ලෝකෙට ආපු අය

Thursday, July 19, 2012

අවුරුදු හතරක් ???


ම්ම්ම්...සති දෙකකටත් වඩා චුට්ටක් වැඩිපුර කාලයක් බ්ලොග් අවකාශයෙන් ඈත් වෙලා හිටපු මමකාලෙකින් නොලියූ අත්දැකීම් ලේබලයට ලිපියක් ලියන්න හිතුවා.
            
අද දවස.... ජූලි 19....ජූලි 19 කියන්නෙ මගෙ ජීවිතේ අමතක නොවන වැදගත්ම දවසක් (නෑ නෑ ඔයාල හිතන එක නෙමේ. වෙන එකක් J)
            
 ඒ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු හතරකට ඉස්සර. 2008 ජූලි මාසේ 19 වෙනිදා. එදා සෙනසුරාදා දවසක්. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවනෙ. එදා උදේ වරුවෙ කෙමිස්ට්‍රි පංති. පංති ඇරිල මම අපේ පාරෙ මැද හරියක් යද්දී මට පිටිපස්සෙන් කවුරුහරි කතා කළා. පිටිපස්ස බැලින්නම් අම්මා.

නිළමෙ මාමලාගේ තාත්ත නැති වෙලා. මළගෙදර යන්න ලෑස්ති වෙන්න.චූටි මාමා 1. 30 වෙද්දි එනව කිව්වා.

අනේ අම්මේ,දැන්මම 1.15 යිනෙ. මට නම් බෑ ඔය හදිස්සියට ලෑස්තිවෙන්න. මං මෙහෙම්ම යනවා.

ගෙදර ගිහින් කොණ්ඩේ ටිකක් එහෙන් මෙහෙන් පීරද්දි වෑන් එක ආවා. අපි දෙන්නත් ඉක්මණට වාහනේට නැග්ග. ආදාහන කටයුතු ඉවරවෙනකලුත් ඉඳල අපි ගෙදර එද්දි හවස 5.30ට විතර ඇති.

හරී.....පූර්විකාව ඉවරයි. දැන් තමා නියම කතාව පටන් ගන්නෙ. මෙතන ඉඳං කතාව දිගායි.

චූටි මාමල අපිව ගේට්ටුව ළඟින් බස්සල එහෙම්ම ගෙදර ගියා. අපි ගෙදර දිහාට ගියා. පිටිපස්ස දොරේ යතුර තිබ්බ තැන නෑ...හැම තැනම හෙව්වා... වැටිලද කියල බැලුවා... ම්හ්...කොහෙවත් නෑ... කරුමෙට අම්මා බෑග් එක ගෙනිහිල්ලත් නෑ. නැත්නම් එයා සමහර වෙලාවට එයා යතුර අරන් යන වෙලාවලුත් තියෙනවා. හරි වැඩේ දැන් යතුර නෑ...

ෂුවර් එකටම යතුර කලබලේට ගේ ඇතුලෙ දාල වහල..” මම කිව්ව.

දැන් මොකද කරන්නෙකොහොමද අපි ගෙට යන්නෙ?” අම්ම බය වෙලා මූණ රතු වෙලා.
            
ඔන්න ඔය වෙලාවෙ මට පහළ වුණා සාමාන්‍ය  ගැහැණු ළමයෙක්ට හැබැහින් තියා හීනෙන්වත් කරන්න හිතෙයි කියලා විශ්වාස කරන්න අමාරු වැඩක්. පුළුවන් නම් කියන්න බලන්න.
                                                                .
                                                                .
                                                                .
            
 පුළුවන්ද?

පුළුවන්ද??

පුළුවන්ද???

ඒ තමා වහලෙන් ගේ ඇතුළට බැහැල යතුර අරන් දොර ඇරල අම්මව ඇතුළට ගන්න එක !!!

අම්මෙ,මම ජම්බු ගහ ගාවින් ඉනිමඟ තියලා වහලෙට නැගල මගෙ මේසෙ හරියට වෙන්න බැහැල දොර අරින්නම් මම කිව්වා.

