ලෝකෙට ආපු අය

Tuesday, April 24, 2012

ශිෂ්‍යත්ව පංතිය

මම ශිෂ්‍යත්ව පංති ගියේ හතර වසර ඉඳං.. අම්ම තමා මාව එක්කන් ගියේ. ගියේ අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් වෙච්ච අනුර සර් ගාවට. මාත් එක්ක එක පංතියේ හිටපු ළමයි වගේම අනිත් පන්ති වල ළමයිනුත් එහා ඉස්කෝලෙ ළමයිනුත් ඒ සර්ගේ පන්තියට ආව.. 


සර්ගෙ අකුරුත් ලස්සනයි.. ඒ කාලේ අපිට උගන්නපු විෂයන් දෙක තමා අභියෝග්‍යතා සහ සමස්ථ විෂය ... පංතියේ මගේ අංකය 12.. පංතිය සිවිලිම් ෂීට් ගහපු එකක්.. දාඩිය දාන්නෙත් නෑ නෙමේ... හැබැයි පුංචි අපිට ඒක එතරම් ගාණක් උනේ නෑ.. හැමෝම ආසාවෙන් ඉගෙන ගත්තා..


බයනු අල් තයනු කෑමට ගිය         කලට
මායනු ලුයනු නැති බව පෙනුණි   මට
ජායානු ඩියනු තම්බා තිබුණි         කෑමට
වීයනු සියනු කර මම ආවෙමි       පිළට 
මේක අපිට උගන්නපු කවියක්.. කෑම වර්ග හොයන්න... 


ඉස්කෝලෙ උගන්නන ගමන් හවස ශිෂ්‍යත්ව පංති කරපු තවත් සර්ලා දෙන්නෙක් හිටියා. ඒ තමා ජයරත්න සරුයි ලයනල් සරුයි..  එයාලගෙ පංති වලටත් ළමයි හිටියෙ නැත්තෙ නෑ.. ඒත් අනුර සර්ට තරම් නෑ.. ඒ අනුර සර්ගෙ කරුණාවන්තකම නිසා වෙන්න ඇති..


හතර වසර අවසාන වාරෙත් ඉවර වෙලා 2000 අවුරුද්දෙ අපි අලුත් පන්තියට ගියා. ඒ වෙනකොට අපේ ඉස්කෝලෙ පොඩි පැත්තට තිබ්බ එකම තට්ටු දෙකේ ගොඩනැගිල්ලෙ තිබ්බ පංති කාමර හතරෙන් එකක් තමා අපිට හම්බුණේ.. පල්ලහෑ තට්ටුවේ ඉඳං නැග්ගම දෙපැත්තට පංති දෙක ගානේ තිබුණේ. අපි 5-E පංතියේ..හෝල් එකේ එක මුල්ලක... අපිට එහා පංතිය C... පඩිපෙලෙන් එහා B, අනිත් මුල්ලෙම A... D පංතියේ කට්ටිය වෙන හෝල් එකක.. අයිනෙ පංතියක් හම්බුණාට සතුටු උණත් ටික දවසකින් සතුට අතුරුදහන් වුනේ හෝල් එකේ උළුවස්ස අස්සේ හිටපු පරවි සංහතිය නිසා... හැමදාම උදේට ඉස්කෝලෙ ඇවිත් ඩෙස්ක සුද්ද කරන්න උණා.. ඒ වෙනකල් පරවියෝ ගැන කිසිම හැඟීමක් නොතිබුණු මට පරවියෝ අප්පිරියම උණා.. 


මට ගොඩක්ම සතුටු හිතුනෙ මගේ ආසම සර් වෙච්ච අනුර සර් අපේ පංති භාර සර් වුණ එකටයි..මම විතරක් නෙමේ පංතියේ ළමයි හැමෝම වගේ  ඒ ගැන සන්තෝසෙන් හිටියේ.... කලින් අවුරුද්දේ ඉඳං පංති ආපු නිසා සර් පංතියේ ළමයි ගොඩ දෙනෙක්ව අඳුරගෙන හිටියෙත්.. ඉඳල හිටල අපිට සැර කලාට කවදාවත් ගැහුවෙ නෑ අත උස්සලා.. ඒ වගේම ළමයිනුත් සර්ට ගොඩාක් ආදරේ කළා. අපේ පංතියේ හැම ළමයම සර්ගේ පංති නාවත් සර් ඒ ළමයින්ව නොසලකා හැරියේ නෑ. ඉස්කෝලෙ හවස පන්තියක් දාල ආදර්ශ ප්‍රශ්න පත්තර කෙරෙව්වා.ශිෂ්‍යත්ව විභාගෙ වෙනකල්ම අපිට උපදෙස් දිදී සර් අපිට හොඳටම ඉගැන්නුවා.. මම වැඩ කරල පෙන්නන්න යද්දි හොඳයි කියල හැමදාම පොතේ ලිව්ව.. මාත් ඉතින් ඒක ගෙදර ගිහින් පෙන්නනවා අගේ කර කර... “මේ.. දැක්කද? අපේ සර් මට හොඳයි කියල ලියලා...”  


පහ වසරට ඇවිත් මාස අටකුත් ගෙවිලා ශිෂ්‍යත්ව විභාගෙත් ලං උණා. එක සිකුරාදා d ඉස්කෝලෙ ඇරිලා අපි සර්ට වැඳලා කඳුළු ඇස් දෙකේ පුරෝගෙන ගෙදර ගියේ ඉරිදා විභාගෙ නිසා නෙමේ.. අපි ගොඩාක් ආදරේ කරපු අපේ අනුර සර්.. අපිට ගොඩාක් ආදරේ කරපු අපේ අනුර සර් .. අපිව දාල 5-D පන්තිය භාර ගත්තු නිසා.. ඒ පංතිය භාර මිස් පෙන්ෂන් ගත්තු නිසා අපේ සර්ව ඒ පංතියට මාරු කරල.. අපි ඉරිදා විභාගේ ලියල සඳුදා ඉස්කෝලෙ  ආවම අපේ පංතිය භාර ගත්තු අලුත් සර් කවුද කියල බලා ගන්න පුළුවන් උණා. ඒ සර්ගේ නම උපුල්.. ලොකු පැත්තෙ කැඩෙට් පුරුදු කරන සර්.. එයා නම් අපේ අනුර සර් වගේ නෙමේ. ටිකක් විතර වසයි. ඒත් කියන්න තරම් වසකුත් නෑ.. ඒ කාලේ ශෝක්ම වැඩේ තමා එයා 12 ට යනව ලොකු පැත්තට.. 12 ඉඳං කැඩෙට් පුරුදු කරනවලු.. ඉස්සර ඉස්කෝලෙ ඇරියෙ 2ටනෙ. අපිට 2 වෙනකල් කිසි වැඩක්‌ නෑ. සෙල්ලමම තමා. C පංතිය ගාවින් හොර පූසෝ වගේ කට්ටිය මාරු වෙනවා.. පඩිපෙළ බැහැල පිටිපස්සට ගියාම සෙල්ලම් කරන්න නියම ප්ලේස් එක. අපිට ප්‍රධාන සෙල්ලම් දෙකක් තිබුණා.

එකක් තමා සෙරෙප්පු ගැහිල්ල.. ගෑණු ළමයි පිරිමි ළමයි කලවමේ හිටින්න ගොඩවල් දෙකකට බෙදිලා කට්ටියක් රවුම මැද. අනිත් අය වටේට ඉන්නව. ඒ දවස් වල වැඩි හරියක් බාටා සෙරෙප්පු දාපු නිසා    බාටයක් හොයා ගන්නත් ලේසියි. වටේ ඉන්න එක්කෙනෙක් බාටේ විසි කරනවා මැදට. ඇතුලෙ කට්ටිය උඩ පනින්න ඕන. දනිස්සෙන් පහළ වැදුනොත් අවුට්.. ආයේ ඒ බාටේ තව කෙනෙක් අහුලාගෙන ගහනවා.. බේරෙන්න රවුම ඇතුලෙ දුවන්න ඕන...

