයයි අනිත් අයයි එද්දී "she is my neighbour" කියනවා එහෙම මං අහගෙන.
හොස්පිටල් එකට ගෙනෙද්දී මට 102ට උණ. දැන් ඉතිං සෙන්ටිග්‍රේඩ්ද ෆැරන්හයිට්ද අහන්න ඔට්ටු නෑ හරිද JJJ මම දන්නෙත් නෑ. මුත්‍ර සාම්පල පරික්ෂායි, රුධිර පරික්ෂායි අම්මෝ සේලයින් නොදුන්න විතරයි.ඇයි අලි අලි බේත් පෙති... L අනේ ඉතිං මම 24 වෙනකල් ලෙඩ ඇඳේ.
අපරාදෙ කියන්න බෑ ඉතිං අපේ නෑදෑ රොත්ත බුරුත්තම ආව මාව බලන්න. වැඩේ කියන්න ඒ දවස්වල මට බත් කන්න බෑ හරිද? J ඉතිං කෑවෙම මිදි. වෙන මොකුත් කන්නෙත් නැති නිසා කට්ටියම ගේන්නෙත් මිදිම තමයි... JJJ උදේට එහෙමත් කිරිතේ හෙම යහමින් ලැබුණා.
අපේ අම්ම වෙන කෙනෙක්ව නවත්තල ගෙදර ගිය දවසක උදේ මාව ලේ ගන්න එක්කන් ගියා. අම්මෝ හතර පොළකට ඇන්න මට ඉන්ජෙක්ෂන් කට්ටෙන්. හොඳ වෙලාවට 4 වෙනි පාර ලේ ආවේ. නහර වේලිලාලු. ලේ නෑලු. LLL
පපුවෙ එක්ස්-රේ එහෙකුත් ගත්ත 2නි හෝ 3නි දවසේ.. පපුවෙ එක පැත්තක සෙමලු. පස්සෙයි දැනගත්තෙ මට හැදිලා තියෙන්නේ වෛරස් උණ කියල. සති දෙකක් විතර එකසීරු උණ... සෙල්ලං නෑනේ... JJJ
අන්තිමේ 4නි දවසෙ මට ගෙදර යන්න දුන්න. ගෙදර ආවත් මම වැඩිපුර ඇඳේ තමා. ගොඩාරියක් කෙට්ටු උණා. කෙට්ටු නම් උනත් කමක් නෑ, ඉස්කෝලෙ නම් පාඩු උනත් කමක් නෑ... ඒත් තරු රෑ ආයේ එන්නෙ නෑනේ. L ඒකට තමා හුඟක්ම දුක හිතුණේ.
මාර වැඩේ ඒක නෙමෙයිනේ. 2005 අවුරුද්දෙත් ඒ කාලෙ වෙද්දි මට ආපහු වෛරස් උණ හැදුනනේ. කොහොම හරි බේත් වලින් ඒක අඩු වෙලාම ගියා. ඒ පාරත් දවස් 10 වගේ උණ...
ඒකෙන් මේකෙන් අන්තිමේ තරු සිතියනුත් අරගෙන. අනිත් බඩු භාණ්ඩත් ලෑස්ති කරගෙන, තරු කඳවුරට එන්න පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු මට වුණේ එදා රෑ දොස්තරලා ගානේ යන්නයි පහුවදා හොස්පිටල් ඇඩ්මිට් වෙන්නයි. JJJ

මං  හිතන්නෙ 19 වෙනිදා මට සෑහෙන්න අපලයිද කොහෙද... 19 වෙනිදවක වුණු තවත් අපල කතාවක් බලන්න මෙතනින් යන්න. බලපු අය දන්නව කතාව.. දැන් 19 වෙනිදට හරි පරිස්සං... මොන මරාලයක් කඩා පාත් වෙයිද දන්නෙ නෑනේ... JJJ

Monday, November 5, 2012

පාට දෙකේ රෝස මල (කෙටි කතාව)

උදෑසන ගෙවත්තේ සක්මන් කරන කළ කල්පනාවකින් තොරවම රෝස පඳුර අසළ නතර වීමි. එහි උසම අත්තේ කටු අතර නටු අග පිපි රෝස මල නැහැයට ලං කළෙමි. වෙනත් රෝස මල් වලින් වහනය වන සැර සුගන්ධය මට නොදැනුණි. සෞම්‍ය සුවඳකින් මා සිත වෙලී යන්නට විය. කිනම් හෝ අපූර්වත්වයක් ඒ පසු පස ඇතැයි සිතේ අධිග්‍රහණය වූ සිතුවිල්ලකින් මා රෝස මල ඇමතුවෙමි.