අනේ පුතේ ඔයාට පුළුවන්ද?”අම්ම ඇහුවා.

අම්ම ඉන්නකෝ මම වීරය වගේ කිව්වා.

පොඩ්ඩක්වත් බය හිතුනෙ නෑ. අම්ම ජම්බු ගහ ගාව හිටන් ඉද්දි මඩුවට ගිහින් ඉනිමඟ උස්සන් ආවෙත් මමමයි. ඊට පස්සෙ ඉනිමඟ තියලා සෙරෙප්පු ගලවල වහලෙට නැග්ග. නැගලා මගෙ මේසෙ හරියට වෙන්න තියෙන උළුකැට ගැලෙව්වා. (කලින් කියන්න අමතක වුණා J ඉර එළිය මේසෙට වැටෙන්න වහලෙ එක තැනක උළුකැටේ වෙනුවට වීදුරු කෑල්ලක් දාල තියෙනවා. ඒකෙන් තමා තැන හරියටම හොයා ගත්තේ) වීදුරුව අයින් කළාම ඒක ඇතුලෙ කළුවර.... මෙලෝ දෙයක් පෙනුනෙ නෑ. කොහොමහරි පොල් පරාල රීප්පයක් අල්ලගෙන ඇතුළට බැස්සා...

අනේ බලාගෙන පුතේ අම්ම කියනවා.

හරි හරි මං බැස්ස මාත් කිව්වා.

මළ කෙලියයි. අත් දෙකෙන් එල්ලුනාට කෝ කකුල් තියන්න තැනක්අනේ ඊළඟ පරාලෙට තව අඩි 2ක් විතර දුරයි... මට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා. අල්ලන් හිටපු එකේ එල්ලිලා ඉන්නත් බෑ. මම කොහොමහරි පහළට එන්නත් එපැයි. අත නිදහස් කරනවත් එක්කම මාව දඩස් ගාල වැටුණා.

කොහෙටද?

මගෙ මේසෙ ගාව බිමට..!!!

මට කෑගැහුනා හයියෙන්. කකුල මොකක්ද වෙලා වගේ. අම්මා තාම එළියේ

අනේ බබෝඔයාට මොකද වුණේ?”

එයාට ගෙට එන්න විදියක් නෑ. දොර වහලා. ඒ ගමන මම කකුලෙන් ලේ පෙරි පෙරී ගිහින් දොර ඇරියම තමයි අම්ම ගෙට ආවේ. මාව දැකල එයත් අඬනවා. තාත්තට කෝල්  කළොත් බනියි කියලා අම්ම කෝල් කළේ චූටි අයියට.

අනේ චූටි පුතේනංගියව වහලෙන් වැටිලා. ඉක්මණට එන්න අම්ම කිව්වෙ අඬ අඬා.

චූටි අයියා (මතකයි නේඔව් ඔව් එයා තමා...J) බයිසිකලේ ගෙදර ආවා. එයා එද්දිත් මගෙ කකුලෙන් ලේ ගලනවා. ඒ විතරක් නෙමේ නිකට යටිනුයි දණිස් වලිනුයි ලේ එනවා.
මෙහෙම බෑ. මේකට නර්සින් හෝම් එකෙන් බේත් දාන්න වෙයි. මං ගිහින් ත්‍රීවිල් එකක් අඬගහගෙන එන්නම්

එහෙම කියපු චූටි අයියා ආයෙම බයිසිකලේට නැග්ගා. විනාඩි දෙක තුනකින් අසේල අයියගෙ ත්‍රීවිල් එක එද්දි  ඇඳන් හිටපු ගවුම ගලවලා වෙනත් ඇඳුමක් අන්දවලා මාව බේත් දාන්න එක්ක යන්න අම්ම මාව ලෑස්ති කරලයි තිබුණේ.

චූටි අයියා ගෙදර ඉද්දි අම්මයි මායි නර්සින් හෝම් එකට ගියා. එහෙන් බාරගන්න බෑ කිව්ව. ඉස්පිරිතාලෙ යන්න කිව්වා. එහෙම්ම ත්‍රීවිල් එකේ ඉස්පිරිතාලෙ ගියා. ඉස්සෙල්ලම යන්නෙ බාහිර රෝගී අංශයටනේ. ඒකෙ දොස්තර නෝනා වස පාටයි.