අනිත් එක සූ.. ඒකෙත් කණ්ඩායම් දෙකයි. එක කණ්ඩායමක කට්ටිය 10 නම් ඒ කට්ටිය එකතු වෙලා නම් 10ක්‌ දාගන්නවා මොන මොනා හරි. ඊට පස්සෙ අනිත් කණ්ඩායමට කියනව නම් ටික.. එයාලා ඉල්ලන නම අයිති කෙනා සූ කියාගෙන අනිත් පැත්තෙ කට්ටිය පුළුවන් තරම් දෙනෙක්ව අල්ලලා ආපහු එන්න ඕන... සූ කියන එක නැවතුනොත් එයා අවුට්.. සූ කියන එක නැවතෙන්නෙත් නැතුව,එහා පැත්තෙ කීප දෙනෙක්ටත් ගහල ආවොත් ගුටි කාපු අය අවුට්.. එහෙම උණාම අරයට තව චාන්ස් දෙකකුත් තියෙනවා.. විරුද්ධ පැත්තෙ අය කරන්න ඕන සූ කියන කෙනාව අල්ලගන එයාලගෙ සීමාව පහු කරන්න නොදී තියාගන්න එක.
ඔන්න අපේ සෙල්ලම්.. ඉතිං ඔය සූ.. (චූ නෙමේ.. සූ) කරන්න ගිහින් අපේ ගවුම් කොච්චර ඉරාගෙන තියෙනවද? සෙරෙප්පු ගැහිල්ලට වඩා කළේ සූ.. ඒක නම් 6 වසරට ආවට පස්සෙත් නිවාඩු වෙලාවට කළා.. 12 වසරේදීත් කළා මතකයි. හැබැයි ගෑණු ළමයි විතරයි.. J J

දවසක් අපි පංතියේ ඔක්කොම ඩෙස්ක පුටු ටික හතර වටේට අයින් කරලා මැද්දෙ ඉඩ හදා ගෙන බෝල ගැහුවා. එදා උපුල් සර් ආවෙ නෑ.. විභාගෙත් ඉවර නිසා වෙන කවුරුත් උගන්නන්න එන්නෙත් නෑ. ඉතිං නිකන්ම ඉන්නත් බැරි නිසා පංතියේ හැමෝගෙම අදහස අනුව තමා බෝල ගහන්න තීරණය කළේ.. එහා පංතියේ ජයරත්න සර් ඩෙස්ක් එකක් උඩ ඉඳගෙන ළමයි එක්ක සිංදු කියනවා.. අපි බෝල ගහනවා... ඒක මොහොතකින් නොහිතපු විදියට එක පාරටම අපේ බෝලේ එහා පංතියට ගියා.. කොහාට වැටුණද අපි දන්නෙ නෑ.. හැබැයි අපි දන්නවා දැන් කෑම ෂුවර්.. ජයරත්න සර් හරි වසයි.ආව කෝටුවක් අරගෙන. දනිස්සට තියල කැඩුවා.. කොල්ලෝ කෙල්ලෝ කාවවත් බැලුවෙ නෑ දීගෙන දීගෙන ගියා ඔක්කොවන්ටම.. ඊට පස්සෙ පංතියේ හ්ම්ම් සද්දයක් නෑ.. එදායින් පස්සෙ කවුරුවත් පංතියේ බෝල ගහමු කිව්වෙ නෑ..




උදා උණා අපි ඇඟිලි ගැන ගැන බලා උන්නු දවස.. ශිෂ්‍යත්වේ ප්‍රතිපල ඇවිදින්.. !!! 2000 අවුරුද්දෙම තමා.. මාසෙ මතක නෑ. එදා උපුල් සර් නෙමේ ආවෙ.. අනුර සර්!!! ඔව්... අපේ ආදරණීය සර්.. පංතියට ආවෙ ප්‍රතිපල සටහන අරගෙන..  අපේ පංතියේ වැඩිම ලකුණ 177 ... පංතියේ දෙවෙනියට වැඩි මගේ... ඉස්කෝලෙන්ම වැඩිම ලකුණ උණේ 178. C පංතියේ පිරිමි ළමයෙක්...

අපි සර් ආපහු යන්න යද්දි දන ගහල වැන්දා.. සර් මෙච්චර ළමයින්ට ආදරේ උණේ අපි පහ වසරෙදි සර්ටත් හිටියා එක වසරෙ විතර මල්ලියෙක්.. ඉතිං තාත්තා කෙනෙක් උණාම ළමයි ගැන දන්නවනේ.. ඒක වෙන්න ඇති.. කොහොමටත් ළමයි නැති අය ළමයි ඉන්න අයට වඩා වසයි කියල මට හිතෙන්නේ.. අපි හත වසරෙදි වගේ තමා ජයරත්න සර් ඉස්කෝලෙම මිස් කෙනෙක් එක්ක යාලු වෙලා බැන්දේ.. දැන් නම් ළමයි දෙන්නෙක්ද කොහෙද ඉන්නව...

ඒ කාලෙ මම ගොඩක්ම ආස උනේ නුවරට.. ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුව මම අයදුම් කරපු  ඉස්කෝල වලින් මාව තේරුනේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට.. ඒකෙ හොස්ටල් නොතිබුණු නිසාත් එහෙ අපේ කවුරුවත් නෑයින් හිටියේ නැති නිසාත් මට යන්න උනේ නෑ.. 


මගේ ශිෂ්‍යත්ව විභාගෙ ලකුණු අනුව පුත්තලම් දිස්ත්‍රික්කේ 38 වෙනියා බව මම දැක්කෙ අස්වීම් සහතිකේ ගන්න ගියපු වෙලාවේ.. දැනගත්ත කියල වැඩකුත් නෑ ඉතින්.. උසස් පෙළ වගේ ගණන් ගන්නෙත් නෑනේ රෑන්ක් එක.. ඒ කාලෙ ඒ ගැන මම හුඟක් දුකින් හිටියත් දැන් නම් ඒක හොඳයි කියල හිතෙනවා...

Friday, April 6, 2012

මගේ ස්තුතිය සහ අළුත් දෙයක් !!!


මගේ පුංචි බ්ලොග් කෑල්ල පටන් අරන් අප්‍රියෙල් 6නිදට මාස 3 යි දවස් 19 යි... ඉතින් මේ ලියවෙන 25 වන පෝස්ට් එකෙන් මේ වෙනකල් මාත් එක්ක රැඳිලා හිටපු මගේ යාළුවො ටිකට ස්තුති කරන්න තමා මේ ලිපිය ලියන්න හිතුවේ...

මේකේ මම දාල තියෙන ලින්ක් මගේ ලිපි වල ඔයාලගේ නමින් ඉස්සෙල්ලම වැටුණ කමෙන්ට් වලින් තමා හොයාගෙන දැම්මේ... (සමහරු එක ලිපියකට ඇවිත්, ඒ මාසේ කලින් ලියපු ඔක්කොම ලිපි වලටත් කමෙන්ට් කරලා තිබුණා.. )

ඉතින් ලිපිය නම් ටිකක් දිග වෙන්න පුළුවන්... කම්මැලි අය ඔයාලගේ නම දැක්ක ගමන් ගියාට කමක් නෑ ඉතින්.. ඉවර වෙනකල් කියවනවා නම් ඒත් කමක් නෑ... :))) මොකද දන්නවද? එකින් එක පෝස්ට් එක ගැන මම වෙන වෙනම කියන්නයි හදන්නේ... ඒ වගේම පුංචි වෙනසකුත් කරනවා මම..

මුලින්ම පළවෙනි පෝස්ට් එකෙන් පටන් ගනිමු..

මම ලියපු පළවෙනි ලිපියේදී මාත් එක්ක එකතු උණා වර්ණාගේ මතක ලියන වර්ණා ... මගේ වයසෙමයි.. මම දැනුවත්ව මට ළඟම ඉන්න බ්ලොග් යෙහෙළිය වර්ණා.. බ්ලොග් එකේ මුල් මුල් අවස්ථාවේ වැඩ ටිකක් ඇතුළුව වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන හැටි කියලා දුන්නේ එයා.

කම්මැලියා බ්ලොග් එක ලියපු කම්මැලියාත් මුල්ම පෝස්ට් එකට කමෙන්ට් කරලා මාව දිරි ගන්නපු එක්කෙනෙක්.. නමේ හැටියටම කම්මැලි තමා... ලියන්නෙ නෑ වගේ දැන්...

ඊළඟට මහිම මදුරංග  අයියා... මෙයා තමා මට ගූගල් සිංහලීස් සෙටප් එක එව්වේ.. ඒක මට හරි පහසුවක් උණා. එයත් ඉස්සර නම් බ්ලොග් එකක් ලිව්වලු.. දැන් නම් ලියන එක නවත්තලා ගොඩක් කල් කියල තමා කිව්වේ...

ඊළඟට අසරණයා අයියා... එයානෙ අසරණයා බ්ලොග් එක ලියන්නෙ... ඝානා වල ඉන්නෙ..  අප්‍රිකානු රටක් නේ.. පරිඝනක අංශයේ රැකියාවක් තමා කරන්නේ...

ඊළඟට චරිත්|charith ... මෙයත් ආව මගේ මුල්ම ලිපියට... පස්සේ පස්සේ නම් ආවේ නෑ.. මාත් දෙපාරක් තුන් පාරකට වඩා ගියේ නෑ වෙන්න ඕන...

ඊළඟට Kasun අයියා... ඇත්තටම කසුන් අයියගේ  ලිපියක් මගේ ඔරිජිනල් ෆේස්බුක්  එකේ යාලුවෙක් ශෙයා කරලා තියෙනවා දැකලා තමා මට බ්ලොග් එකක් ලියන්න ආස හිතුණේ.. කසුන්ට හිතෙන හැටි බ්ලොග් එක ලියන්නෙ කසුන් අයියා.. එයත් මට බ්ලොග් එකේ ගැජට් ගැන කියල දුන්නා..