"රෝස මල් කැකුළිය, ඔබේ සුගන්ධය හරිම ප්‍රසන්නයි, සෞම්‍යයි. ඔබ බොහොම ප්‍රියමනාපයි. ඒත් ඔබ දුටුවනම මට ඔබේ මුහුණේ දුකක සේයාවක් පෙනෙනවා. ඔබ ඔබේ කතාව කියන්නට සතුටු නම් අහන්නට මම සූදානම්."

"ඒක බොහොම දිග කතාවක් මිත්‍රයා."

"ඒකට කමක් නෑ. මට ඇති තරම් වෙලාව තියෙනවා."

"හොඳයි, එහෙම නම් අහගන්න. මීට දෑ අවුරුද්දකට පෙර ඔබ අපේ අම්මව  පොළවෙ ඉන්දෙව්වේ කොයිතරම් ආසවෙන්ද කියල අපේ අම්ම මටයි මගේ සහෝදරියන්ටයි කියල තියෙනවා. ටිකෙන් ටික දළු දදා හැඩ වෙද්දි, ඔබ ළඟට ඇවිදින් සිංදු කියපු හැටි අම්ම අදටත් මතක් කරනවා. ඒ විතරක්යැ හැමදාම කන්න බොන්න දීල අපිව ලෙඩරෝග වලින් බේරගත්තු හැටිත් මට මතකයි...

ඔය අතරෙ මං ටික ටික ලොකු උණා. මුළු රෝස පඳුරේම හිටපු දඟකාරම පුංචි කැකුළි මම. ඒ නිසා පවුලෙ කවුරුත් මට ආදරෙන් උන්නා."

"එතකොට ඔබ  ඒ කාලෙත් දැන් ඉන්නවා වගේ පාටද?"


බලන බලන වාරයක් පාසා එළියට පනින්නට වෙර දැරූ පැනය ඇගේ විරාමයක් ලද ඇසිල්ලෙහි ඈ වෙත යොමු කළෙමි.

"නැහැ යාළුවා, මම ඒ කාලේ මීට වඩා රතු පාටයි. හැඩයි. ඔබ දන්නවනෙ ආදරෙ පාට රතු කියල"

මෑතකදී මා සවන් වැකි අයුරින් 'ආදරයේ අළුත්ම පැහැය නිල්' වුවද සම්ප්‍රදායට හිස සැලීමි. රෝස මල් කැකුළිය සමඟ වාද කරගැනීමේ උවමනාවෙක් මට නැති.

 මගේ නිහඬ ප්‍රතිචාරය ලද ඈ නැවත කතාව ඇරඹුවාය.

"ඒ කාලේ තමා මගෙ ලස්සනම කාලේ. පඳුරේ පිපුණු හැම රෝස මලම ආදරේට මට කිව්වේ රෝස කුමාරි කියලා. මී මැස්සෝ මගෙ පස්සෙ ආවට එයාල රිද්දන නිසා මම මල් පෙති වලින් මූණ හංගගෙන හිටියෙ. අහිංසක සමනල්ලු දෙතුන් දෙනෙකුත් මා වටේ කැරකුණේ අපේ අම්මටත් හොරෙන්.

ඔය අතරෙ මගෙ හිත ගත්තු සමනළයෙක් හිටියා. එය ඇඟපතින් ලොකු උනාට හිතින් පුංචි එකෙක් වගේ උන්නේ. රොන් ගත්තම මට ස්තුති කරලා මා වටේ නැටුමකුත් නටලයි එයා ගියේ. එයයි මායි පෙම්වත්තු වෙච්චි බව කවුරුවත් දැනන් උන්නෙ නෑ. හැමදාම මාව බලන්න ආපු ඒ සමනළයගේ අත්තටු මගෙ මල් පෙති වල ගෑවෙද්දී මං හරි ආසාවෙන් විඳගත්තා. එතකොට මං උන්නෙ පඳුරේ යටම අත්තේ.  මගෙන් පාට අරන් එයා ලස්සන උනා තවත්."

"ඒ උනාට දැන් ඔබ ඉන්නෙ ඉහළම අත්තෙනේ. කොහොමද ඔබ එතනට ගියේ?"

"කතාව තවම බාගයයි යාළුවා. පොඩ්ඩක් ඉවසන්න. පහු වෙනකොට මගෙ සමනළයා මට හාදුවක් දීල යන්න පුරුදු වුණා. මට ඔහු නොදැක ඉන්න බැරි උණා.ඔහු වගේ ඉගිලෙන්න බැරි නිසා මං අක්කල ගාවට වෙලා ඔහු එනකල් විනාඩි, පැය, දවස් ගැන්නා.