කොහොමද වැටුණේ?”

මේසෙකින් වැටිලා අම්ම කිව්වා.

මේසෙකින් වැටිලා මෙහෙම තුවාල වෙන්න විදියක් නෑනේ. ඇත්ත කියන්න මොකද වුණේ?” ඒ ගමන දොස්තර නෝන සැර වුණා.

යතුර ගන්න වහලෙන් බහින්න ගිහින් කඩාගෙන ඇතුළට වැටුණා. අම්මගෙ අත හීං සීරුවට කොනිත්තන ගමන් මම කිව්වා.

ඒක තමයිඉස්සෙල්ල බොරුනෙ කිව්වෙ මේසෙන් වැටුණා කියල. දොස්තර නෝන එහෙම කියද්දි අම්ම බිම බලාගෙන.
            
මාව දැම්මෙ 4 වාට්ටුවට. බොහොම අමාරුවෙන් පඩි නැග්ගෙ.එක හිස්‌ ඇඳක් තිබුණා. මාව ඇඳට දාල අම්ම ගෙදර ගිහින් එන්න ගියා. (දුර නෑ ගොඩක්. ඉක්මණට ආව හැකි J) රෑ වැඩ මුරේට වැඩකරන තරුණ දොස්තර නෝන කෙනෙක් උන්නා. මගෙ වාරේ ආවම විස්තර ඇහුවා.දණිස් දෙකට බේත් දැම්ම. නිකටටත් දියවෙන මැහුම්ද මොනාද කියල දැම්ම හිරිවට්ටලා. මහනවා දැනුණා. රිදුනේ නම් නෑ J
            
ඔය අතරෙ අම්ම ගෙදර ගිහින් ආවා. අම්ම එවෙලෙ මට කිව්වා චූටි අයියා කිව්වලු

අම්මෙ නංගියගේ කකුලෙන් ගොඩක් ලේ ගිහින් තියෙනවා. කලන්තෙ හැදෙයි. ග්ලූකෝස්තැඹිලි එහෙම අරන් යන්න.

කියලා.හැබැයි එව්ව ගෙනත් තිබ්බේ නෑ අම්ම දොස්තරලා බනියි කියල වෙන්ටැ.. L අම්ම ගෙදර යද්දී චූටි අයියා මගෙ නිල් සුදු කොටු කොටු ගවුම හෝදලාබිම වැටිලා තිබ්බ වීදුරු කටුයි ඇස්බැස්ටස් කටුයි අස් කරලා සුද්ද කරලලු.

එදා සෙනසුරාදා රෑම අර තරුණ දොස්තර නෝන අම්මට කිව්ව

සර්ජන් නැතුව කකුල මහන්න බැහැ. සර්ජන් ආයේ එන්නෙ සඳුදට. එතකල් තියාගෙන ඉන්නවට වඩා හොඳ පුළුවන් නම් දැන්මම හලාවත අරන් යන්න. ඇම්බියුලන්ස් එක නම් මේ වෙලාවෙ නැහැ. වාහනයක් තියෙනවා නම් දැන්මම යන්න

කියලා. එතකොට වෙලාව රෑ 11.30 ට විතර ඇති. අම්ම එළියට ගිහින් ටිකකින් ආයෙ ආවෙ ලොකු අයියට මාව එක්ක යන්න එන්න කියල කෝල් එකක් දීල. දොස්තර නෝන ලහිලහියේ මගෙ කාඩ් එක ලිය ලිය ඉද්දි චූටි අයියා ආව වාට්ටුවට. කාඩ් එක ලියල ඉවර වෙනකල් ඉඳල මාව දාගෙන යන්න රෝද පුටුවකුත් හොයන් ඇවිත්.. අම්ම සීරුවට පඩිපෙළ බහිද්දි ඇල කරලා හදල තියෙන කොරිඩෝව දිගේ 4 වෙනි තට්ටුවේ ඉඳං පල්ලෙහාටම මාව තල්ලු කරන් අරන් ආවෙ චූටි අයියා. ලොකු අයියගෙ නිල් පාට මරුටි කාර් එක නවත්තල තිබ්බ තැනට ගිහින් මාව අමාරුවෙන් වාහනේට නැග්ගුවා.