ඊළඟට යසයා මල්ලි... එයත් ආවා.. හැබැයි මේකට විතරයි.. මාත් ගියේ නෑ මගේ හිතේ වැඩිය. ඒ නිසා බ්ලොග් එකේ නම මතක නෑ.. සොරි මල්ලී.... මොනා උණත් පළවෙනි ලිපියට අදහස් දක්වපු එක කොයි තරම් දෙයක්ද? දැන් නම් නම පිටසක්වලයා.. (මතක හැටියට)

ඊළඟට Red Riding Hood.... මෙයත් මගේ වයසෙම යාළුවෙක්.. ඉඳලා හිටලා තමා බ්ලොග් ලියන්නෙ... කාර්යබහුල වෙන්න ඇති... Red's solitary world තමා එයාගේ බ්ලොග් එක...  

ඊළඟට මධුරංග අයියා... මෙයා නම් පේරාදෙණි කැම්පස් එකට ගිහින් ඒකෙන් අවුට් වෙලා දැන් අයි.ටී ජොබ් එකක් කරනවා.. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එක ලියන්නෙ මේ අයියනේ...


අන්තිමටම රෙප් මහත්තයා අයියා... රෙපාගේ අම්බලම බ්ලොග් එක ලියන්නෙ මේ අයියනේ... නම රෙප් මහත්තයා උනාට දැන් නම් රෙප් කෙනෙක් නෙමේද කොහෙද?
------------------------------------------------------------------------------------------------------------

2 නි පෝස්ට් එකේදී මේ පැත්තට ආවේ ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියාගේ පත් ඉරුව මල්ලී ... මේ පාර විභාගේ කරනව කියල නම් කියනවා.... ඒ නිසා වෙන්න ඕන දැන් ලියන්නෙත් අඩුවෙන් නේ..

ඊළඟට සයුරි අක්කා... මෙයා ඉන්නෙත් රට... කොහෙද කියල නම් හරියටම මතක නෑ... පහන්යාය කියන බ්ලොග් එක ලියන්නෙ මේ අක්ක තමා...රාජාවලිය යන්නේ මේකෙනේ...

ඊළඟට මන්ඩිපාල මල්ලී... මෙයා ගැමි මල්ලිගේ යාලුවෙක්නෙ.. එයත් විභාගේ කරනවලු.. මන්ඩිපාල බ්ලොග් එක ලියන්නෙ මේ මල්ලි... එයත් පාඩම් වැඩ නිසා වෙන්න ඇති.. බ්ලොග් වගේද විභාගේ...
------------------------------------------------------------------------------------------------------------

තුන් වෙනි පෝස්ට් එකට ආවා ප්‍රදීප් ගුණරත්න සහෝදරයා.. ඊට පස්සේ නම් ආවේ නෑ..

ලාහිරු දහසක් දිලීදිලී බ්ලොග් එක ලියන ලහිරු අයියා මේ පෝස්ට් එකට තමා ඉස්සෙල්ලම කමෙන්ට් කලේ..

වර්ණ බ්ලොග් එක ලියන Dinesh  අයියා ආවෙත් මේකට තමයි... එයා ඉන්නෙ ඉතාලියෙනේ.. මේ අවුරුද්දේ මුල දිහා අවුරුදු තුනක කතාවක් කියලත් තිබුණා... එයත් පෝස්ට් දාන සිග්‍රතාව වැඩි.. මට යන්න බැරි උනා ගොඩාරියකට...

Dulitha Sameera.. මෙයා ආවෙත් මේකට විතරයි... බ්ලොග් එකක් ලියනවද දන්නෙත් නෑ.. මම ගියාද මතකත් නෑ..

OBSERVER කියන්නේ ඔබා මාමටනේ... කැන්ගරුලන්තෙනේ ඉන්නෙ.. (නොකිව්වට හැමෝම දන්නවා වෙන්න ඕන)  මේ මාමා ආවෙත් 3 වෙනි එකේ තමා.. බ්ලොග් එකේ නම OBSERVER.. අතීතය අමතක වෙන ලෙඩක් ගැන ලිපියක් ලියල තිබ්බ මතකයි කාලෙකට ඉස්සර...!!!

Kawikarige Kathandara ලියන ඊ මේල් කවිකාරි නැන්දත් මේ පෝස්ට් එක කියවලා මාව දිරිමත් කරන්න ආවා...

අන්තිමටම ආවෙ පවනි බ්ලොග් එක ලියන පවනි... මාත් ඉඳල හිටලා ඒ පැත්තේ ගිහින් එන්න යනවා...
------------------------------------------------------------------------------------------------------------

හතරවෙනි ලිපියට අලුතින් ආවෙ මෙයාලා...හර්ෂ. එම්. හේරත්  හැබැයි බ්ලොග් එකේ නම නම් දන්නේ නෑ..

ඊළඟට තරූගේ ලෝකය බ්ලොග් එක ලියන තරූගේ ලෝකය කියලම නම දීලත් තියෙන තරූ අයියා..

ඊළඟට තවත් මගේ වයසේම යාලුවෙක්.. ඒ තමයි හිතුවක්කාරී .... හිතුවක්කාරිගේ හිත තමා මෙයා ලියන්නේ.. අර ලස්සන කතාවකුත් ලිව්වේ තටු සිඳුණ සමනළී කියල මෙයානෙ...


 මොන්ටිසෝරිය බ්ලොග් එක ලියන රවීන් අයියා අයියා මේ පැත්තට ආවෙත් මේ ලිපියෙන් තමා.. බ්ලොග් එකේ නම මොන්ටිසෝරිය උනාට ලියන්නේ බබාලා ගැන නම් නෙමේ..
------------------------------------------------------------------------------------------------------------
පස්වෙනි පෝස්ට් එකට අළුතෙන් ආපු කට්ටිය දන අඳුන ගම්මුකෝ...
කෝඩුකාරයාගේ අඩවිය ලියන කෝඩුකාරයා මල්ලි... ඒ පොස්ට් එකට විතරයි ආවේ.. මෙයා  මේ ඊයේ පෙරේදා සාපෙ රිසල්ට් ආපු මල්ලියෙක්..

ඊළඟට... ඔබ නොදුටු ලොවක් බ්ලොග් එක ලියන  ඔබ නොදුටු ලොවක්  කියලම කමෙන්ට් කරන බණ්ඩාර අයියා... එයා ඉන්නෙත් අප්‍රිකානු මහද්වීපයට අයිති අපූරු නමක් තියෙන රටක... රටේ නම ජිබූති.. ඇහෙද්දීත් හිනා යන්න එනවා.. අයි.ටී. ෆීල්ඩ් එකේ වෙන්න ඕන වැඩ...

 ඊළඟට හරීගේ හීනලන්තය ලියන හරී අයියා.. වැඩිපුර ලියන්නේ කතෝලික ආගමට සම්බන්ධ දේවල් ගැන මට හිතෙන විදියට.. මම බෞද්ධනේ ඉතින්.. ඒ දේවල් ගැන ඒ හැටි දැනුමක් නම් නෑ..

ම්ම්ම් ඊළඟට Miyuruworld බ්ලොග් එකේ අයිතිකාර Miyuru නැත්නම් මිහිරි අක්කා.. ඒකත් ගොඩක් ලස්සන බ්ලොග් එකක්.. කොහොමත් අතීත මතක ගැන ලියවෙන බ්ලොග් කියවන්න මම ආසයි..

ඊළඟට දේවාගේ අඩවිය බ්ලොග් එක ලියන  දේවා ගේ අඩවිය  හෙවත් දේව් අයියා..  බැංකුවක නේ වැඩ... හැබැයි ඉතින් වැඩ කියල නෑ.. පෝස්ට් දානවා හරි හරියට.. මට ළඟදී යන්නත් බැරි උණා.. කියක් දාලද දන්නේ නෑ..

ashan මල්ලි තමා ඊළඟට ආවේ..  A Plus Tutes කියන එක ලියන්නේ මෙයා. PhotoShop සොෆ්ට්වෙයා එක ගැන ලිපියක් දාල තිබුණා.. මම නම් වැඩිය ඒ පැත්තට බර කෙනෙක් නෙමේ..  කොහොම උණත් ඒ මල්ලිත් තාම මගේ බ්ලොග් එකට එනවා..

අපි හැමෝම ආසාවෙන් කියවපු මහිම- මන්දහාසි කතාව ලියපු Ice (අයේෂා කුලතුංග) නංගි තමා මීළඟ සාමාජිකාව.. Iceගේ කොලම ලියන්නේ මේ නඟානෙ..

රොෂාන් කියන යාළුවා මේ පැත්තට ඇවිත් ගියෙත් 5නි පොස්ට් එකෙන් තමා.. රොෂාන්ගේ සිතුවිලි කියන්නේ එයාගේ බ්ලොග් එක..
------------------------------------------------------------------------------------------------------------

හයවෙනි පෝස්ට් එක... මේ පෝස්ට් එකේදී... වීදුරු ගෙවල් ලියන  පූසා අයියා මේ පැත්තට ආවා...

ඉන්දික කියලා සහෝදරයෙකුත් මෙහෙ ආවා.. හැබැයි බ්ලොග් එක නම් මම දන්නේ නෑ..අනේ සොරි හොඳේ..