එක කාලයක් ඔහු දිගටම ආව ගියා. ටික ටික මම හැඩ වෙද්දි මාව දැකපු බඹරු මං වටේ කැරකෙන්න ගත්තා. මලක් උනාම මී මැස්සො, සමනල්ලු, බඹරු පස්සෙන් එන එක මල් වෙච්චි අපිට අරුමයක් නෙමෙයි උනාට මගෙ සමනලයට ඒක පෙනුනෙ වැරදියට. එයා මට කතා කළේ හරියට මං බලෙන් බඹරු ගෙන්න ගත්ත වගේ. ඒක හරි වැරදියි නේද? එහෙනම් ඉතින් මලක් මලක් ගානේ ගිහින් රොන් එකතු කරන එයාට මම මොනවා නම් කියන්න ඕනද?"

"ඔබ කැමති නම් මමත් ඔබට රෝස කුමාරි කියා අමතන්නම්. ඉතින් රෝස කුමරියනි, ඔබ කියූ කතාව නම් සැබෑවක්මයි. සමහර විට ඔබ අහල තියේවිද මා දන්නේ නෑ.. 
           
                      බඹරුන් පසුපස මල් දිව නොගියත්
                                   අවමන් වින්දේ මල් කුලයම නොවේදෝ

කියා සිංදුවකුත් තියෙනවා. හොඳයි ඉතිරියත් කියන්න ඔබේ කතාවෙ."

ගෙතෙන්නට යන්නේ මගේ කතාවම දෝ හෝයි සිතා ගත නුහුනුව ඈට රිසි පරිදි ඉදිරියට යාමට ඉඩ දුනිමි.

"ඉතින් ටිකෙන් ටික ඔහු මගෙන් ඈත් වුණා. ළඟටම ඇවිත් ම දෙස නොබලා වෙනත් මල් වලින් රොන් අරන් යන්න පුරුදු වුණා. ඒත් ඔහු කවදා හෝ මා වෙත එයි කියන බලාපොරොත්තුවෙන් මා හැමදාම පිපුණා. නමුත් කවදාවත් ඔහු ආවෙ නෑ. මගේ පැහැය ටික ටික අඩු වුණා. කාන්තිය නැති වෙලා ගියා. සුවඳ සැර අඩු වුණා. ඒත් මම හැමදාම බලාපොරොත්තුවේ ජීවත් වුණා. 

අපේ අම්ම නම් කිව්වෙ ඔබ අපට දුන් කෑම වේල් අතපසු කළ නිසා මං මැලවිලා ගිහින් කියලයි. ඒත් මං ඒක පිළිගත්තෙ නෑ. එහෙනම් මගේ සහෝදරියන්ටත් එහෙම වෙන්න ඕනනෙ."

මා තනිව කල්පනා කළා. ඈ කියන කතාව ඇත්ත. මා ආදරයෙන් හදා ගත් රෝස පඳුරට වතුර දමා, පොහොර දමා සාත්තු කළේ නෑ මම. අමතක වුණාද මට? නෑ නෑ අමතක වුණා නෙවෙයි.. හිතා මතාම අමතක කළා.. දෑ අවුරුද්දකට පෙර ඉතා මහන්සියෙන් හැදූ මගේ රෝස පැළයට මැරෙන්නට ඉඩ දුන්නා...!!!

"ඔබ බර කල්පනාවක වගේ යාළුවා. කතාවේ මෙතෙක් දුර ඇවිත් ඉතිරිය අහන්නට ඔබේ සූදානමක් නැතිද?"

මගේ සිත වෙනතක ගිය බව රෝස කුමරිය කෙසේ නම් දැනගත්තීද? එයින් කම් නැත. වහා සමාව අයැදිය යුතුව තිබේ.

"සමාවන්න කුමරියනි, පවසන්න ඔබේ කතාව"

"හොඳයි, ඉතින් කාලය ගතවෙද්දී මා අතිශයින් කෘශ වුණා. එහෙත් මා වටා මී මැසි, බඹරුන් ගැවසීම නම් නිමා වුණේ නෑ. අන්තිමේදී යළි විකසිත නොවී සිටීමට අදිටන් කරගෙන මම පෙති ඇකිලුවා."

"එහෙම උණා නම් ඔබ කොහොමද ඔතන ඉන්නෙ?"