ඊළඟට බට්ටි බ්ලොග් එක ලියන  බට්ටි  අක්කා ... මෙයත් ජොබ් එකක් කරන අක්ක කෙනෙක්.. මොනා කරනවද කියලා නම් මම දන්නේ නෑ තාම.. අත්වැඩ එහෙම දන්නවා.. මට නම් ඔව්ව කරන්න කම්මැලි අප්පා...

දැන් හයවෙනි පෝස්ට් එකේ අන්තිමට ආපු කෙනා.. Sam's Creations ලියන සෑම් අයියා.. මේ දවස වල අළුත් කතාවක් ලියනවනෙ.. කොටස් 3 යි වෙන්න ඕන මම කියෙව්වේ, දැන් මොනා වෙලාද දන්නෙ නෑ..
------------------------------------------------------------------------------------------------------------

හත්වෙනි ලිපිය... ලට්ට ලොට්ට ලියන පොඩි මෑන් ආවා මේකට... ඒ බ්ලොග් එක ගැන කියන්න ඕන නෑනේ අමුතුවෙන්.. ඔයාල හැමෝම වගේ ගිහින් බලනවා ඇතිනේ..

ඇට්ටර අප්පු ... මම හිතන්නේ මෙයාගේ බ්ලොග් එකට නම් මම ගිහිල්ලම නෑ වෙන්න ඕනෑමයි.. ඇවිත් ගියාට ස්තුතියි..!!!

ඊළඟට s a b i t h බ්ලොග් එක ලියන  s a b i t h අයියා.. වැදගත් දේවල් නම් නිතරම පාහේ ලියවෙනවා.. නමුත් අපේ කමෙන්ට් වලට රිප්ලයි නැති නිසා ගොඩක් කාලෙකින් ඒ පැත්තේ ගියේ නැහැ මම.. ඉගෙනගන්න අයියා කෙනෙක්නෙ.. කාර්යබහුල ඇති..

today... කවුද කියල නම් මගෙන් අහන්න එපා... මේ පෝස්ට් එකේ එකම කමෙන්ට් එක කීප වතාවක්ම එක දිගට දාල තිබුණා මතකයි.. ආවට ටැංකු කිව්වා...

ඊළඟට... ඔසී කතා බ්ලොග් එක ලියන කස්ස අයියා.. සති 5 කින් විතර අළුත් ලිපියක් ලියලා නෑ.. ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඕන.. අර මොනාද මන්ද කේක් වගයක් හදන හැටි දාලා තිබුණා.. කේක් කෑල්ලේ පින්තුරේ දැක්කම කෙළ උණනව කටට...

Beta bawa  මල්ලි තමා සිතෙහි සිතුවම් කියන බ්ලොග් එක ලියන්නේ.. ඉස්සර නම Beta විතරයි.. ඇයි දන්නෙ නෑ අලුතෙන් bawa කෑල්ලක් සෙට් කළේ අගට..

 Chathuranga Perera කියන සහෝදරයත් මේ ලිපියට කමෙන්ට් කරලා තිබුණා.. චතුගේ කතා ලියන්නේ එයා..

බැට් මෑන් පියාඹගෙන ආවෙත් මේක බලන්නනේ.. WWW.BATMARK.TK කියන්නේ එයාගේ බ්ලොග් එක.. අයියෝ මාස 5 කින් මොකුත් දාල නෑනේ...

ආගන්තුකයා බ්ලොග් එක ලියන ආගන්තුකයා  මල්ලි තමා මේ ලිපියේ අවසන් නව සාමාජිකයා. අර ලඟදි උපන්දිනේ සමරලා කේක් එහෙම දාල තිබ්බේ අපිට කන්න කියල.. ඒ මෙයානෙ..
------------------------------------------------------------------------------------------------------------

අටවෙනි පෝස්ට් එකට නම් අළුත් අය දෙන්නයි ඇවිත් තියෙන්නේ.. එක්කෙනෙක් Maligawa බ්ලොග් එක ලියන Kumaraya අයියා.. මම දෙපාරක් විතර ගියා ඒ පැත්තේ..

අනිත් එක්කෙනා වැහි පොදක් ලියන කල්ප සහෝදරයා.. ඉස්සර නම් මම ඒ පැත්තේ ගියා.. දැන් නම් ගියේ නෑ ගොඩක් කාලෙකින්..
------------------------------------------------------------------------------------------------------------

9 නි පෝස්ට් එකට ආවා නාකියා අයියා.. නම නාකියා උනාට කොල්ලෙක් නෙ... මොකට දාගත්තද මන්ද නාකියා කියල.. විකාර කියන බ්ලොග් එක ලියන්නේ මේ අයියානේ... අලුත්ම පෝස්ට් එක 365 දවසම තියෙන දන්සලක් ගැන.. විස්තර දැනගන්න ඉතින් ඒ පැත්තේ යන්න වෙනවා..

නොසිතූ අයෙක් මල්ලි තමා ඊළඟට... නොසිතු අයෙක් කියන බ්ලොග් එක මෙයා ලියන එකක්.. හැබැයි දැන් නම් නවත්තලා වගේ..

ඊළඟට ස්වායක්ත සිද්ධිය ලියන  Nuwan Tharaka  මල්ලි... නෝ කතා නෝ සිනා.. ඔන්ලි කවි. (නැත්නම් කවි,සිංදු ගැන විස්තර) ඇත්තටම මට නම් එහෙම කවි ලියන්න බෑ මයි...

අපි වගේ කියන මල්ලි ලියපු බ්ලොග් එකේ නමත් අපි වගේ... එයත් විභාගේ කරන කතාවක් කියා කියා හිටියා.. ඒ නිසා වෙන්න ඕනා සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාල නම් නෑ..

දිල් කියන අක්කත් මේ ලිපියට කමෙන්ට් කළා.. දැන් නම් එයාගේ බ්ලොග් එක වහලද කොහෙද...

සිත්රූ සිහින අක්ක තමා සිත්රූ සිහින බ්ලොග් එක ලියන්නේ.. ඒකෙත් වැඩිපුරම වගේ ලියවෙන්නෙම කවිම තමා... ලස්සනට කවි ලියනවා ඒ අක්කත්.. මම දවසක් නම් අක්කට කිව්වා... බලමු ඉස්සරහට කතාවක් ලියයිද කියලා...
------------------------------------------------------------------------------------------------------------

දහවෙනි පෝස්ට් එකටත් අළුත් අය දෙන්නයි..

Chiran's Blog කියන එක ලියන චිරාන් අයියා... මෙයා ලියන්නෙත් කලාතුරකින් වගේ තමා..

අනිත් එක්කෙනා MAX.... එයාගේ බ්ලොග් එකට නම් තාම ගිහින් නෑ මම...

------------------------------------------------------------------------------------------------------------

එකොළොස්වෙනි පෝස්ට් එකට අළුත් අය ගොඩක් ඇවිත්..
Dilhan Padeniya කියන අයියා තමා ALL SRILANKANS කියල බ්ලොග් එකක් ලියන්නේ.. පරිඝනක අංශය ගැන තමා විස්තර තියෙන්නේ..

රාජ්ගේ නවාතැන ලියන රාජ් අයියා මේ පැත්තට ආවේ මේ ලිපියේදී.. එයත් පෝස්ට් ගොඩාක් දාල... අනේ තාම කියවන්න බැරි උනානෙ... අද වෙද්දී මේ මාසෙට 2 ක් !!!

 නන්ඳු අක්කා ලියන්නේ නන්නාඳුනන්නියකගේ අකුරු ගෙත්තම නෙ.. මාවතේ අපි කියල බ්ලොග් එකකත් ඉන්නවා..

 කතන්දර Kathandara මාමත් ඇවිත් මේ පෝස්ට් එකට විතරක් කමෙන්ට් දාල ගියා.. මුලදී මුලදී මාත් ඒ පැත්තේ ගියා.. දැන් මම යන්නේ නෑ.. ඒ මාමා එන්නෙත් නෑ.. කතන්දර තමා බ්ලොග් එකේ නම.. ඔයාල දන්නවනේ..

 ජනියා කියල 11 නි පෝස්ට් එකේ නම තිබ්බට දැන් නම රහස් පරීක්ෂක ජනියා... එයා ලියන බ්ලොග් එක තමා මිහිරි අමිහිරි... සර් කෙනෙක් ගැන එහෙම දාල තිබුණා ලිපියක් මට මතකයි..


පිස්සා පලාමල්ල අයියත් ඉඳල හිටලා කමෙන්ට් දාල යනවා.. එයා මෙහාට මුලින්ම ආවෙ මේ ලිපිය කියවන්නයි.. බ්ලොග් එකේ නම... පලාමල්ල :::: palamalla

Isanka Silva කියන අයියත් මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාන්න ආවා..

Ruka අයියා ඉස්සෙල්ලම ආවෙත් මේ ලිපියට තමා.. Ruka කියන බ්ලොග් එක ලියන්නේ ඒ අයියනේ..

ඉන්දික උපශාන්ත අයියත් මේ ලිපිය කියවන්න ආවා... එදායින් පස්සේ නම් දැක්කේ නෑ මේ පැත්තේ.. සැහැල්ලුව කියන බ්ලොග් එක ලියන්නේ එයා තමා..

මාතර කොල්ලෙක් කියලා ඉස්සර කමෙන්ට් කරලා දැන් මහාචාර්ය කැල්කියුලස්  වෙලා ඉන්න සහෝදරයත් ඉස්සෙල්ලම ආවේ මේ ලිපියට.. තාම නම් බ්ලොග් එකක් ලියන්නේ නෑ වෙන්න ඕන.. මම හරි නේද?

 නිසුගේ කතා බ්ලොග් එක ලියන   නිසුපා  අක්කා..  එයා මොරටු කැම්පස් ගිහින් අවුට් වෙලා දැන් නම් ජොබ් එකක් කරනවා.. ඔන්න අක්කේ මම නම් දන්නේ නෑ... මගේ හිතේ ඔයා ඉන්ජෙක් වෙන්න ඇති..

දඩබ්බරයාගේ ලෝකය ලියපු දඩබ්බරයා මේ පෝස්ට් එක විතරක් කියවලා යන්න මේ පැත්තට ඇවිත් තිබුණා.. දාල තිබ්බ කමෙන්ට් එකේ හැටියට නම් දැන් ඒක නවත්තපු බ්ලොග් එකක්..


සිහින මතකයන් බ්ලොග් එක ලියන  සිහින මතකයන් යාළුවා.. මෙයා නම් මගේ වයසේ තමා.. එකපාරටම බ්ලොග් එක නැතිවෙලා කලින් ලියපු පෝස්ට් ඔක්කොම මැකිලා අලුත් එකක් හැදුවනේ මෙයා...


මේ 11නි ලිපියේ අන්තිමට dreams බ්ලොග් එක ලියන dreams සහෝදරීවත් මතක්කරන්න ඕනනේ.. එයත් කතාවක් ලියන්න අරගෙන තිබුණා.. කියවල බලන්ඩලාකෝ... ටිකක් වෙනස් විදියේ කතාවක්...
------------------------------------------------------------------------------------------------------------
දොළොස්වෙනි පෝස්ට් එකේදී එකතු වුණේ එකම එක්කෙනයි.. ඒ තමා  W. පුබුදු මල්ලි... මිරිඟුවක් පසුපස තමා මේ මල්ලිගේ බ්ලොග් එකේ නම.. ගිය අවුරුද්දේ සාපෙ කරපු මල්ලියෙක්.. පන්ති යනවා වෙන්න ඇති ඇඩ්වාන්ස් ලෙවල් වලට... නෝ පෝස්ට්ස්...
------------------------------------------------------------------------------------------------------------
දහතුන්වෙනි පෝස්ට් එකේදී මාත් එක්ක එකතු වුණේ මේ කට්ටිය..


දුමිගේ කට කහන කතා ලියන දුමී අයියා.. මෙයා ලියන කතා ආයේ මොකුත් නෑ එලටම ලියනවා හිනා කාල මැරෙන්නම.. ගොඩක් කාලෙකින් බ්ලොග් පැත්තේ ඇවිත් නෑ වගේ..

බිම්සර මල්ලි... අය්යෝ මොනා හරි වෙලා එයාගේ කමෙන්ට් එක දැන් නැහැ... සොරි මල්ලි...

Malisha කියන්නේ සරත් සමයේ විහඟ ගීතය කියන බ්ලොග් එකේ අයිතිකාරි.. එයත් ගොඩාක් කාලෙකින් ලිපියක් ලියලා නෑ මගෙ හිතේ..

පිස්සු පුරවරය බ්ලොග් එක ලියන හිතහොඳ පිස්සා  මේ පැත්තට ආවෙත් මේ පෝස්ට් එක කියවන්න ආපු ගමන් නෙ..


අස්වැන්න බ්ලොග් එක ලියන  දයානන්ද රත්නායකයන්.. සිංහල ගීතය, සුභාවිත සංගීතය ගැන අපේ මනස යොමු කරවන කෙනෙක්.. කවිය ගීතය ගැන නිතරම ලිපි ලියවෙන  බොහොම සුන්දර බ්ලොග් එකක් ඒක...


සාතන්ගේ අඩවිය බ්ලොග් එක ලියන සාතන් අයියා.. එයත් ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාල තියෙන්නෙ මේ ලිපියට තමා.. නම ගම විස්තර ඔක්කොම දාලා ලිපියක් දාල තියෙනවා මම දැක්කා.. පොටෝ කෑල්ලකුත් දාලා.. වැඩක් නෑ.. අහක බලං ඉන්නේ..
------------------------------------------------------------------------------------------------------------

දාහතරවෙනි පෝස්ට් එක බලන්න අලුතෙන් ආවේ මෙයාලා.. තහනම් අඩවිය ලියන අඩවි රජා සහෝදරයා...මෙයා අළුත් වැඩකට අත ගහලානේ.. කාටුන් එකක් පරිවර්තනය කරනවනේ.. මම ඒකට ආසයි...

ජිංජිබිරිස් ඉස්සර ලිව්ව එකේ නම ජිංජිගේ පිස්සු කතා උනාට දැන් නම වෙනස් කරලා.. දැන් නම ජිංජිගේ U-TURN එක

Harshana කියලා කමෙන්ට් කරලා තිබුණු Harshana Jayasuriya සහෝදරයාත් මේ වෙලාවේ මම මතක් කරනවා.. හැබැයි මම බ්ලොග් ඒකට නම් ගිහින් නෑ එයාගේ..

රූ අක්කා ආවෙත් මේ ලිපියේදී.. රූ සිරිනි තමා අක්කගේ බ්ලොග් එකේ නම...

ChammA අයියා ලියන්නේ ChammA's බ්ලොග් කියන එකනේ.. කෙටිකතාව කියවන්න ආවට පස්සේ හැමදාම මේ පැත්තට ආපු එක්කෙනෙක් තමා..

අත්තම්මගේ පෙට්ටගම කියන බ්ලොග් එකේ කාලයක් හිටියා කියපු Gimhani අක්කත් මේ ලිපියෙන් තමා එකතු උනේ.. දැන් නම් ලියන්නේ නෑ.. කමෙන්ට් කරනවා විතරයි.. බස් රේඩියෝ නිශාන්තයේත් ඉන්නවනේ දැන්....
------------------------------------------------------------------------------------------------------------

පහළොස්වෙනි ලිපියට එකතු උනේ මේ කට්ටිය..

 Gordonia ceylanica .... විද්‍යාත්මක නමක් දාගෙන හිටියට ඒ නමේ තේරුම නම් මම දන්නෙ නෑ.. බ්ලොග් එකත් නැද්ද මන්දා...

 ළහිරු හිමේෂ් කියන සහෝදරයා තමා ළහිරුගේ සිංහල Blog අඩවිය ලියන්නේ... ප්‍රොෆයිල් එකට ගියාම එකම වගේ නම තියෙන බ්ලොග් දෙකක් තියෙනවා.. යන්න කැමති අය දෙවෙනි එකට යන්න..

විමුක්ති බ්ලොග් එක ලියන විමුක්ති සහෝදරයත් මේ පෝස්ට් එකෙන් මාත් එක්ක එකතු උනා..
------------------------------------------------------------------------------------------------------------

දහසයවෙනි පෝස්ට් එකෙන් මේ පැත්තට අඩිය තියල තියෙන්නෙ ලොකු පුතා විතරයි.. එයාගේ බ්ලොග් එකේ නම මතකයේ රැඳුන තැන්...
------------------------------------------------------------------------------------------------------------

දාහත්වෙනි පෝස්ට් එකෙන් මෙහාට ආපු අය කවුද බලමු...

 අග්නිධාරා බ්ලොග් එක ලියන  අග්නි ධාරා  නංගි.. මෙයා ඉස්සර ලිව්වේ නිසුපුගේ ලෝකය කියන බ්ලොග් එක.. පස්සේ වෙනස් කළා නම.. නිසුපා අක්කා එක්ක පැටලෙන හින්දා.. ටෙම්ප්ලේට් එකේ තියෙන්නෙත් ගින්දර.. හැබැයි ඉතින් කතා කරන විදියට නම් දිවට තෙල් බඳින්න වෙනවා...

 සොඳුරු මිනිසා බ්ලොග් එක ලියන  සොඳුරු මිනිසා  සහෝදරයා... කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක් බව නම් යන්තමට වගේ දන්නවා.. වැඩි විස්තරයක් දන්නේ නෑ..

අසේල කියන්නේ මෙතෙක් ආ මඟ කියන බ්ලොග් එක ලියන සහෝදරයා.. ඉඳලා හිටලා හෝ කියවලා යන්න එන කෙනෙක් තමා මෙයත්...

Senna අයියා ලියන්නේ කුරුන්ද කියන බ්ලොග් එක... විද්‍යා ප්‍රබන්ද වගේ කතා ලියන්න මේ අයියා දක්ෂයි.. රස්පුටින් ගැන, හොල්මන් ගැන එහෙම තමා ලඟදි ලියලා තිබුණේ..