"හොඳ ප්‍රශ්නයක් යාළුවා. එක් නියං කාලයක් ආවා. මං විතරක් නෙවෙයි පඳුරේ මල් අක්කල ඔක්කොම වේලිලා ගියා. කෑම නොලැබුණත් යන්තමින් හරි තිබුණු තෙතමනය එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. අම්ම යන්තම් පණ ගැටගහගත්තේ ගොඩක් දුක් විඳලා. එයා නැති උණා නම් අපිත් ඉවරයි.

මාස ගානක නියං කාලෙකින් පස්සෙ වැටුණු පොද වැස්සෙන් අපි ආයෙම පණ ගහල නැගිට්ටා. අම්ම මට කිව්ව උඩ අත්තක පිපෙන්න කියල. නිකං ඇඟට වැටුණු වතුරෙන් මූණ හෝදගත්තු මම අක්කලාගේ උදව්වෙන් ආයෙමත් හීං සැරේ පුංචියට පිපුණා. පස්සෙ තමයි මං දැක්කෙ පාට වෙනස් වෙලා කියලා.

අර සමනළයා මගේ පාට අරන් ගිහින්. ඉස්සර වගේ ලස්සනත් නෑ. වැහැරිලා මම... හැබැයි අලුතින් ලියලන පෙති නම් තද පාටට හැරීගෙනයි එන්නෙ.. මේ,ඔබට පේනවද?"

ඈ මඳක් එහා මෙහා හැරෙමින් සිය හැඩ මට පෙන්වන්නීය.

"ඔබ තාමත් ඉන්නෙ ඒ සමනළයා බලාපොරොත්තුවෙන්ද?"

නොඇසිය යුත්තක් මුවඟ නැගුණද එය නොවිමසා සිටීමේ හැකියාවක් මා සතු නොවන බැවින් එම පැනය නොවලහා ඈ වෙත ඉදිරිපත් කළෙමි.

"නැහැ යාළුවා, ඒ සමනළයා දැන් මගෙ නොවෙයි. ඔහු අල්ලපු රෝස පඳුරේ රෝස කැකුළියක් එක්ක හාදවෙලා බව මං දැනගත්තෙ ඔහුගෙ යාළුවන්ගෙන්. ඉන්පසු මා ඔහු ගැන අදහස අතහැරියා. දැන් මම පිපෙන්නේ ඔහු වෙනුවෙන් නෙවෙයි."

මඳහස නැගී මුවඟින් ඈ එසේ තෙපලද්දී ඒ ඇසූ මම වික්ෂ්පිත වූයෙමි.

"එහෙනම්?"

"රෝස මලක් වෙච්චි මට අම්මගෙ තුරුලෙ පිපෙන්න හේතුවක් තියෙන්නම ඕනද යාළුවා?"

ඇගේ පිළිතුරෙන් මා නිරුත්තර වීමි. ඇගේ ප්‍රකාශය සැබවි. නියඟයෙන් පීඩා විඳි රෝස කුමරිය වැස්සෙන් පණ ලබා නැගී සිටියාක් මෙන් මගේ හද අරක්ගෙන තිබූ ඉඩෝරයටද මල් වැස්සක පහස දැනෙන්නට පටන් ගෙන තිබේ. මගේ හද නමැති රෝස කුසුම වටාද නැවත සමනළයෙකු පියාඹන්නට පටන් ගෙන තිබේ!!!

"රෝස කුමරියනි, ඔබේ කතාවත් මගේ කතාවම වගේ.මගේ පෙම්බරාට තිළිණ කිරීමට මා ඔබව නෙළා ගන්නද?"

තේරුම් ගැනීමට අපහසු බැල්මක් මා වෙත හෙලූ ඈ අවසන මෙසේ පැවසුවාය.

"සමනළයෙකු නිසා පැහැය අහිමිවෙලා කේඩැරි වුණු මා ඔබේ පෙම්බරාට පිදීමට සුදුසු නම් මා කැමතියි ඒ ප්‍රේමයේ සළකුණ වෙන්න"

රෝස කුමරිය වෙත පහත් වූ මම ඈ සිපගෙන, නටුව මඳක් දිගට සිටින අයුරින් ඇය නෙළාගෙන කාමරය වෙත පියමැන්නෙමි.
                                   
***

රැයේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව තවමත් සිරි සිරි හඬ නංවමින් පොළවට ඇදහැලෙමින් තිබේ. සිහිනයෙන් අවදි වූ මම මැදියම් රැයේ  අඳුරේම රෝස පඳුර වෙත ඇදුනෙමි. රෝස කුමරිය තවමත් මා දෙස බලා සිනාසෙමින් සිටින්නීය.