කලාකාරයා කියලා දැන් නම වෙනස් කරන් ඉන්න මල්ලි ඉස්සර හිටියේ වාචාලයා කියන නමින්.. ඉස්සර බ්ලොග් එකේ නම වාචාලයාගේ ෆැන්ටසිය.. දැන් ඔක්කොම වෙනස් කරලා... දැන් කොහොමද... කලාකරුවාගේ සිත් ඉම... ලියන්නේ කලාකාරයා... කලාකාමී අදහස් වැඩි වැඩියෙන් පහල වේවා!!!
------------------------------------------------------------------------------------------------------------
දහඅටවෙනි පෝස්ට් එකට යමු.. මේකෙදි එකතු උනේ...


බට්ටාගේ පුස්කොලපොත බ්ලොග් එක ලියන බට්ටා මල්ලී... තාම ඉස්කෝලේ යනවා වෙන්න ඕන.. මේ අවුරුද්දේ විභාගේ ගන්නවද නම් දන්නේ නෑ..
 මකුළු පැංචිගේ වියමන ලියන මකුළු පැංචි අක්කා... මේ අක්කා ලඟදි ලංකාවට ආව කියල එයාගේ ලිපියක කියල තිබ්බනේ.. වසීලිස්සගේ රටේලු ඉන්නේ.. ඉගෙනගන්න අක්කෙක්..

 Chathu කියලා යාළුවෙකුත් ආව... හැබැයි කිසිම විස්තරයක් නම් නෑ එයාගේ..

සිත් අහස ලියන ප්‍රාර්ථනා අක්කා ආවේ මේ ලිපිය බලන්නනේ ඉස්සෙල්ලම.. අක්කත් ලියනවා ලස්සන කතාවක්.. නම තුහින වර්ෂා... නොකියවපු අය ඉන්නවා නම් බලන්නකෝ..

තරු අරුන්දතී අක්කා.. බ්ලොග් එකේ නමත් තරු අරුන්දතී තමා.. ලස්සන දෝණි කෙනෙක් එහෙමත් ඉන්නවනේ.. කවි පෙළක් දාල තිබුණා මට මතකයි...

සෝරෝ සහෝදරයා තමා සෝරෝගේ ලට පට, සිතුවිල්ලක අරුම කියනබ්ලොග් ලියන්නේ... තව නම් ගොඩක් තිබ්බා මේ දෙකක් විතරයි... මෙයා ඇවිත් ගියේ ඉස්සෙල්ලම මේ පෝස්ට් එකටනේ..

Fathima Reeza කියන්නේ ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියන සහෝදරියක්..cool තමා නම.. සිංහලෙනුත් කවි ලියන්න කියලා මම කිව්වා... ම්හ්.. නෝ රෙස්පොන්ස්... කමක් නෑ කවදා හරි හිතුණම ලියන්නකෝ..

------------------------------------------------------------------------------------------------------------

දහනමවෙනි පෝස්ට් එක බලන්න ආවේ අලුතින් දෙන්නයි..පළවෙනි එක්කෙනා dinu89 .... වැඩි විස්තර මොකුත් නෑ..

අනිත් එක්කෙනා තමා චින්චැට් කිරිල්ලී... අළුපාට හැන්දෑව බ්ලොග් එක ලියන්නේ මේ සහෝදරී නෙ.. රකුසෙක් ගැන මහා පුදුම කතාවක් ලියනවා මේ දවස වල..
------------------------------------------------------------------------------------------------------------

විසිවෙනි ලිපිය කියවන්න ආව අලුතෙන් 5 දෙනෙක්..

 ItalyDilan කියන්නේ සෙනසුරාදට බස් රේඩියෝ චාට් ෂෝ එක කරන අයියනේ හසී අක්කා එක්ක... ඉතාලියේ සිට ලියමි තමා බ්ලොග් එකේ නම.. ඉතාලියේ තමා ඉන්නේ.. ලංකාවේදී නම් අපේ දිස්ත්රික්කෙම තමා..

පැතුම් [සිතුම් පැතුම්].... මගෙ වයසේ යාලුවෙක්... සිතුම් පැතුම් තමා බ්ලොග් එකේ නම.. කොළඹ පැත්තේ ජොබ් එකක් කරන බව කිව්වා මතකයි..

මඩිස්ස කියන බ්ලොග් එක ලියන මඩිස්සලේ නිශාන් සහෝදරයත් මේ පැත්තට ආවේ 20 වෙනි ලිපියෙනුයි..


පුබුදුවා කියන්නෙත් මගෙ වයසේ යාලුවෙක්... මාවතේ අපි බ්ලොග් එකේ ලියන හතර දෙනාගෙන් එක්කෙනෙක් නෙ.. මේ ලිපියට විතරද මන්ද ආවේ...


මේ ලිපියේ අන්තිමට කමෙන්ට් කරලා තිබුණේ..හිරුගෙ කතාව ලියන හිරු අක්කනේ.. අන්තිමට ඒ පැත්තේ යද්දී ලිපි 2 යි තිබුණේ.. අළුත් එව්වා දාලද දන්නෙ නෑ.. 
----------------------------------------------------------------------------------------------------------------------------------


විසිඑක්වෙනි පෝස්ට් එක බලන්න ආව අය දෙන්නයි.. prasanna86k... මෙහෙම දැම්මට අපි දන්නවයැ නේද? මේ තමා ගෝල්ඩ්ෆිෂ්ගේ මාළු ටැංකිය ලියන ගෝල්ඩ්ෆිෂ් අයියා.. වර්ඩ් ප්‍රෙස් වලින් බ්ලොග් එක හදලා නිසා පොඩ්ඩක් වැඩ වැඩි...

 priyantha අයියත් මේ ලිපිය කියවන්න ඇවිත් ගියා.. මියුරු කල්පනා බ්ලොග් එක ලියන්නේ මේ අයියනේ.. හැමෝම ආදරේට ප්‍රියා අයියා කියලනේ කියන්නේ.. ගිම්හානි අක්කා එකතු වෙන්න කලින් ආදරණීය නිශාන්තේ කළේ මේ අයියනේ..
------------------------------------------------------------------------------------------------------------

විසිදෙවෙනි පෝස්ට් එක දැන්..  NJ ranGO ...දැන් නම වෙනස් කරලා.. ඉස්සර දාලා තිබ්බේ Najath Akram කියලා... අරුණැල්ල බ්ලොග් එක මේ මල්ලිගේ... ලඟදිනෙ බර්ත්ඩේ එක තිබ්බේ.. 21 ගහපු කේක් ගෙඩිය දැක්කනේද ඔයාලා..

සොඳුරු සිතැති මිනිසා බ්ලොග් එක ලියන සොඳුරු සිතැති මිනිසා  .. අයියෝ මෙයත් හරි කම්මැලි පෝස්ට් එකක් දාන්න.. අර නංගි බබාලට සෙරෙප්පුද සපත්තුද කියල පෝස්ට් එකක් ලිව්වේ මේ අයියනේ.. (ඊට පස්සේ ලිව්වද දන්නේ නෑ..)

 ඊළඟට කුබුවිගේ ලෝකය ලියන කුබූ අයියා... මං තාම ඒ පැත්තේ ගියෙත් එක පාරයි.. නෑවිත් ඉන්නෙ නෑ.. මම එනවා !!!
------------------------------------------------------------------------------------------------------------
විසිතුන් වෙනි ලිපියට ආවේ කවුද?? කිරිපුතාගේ විත්ති ලියන කිරි පුතා සහෝදරයා ආවා මේක කියවලා යන්න...
පන්සල්  හංදිය බ්ලොග් එක ලියන පන්සල් හංදිය කියන නමින්ම කමෙන්ට් කරන අයියත් ආව  මේ ලිපිය බලලා යන්න..

වර්ෂා .... මෙයා ලියන බ්ලොග් එකේ නම වැහි වැටෙන තැන... තව කවුරු හරි ඒ නමම බ්ලොග් එකක් ලියන්න පාවිච්චි කරනවා වගේ මට මතක..
------------------------------------------------------------------------------------------------------------
විසි හතර වෙනි පෝස්ට් එකට ආවේ... Praveena Palipana ඒ කියන්නේ පොඩි කුමාරිහාමි අක්කා... Podi Kumarihami බ්ලොග් එක ලියන්නේ ඒ අක්කා...

ම්ම්ම් හින්දි නළුවෙකුත් ආවනේ... සල්මාන් ඛාන් තමා... හැබැයි මෙයා නම් හොඳට සිංහල දන්නා පාටයි...

තවත් අළුත් යාලුවෙක් ආවා නොහිම් සිහින කියලා... බ්ලොග් එකත් නොහිම් සිහිනම තමා...

ඔච්චරයි මේ දක්වා ආපු යාළුවො... ෆලෝවර්ස් ලා දැනට 91 යි.. ඉතින් යාලුවනේ ඔයාල හැමෝටම ස්තුතියි ගොඩාරියක්... ඉස්සරහටත් මාත් එක්ක රැඳෙන්න කියල ආදරයෙන් ඉල්ලනවා..

ඒ එක්කම බ්ලොග් එකේ වෙනසක් කරන්න හිතුව.. මගෙ ඇත්තම ඇත්ත නමට ශානි කියන නමේ කිසිම අදාලත්වයක් නෑ.. ඒ නිසා මම හිතුව නම වෙනස් කරන්න... ඒත් ඇත්තම නම නෙමේ.. හැබැයි ඔයාලට දළ වශයෙන් නම ගැන අදහසක් ඒවි.. මොකද මම අනිත් පෝස්ට් එකේ ඉඳං පාවිච්චි කරන්න ඉන්නේ ඇත්ත නමේ මුල් අකුරු දෙක... ඒ තමා Anu කියන එක... දැන් මගෙ නම දන්නා කට්ටිය එහෙම මෙතන නම කියවන්න යන්න එපා.. මම බේරිලා ඉන්නත් එපැයි මොනාහරි ලියන්න..  නේ??

26 වෙනි පෝස්ට් එකේ ඉඳං මගෙ නම වගේම බ්ලොග් එකේ නමත් වෙනස් වෙයි.. තාම නමක් හිතුවේ නෑ...!!!


Monday, March 26, 2012

~~~සඳයි තරුයි~~~ 4 කොටස


කලින් කොටස කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට... 


කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“හෙලෝ”
කතා කලේ පිරිමි කටහඬක් නිසා මේ සඳුනිල්ම වෙන්න ඇති කියල හිතාගෙන මාත් කතා කළා.

“හෙලෝ සඳුනිල්”

“ඔයා මාව දන්නවද?”
මේ යකාට පිස්සු.. දන්නවනම් කතා කරනවැයි

“නෑනේ. ඉතින් ඔයා කවුද කියල කියන්නකො”

“මම තමයි අපේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්”
කිරි අප්පට බල්ලෝ පැනපි. කවුද දන්නෙ?

“මම නම් ඒ වගක් දන්නෙ නෑ. ඔයා මොනවද කරන්නේ?”

“මම මැත්ස් කරන්නෙ.”

හ්ම්ම්ම් දැන් තමා මම පුල පුලා අහන්න බලං හිටපු ප්‍රශ්නෙ අහන්න යන්නෙ.
“ඇයි ඔයා මට කෝල් කරන්න එපා කිව්වෙ?”

“මට වැඩි වෙලා කතා කරන්න බෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න තියෙනවා. හැමදාම එයා එක්ක පැය දෙකක් කතා කරන්න ඕන. මම දැන් තියන්නම් තරූ. ජේසු පිහිටයි.”

“ම්ම්ම් හරි හරි සඳුනිල් , බුදු සරණයි”

හිතේ ප්‍රශ්න දෙක තුනක්ම ඉතුරු කරලා සඳුනිල් කෝල් එක කට් කළා.
ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් එයා මොකටද ෆේස්බුක් එකේ මං ගැන හොයන විදියේ මැසේජ් දාන්නේ? දැන් මම කාගෙන්ද මේ සඳුනිල් ගැන අහන්නේ? ආ... මැත්ස් එකේ ශානිකා ඉන්නවනෙ... හෙට ඉස්කෝලේ ගියාම අහල බලමු... මම තනියම කල්පනා කළා. ෆෝන් එක පැත්තකින් තියල පාඩම් කරන්න ගත්තා.

“සුදු මැණිකේ, මෙන්න සුදු අයියා ට්‍රිප් එක ගිහින් ඔයාට මොනාද ගෙනල්ලා”

“කෝ...... එයා මට කිව්වෙවත් නෑනේ.. මොකක්ද?”

“මොකක්ද කියල මෙන්න මේ පාර්සලය ලෙහල බලන්න ළමයෝ..”

“ෂා.... සුදු අයිය මට ටෙඩිබෙයා කෙනෙකුයි රුලං කේක් වගේකුයි ගෙනත්.. මේ....”

ලා නිල් පාට.. මගේ ආසම පාට. හරිම හුරුබුහුටි  ටෙඩිබෙයාව අතට අරන් මම ඇඳට ගිහින් තිබ්බා.. සුදු අයිය දන්නව මම ආස පාට.. ආවදෙන්කෝ හොරා..

“කොයිවෙලේද අම්මේ මේක ගෙනාවේ?”

“ඔයා නිදාගෙන ඉද්දිනේ අයියා ආවෙ. මට කිව්වා රෑ වෙලා නංගිට දෙන්න කියල..”

“අම්මෝ අයියත් නෝටි, අම්මත් නෝටි... අම්මේ මට බඩගිනි. අපි කමුද?”



                                                                                                                                                       
“හරි හරි...ඉන්න මම පපඩම් වගේකුත් බැද්ද”

අම්ම බත් එක බෙදනකල් මම මේසෙ ගාව ඉඳගෙන ඉරිදා පත්තරේ බැලුවා. අම්ම කෑම එක එතෙන්ටම ගෙනත් දුන්නා.

තාම 9 ටත් නෑනේ. දැන්ම නිදාගෙන බෑ. විභාගේ කරන අවුරුද්ද වෙලා මෙහෙම පාඩම් කරලා බෑ.. තව ටිකක් පාඩම් කරන්න ඕන. එහෙම හිතපු මම කාලා මූණත් හෝදගෙන ආයෙමත් මේසෙට ගියා. කොච්චර පාඩම් කළත් වැඩි හරිය අමතක වෙන ක්‍රියාකාරී ශාකය පාඩමේ ද්විබීජ පත්‍රී කඳක ද්විතික වර්ධනය මාතෘකාව තෝරගෙන පාඩම් කරන්න ගත්තා.. රෑ වෙනකල් පාඩම් කරන නිසා මට කෝපි කොප්පයකුත් හදල තියෙනවා කියල අම්ම කියනව මට යන්තමට ඇහුණා. බත් කාපු ගමන් කාටද කෝපි බොන්න පුළුවන්.. මම දිගටම පාඩම් කළා. ෆෝන් එකට මොනාහරි මැසේජ් ඇවිත් ඇති කියල හිතුණත් ඒ ගැන මම වැඩි අවධානයක් දුන්නෙ නෑ..

10.30 ට විතර කෝපි බීල දත් මැදපු මම 11.30 පහුවෙලා ටිකකින් නිදාගත්තෙ හෙටත් පාන්දර නැගිටින්න තියෙන නිසා..

----------------------------------------------------------------------------------------------------

“ට්‍රින්ග්..................... ට්‍රින්ග්...............”

අම්ම අළුතෙන් ගෙනත් තිබ්බ එලාම් ඔරලෝසුවේ කන් අඩි පුපුරණ සද්දෙට මාව ඇහැරුණේ උඩ විසි වෙලා.


“හයියෝ... එක්කෙනෙක්ට පව් වැඩේලු”
මෙන්න බොලේ සුදු අයියා නැගිටලා. එයා ගෙදර ආවෙ කොයි වෙලේද?

අම්මේ... සුදු අයියා ඊයේ ගෙදර ආවෙ නෑනේ.. මේ කොහොමද මෙහෙ ඉන්නෙ?”


“එයා ඊයේ එද්දී පාන්දර 1.30 යි තරූ..”

අම්මෝ 1.30 ට ඇවිල්ලත් මෙයා නැගිටලද? විනාසයි. දැන් මට නොනිඳාම තමා ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්.. ඉක්මණට ලෑස්ති වෙලා ඉස්කෝලේ ගියා. 

තරුෂි, අද ඔයා පංතියේ ගෑණු ළමයින්ගෙ ෆෝන් චෙක් කරන්න ඕන

මම ඉස්කෝලේ එනකල් ඉඳලා මාව පැත්තකට අරගෙන පංතිභාර මිස් එහෙම කියද්දී මාව ගැස්සුනා.. ඇයි දෙය්යනේ මමත් එදා ෆෝන් එක ගෙනිහින් තිබ්බේ..

“හරි මිස්”
යන්තම් වචනේ දාල ශේප් උනා.

“මේ.. අහගනිල්ල කෙල්ලනේ.. උඹල ෆෝන් ගෙනත් තියෙනවා නම් බොහොම පරිස්සමින් තියා ගනිල්ලා.. මිස්ට අහු උණොත් මම ඉවරයි... මාව බේරපල්ලා”

ෆිසික්ස් පීරියඩ් එක එනකල් බලං උන්න ශානිකාගෙන් සඳුනිල් ගැන අහල බලන්න.. අනේ බලමු මෙයා වත් දන්නවද කියලා..

“ශානිකා”

“ඇයි තරූ?”

“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා..”

“අහන්න”

“ඔයා බෝයිස්‌ එකේ මැත්ස් කරන ළමයෙක්ව දන්නවද සඳුනිල් කියලා?”

“ම්ම්ම්ම්... අපේ වයසේද?”

“ඔව්. අපේ වයසේ තමා”

“නෑ තරූ.. එහෙම කෙනෙක්ව නම් මම දන්නෙ නෑ”

“එයා ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් කිව්වා.. දන්නෙම නැද්ද?”

“නෑ අනේ මම ඇහුවමයි එහෙම ළමයෙක්”

මොනා කරන්නද එයාගෙන්ම අහන්න වෙනව ඉතිං.. ඉක්මන් කොටයිලු.. අනික කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ගැන මොකට වැඩ වෙන්නද මම.. පංති නැති දවසක් වෙච්ච සඳුදා පුරුදු විදියට මම ගෙදර ගියා..

මම දන්නෙත් නෑ ෆෝන් එක ඔෆ් වෙලා .. කොයි වෙලේ ඕෆ් වුණාද දන්නේ නෑ.. දවසටම ඇල්ලුවෙවත් නෑ..

චාර්ජර් එකට ගහලා ඔන් කළා.. ටිකකින් මැසේජ් පෝලිමයි.. ඇලට් ගොඩයි..

Hi tharu, Good night. Budu saranai.

අනේ මන්ද සඳුනිල් තේරුම් ගන්න අමාරුයි වගේ.. මොකෝ තකහනියෙ මට ගුඩ් නයිට් කියන්නේ.. ඒ මොනා වෙතත් ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ ඊයේ රෑ.. රිප්ලයි කරන්න ඕන නෑනේ ඒකට දැන්..

ඇඟ හෝදලා රෙදි හෝදගෙන ඇවිත් බත් කන්න ගත්තු වෙලේ ඉඳං මම කල්පනා කලේ එකම දෙයයි..

අම්ම කෑ ගහනවා ඒ අස්සේ..

“මොනාද ළමයෝ බත් එක පහුරු ගගා අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?”

------------------------------------------------------------------------------------------------------------
දැනගන්න ඊළඟ කොටස සමඟ එකතුවෙන්න  !!!


Wednesday, March 21, 2012

මේ ගැනත් හිතන්න


මීළඟට ලියන්නේ සඳයි තරුයි කතාවේ  4 වෙනි කොටස කියල දැඩි තීරණයක් හිටපි මට හදිස්සියේ ඒ තීරණේ වෙනස් කරන්නට සිද්ධ වුණා.. ඒ ඊයේ රාත්‍රියේ මට දකින්නට ලැබුණු ඡායාරූප කීපයක් නිසා.. තව හරියටම මාසයක කාලයකින් රියදුරු බලපත්‍රය ලබාගන්න ඉන්න මගේ සිත මේ පින්තූර දැක්කම කවදාවත් නොවූ තරමට සසල වුණා..

දැන් මම ඔයාලටත් ඒ පින්තූර ටික පෙන්නන්න ලෑස්තියි. හැබැයි අධික ලෙස කම්පනයට පත් වෙන අය ඉන්නවා නම් මේ ලිපිය කියවන එක නවත්තල දාල දැන්මම යන්න කියල ඉල්ලන්නේ බොහොම කරුණාවෙන්... එහෙනම් මේ පින්තූර දිහා බලන්න..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.







දැක්ක නේද පින්තූර ටික... එහෙනම් දැන් කතාවත් අහන්න..

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මොරටුව ප්‍රදේශයේ.. එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි බෝනික්කෙක් වගේ අවුරුදු අටක් වයස පුංචි දෝණි කෙනෙකුයි මෝටර් සයිකලේ ගමනක් යනවා... පිටිපස්සෙන් ආපු වාහනයක් මෝටර් සයිකලය හැප්පීම නිසා අම්මයි තාත්තයි ළමයයි විසි වෙනවා.. තාත්තා විසි වෙලා ගිහින් වාහනයකට අසු නොවී බේරෙන්නේ අනූ නමයෙන්. අම්මටත් අතේ තුවාලයක් සහිතව සිදුවන මේ අනතුරේ අවාසනාවන්තම සිදුවීම ඔයාල දැන් දැකල ඉවරයි. මලක් වගේ හිටපු පුංචි කෙල්ල විසි වෙලා වැටෙන්නේ වාහනයක රෝදයක් යටට. වාහනය ලොරියක්ද බසයක්ද යන්න මා හරියට දන්නෙ නෑ.. විශ්වාස කරන්න මෙය නවතා තිබූ වාහනයක්.. ඒ කාලකන්ණි රියදුරා නවතා තිබූ වාහනය ඉදිරියට ධාවනය කිරීම වෙනුවට එක්වරම වාහනය පසුපසට ධාවනය කළා.. ප්‍රථිපලය....  2 හා 3 පින්තූර බැලූ විට පැහැදිලියි නේද? මෙතන වරද කාගේද? පරිස්සමින් අනුන්ට කරදරයක් නොවන ලෙස මෝටර් සයිකලය ධාවනය කළ තාත්තගේද? නොසැලකිලිමත් ලෙස මෝටර් සයිකලය හැප්පු රියදුරාගේද? එහෙමත් නැත්නම් අවිචාරවත් ලෙස රිය පසුපසට පැදවූ රියදුරාගේද?

තවත් පින්තූර ටිකක් දැන් බලමු.

කලින් වගේම කියන්නට තියෙන්නේ බලන්නට අමාරු අය බලන්නට එපා... මේ පින්තූර කලින් ඒවාටත් වඩා භයානක වෙන්න පුලුවන්.. එහෙනම් හිත හයිය අය එන්න බලන්න..








මේ අයියා දිහා බලන්න... හැමෝම ආරක්ෂිතයි කියන හෙල්මට් එකක් දාගෙන සිටින එයාගෙ හෙල්මට් එකට වෙලා තියෙන දේ පැහැදිලියි නේද? හෙල්මට් එක දෙකට වෙන්වෙලා ,පටිය බෙල්ලෙ හිරවෙලා තියෙන හැටි පේනවා නේද? එයාගෙ කකුල තියෙන හැටි දැක්කද? ඇඹරිලා උඩින් ඇවිත් ... කලිසමත් ඉරිලා කකුලට වෙලා තියෙන විපර්යාසයට..
තව එකම එකක් තියෙනවා.. ඒකත් බලන්න..

මේක දිහා බැලුවම වෙන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේද? මේක ට්‍රක් එකකට අහු වුණ මවුන්ටන් බයිසිකල් කරුවෙක්ගේ පින්තුරයක්..




ලර්නර්ස් යද්දී බයික් ලයිෂන් වලට ඉල්ලුම් කළ නිසාත්, මගේ කරදරේ නිසා පුරුදු වෙන්න බයික් එකක් නැති කමට අරන් දුන්න නිසාත්, ට්‍රයල් ළඟ නිසාත්.. ගෙදර වත්තේ පුරුදු වෙලා ලයිෂන් එක ගත්තත් ඊට පස්සේ ඒක අල්ලන්නවත් මට හිතෙන්නේ නෑ..

බයික් වලට විතරක් නෙමේ බයිසිකල් වලටත් මේ කතාව පොදුයි.. මොකද ඒ අවස්ථා දෙකේදීම ඉස්සරහින් හැප්පුනත් පිටිපස්සෙන් හැප්පුනත් අනතුරු වෙන්න තියෙන අවස්තාව බොහොම වැඩියි. නමුත් රෝද 4 වාහන වල ආසන පටි තියෙනවා. ඒවා දාගෙන වාහනය ධාවනය කලාම වෙන්න තියෙන අනතුරු 99.99%ක්ම අඩුයි.. අනික රෝද 4 වාහනයක් පිටිපස්සෙන් හැප්පුනාම  වෙන්න තියෙන අනතුර සෑහෙන දුරට අඩුයි.. මම අනතුරු නොවෙනවා කියන්නෙ නෑ... නමුත් බයිසිකල් සහ බයික් වලට වඩා ආරක්ෂිතයි.. ඉතිං අම්ම අවුරුදු ගාණක් අත පය නොකඩා දුක් විඳලා අපිව හැදුව නම් ඒ ජීවිතයට වටිනාකමක් දෙන්න අපි දැනගන්න ඕන.

නිකමට හිතල බලන්න ඔයා හදිස්සියේ නැති උණොත් ඔයාට ආදරය කරන කීදෙනෙක් මේ ලෝකේ දුක් වෙයිද කියල.. අපි කවද හරි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක ඇත්ත. ඒත් අපි කොයිතරම් සුපරික්ෂාකාරී විදියට වාහනය ධාවනය කළත් අපිට පාරේ යන මිනිස්සු ගැන විශ්වාසය තියන්න පුලුවන්ද? බෑ... ඉතිං හිතන්න... වාහන ධාවනය කරන හැමෝම..

ලෝකේ තියෙන භයානකම වාහනය බයික් එක බව මේ වෙනකොට මගේ සිතට දැනිලා ඉවරයි.. එකඟ වෙන්නෝ පිළිගනිත්වා.. !!! එකඟ නොවන්නන්ට ලිපිය කියෙව්වට ස්තුතියි !!!

බ්ලොග් එකේ දාන්න තරම් මේ පින්තූර දරුණු වැඩිද කියල හිතුණා.. ඒත් මම දැම්ම... හිත රිදුණා නම් සමාවෙන්න...