අම්මයිලොකු අයියයිචූටි අයියයිමායි හලාවත ඉස්පිරිතාලෙට ගොඩබහිද්දී වෙලාව පාන්දර 1යි !!!

 අයියල දෙන්න ගියත් අම්ම ගියෙ නෑ. එයා හිටියා. ඒ පාන්දර 1ටත් වාට්ටුවෙ දොස්තර මහත්තය මාව බැලුව.අර කාඩ් එකත් බැලුව.විස්තරත් ඇහුව. ඉස්කෝලෙ යනවදමොකද කරන්නෙ ඇහුවා. ඒ අතරේම කකුලට බේත් දැම්ම. මම කිව්ව ඒ ලෙවල් කරන්නෙ කියලා. බයෝ කරනවා කියන්න මටම ලැජ්ජයි. හයියෝ හයියෝ JJJ මාව ඇඳට දැම්ම.
            
ඉරිදා උදේ වාට්ටුව භාර දොස්තර මහත්තුරු දෙන්නයි සර්ජන් මහත්තයයි ආව. ඔක්කොම ලෙඩ්ඩු බලාගෙන බලාගෙන මා ගාවටත් ආව. අර දොස්තරට කිව්ව මාව එදාම ඔපරේෂන් තියටර් එකට ගන්න කියල... අම්ම හලාවතනේ. කොහෙන්ද සුදු ඇඳුම් හොයන්නෙ? මම අම්මට කිව්වා අක්ක ගාව ඇති කෝල් කරලා කියන්න කියලා. ලොකු අයිය අතේ බෙඩ් ජැකට් එකකුයි සුදු රෙද්දකුයි අක්ක එව්වා. එදා දවල් මාව ඔපරේෂන් තියටර් එකට ගත්තා. ඔපරේෂන් කරන්න නෙමෙයි හැබැයි. මැහුම් දාන්නම තමා කකුලට. ඒ මොකෝ දන්නවද?

උදේ ආපු සර්ජන් මහත්තය කිව්වෙ මගෙ කකුලෙ බල නහරේ ඩැමේජ් වෙලා කියල. තව ටිකක් එහා මෙහා උනා නම් මට සදහටම ඇවිදින්නත් බැරි වෙනවලු.

ඔන්න ඉතින් ඔපරේෂනුත් කළා කියන්නකො. ඉරිද රෑ වෙනකලුත් අම්ම උන්න. ඉරිද උදේ ලෙඩ්ඩු බලන වෙලාවෙ ඉඳං හැම ලෙඩ්ඩු බලන වෙලාවකම මාව බලන්න කවුරු කවුරු හරි ආව. තාත්තාලොකු අයියාලොකු මාමාසුදු මාමාචූටි මාමා,බාප්පා මේ හැමෝම ආවා. සමහරු අම්මට දොස් කිව්ව මාව වහලෙට නැග්ගුව කියල. අනේ ඉතින් එයා මක් කරන්නදමමනෙ වැරදි L....
            
අප්පොච්චියෝ ඒ මදිවට අර රෝහල් පොලිසිය කියල ඉන්නෙඒ පොලිස් මහත්තයෙක් ආවනෙ කොළ වගේකුයි පෑනකුයි අරන් මගෙන් කට උත්තර ගන්න!!! කාට හරි විරුද්ධව නඩු දාන්නමාව වහලෙන් වැට්ටුව කියලා... විස්තරේ කිව්වම මට නඩු එපා” කියල ලියල අත්සන් කරන්න කිව්වා JJJ
            
සඳුදා උදේ දොස්තර බැලුවට පස්සෙ අම්මා ගෙදර ගියේ ආපහු දවල්ට එන්න බලාගෙන. හැබැයි දවල් මගෙ ටිකට් කැපුවා. කාගෙන්දෝ 5 බට්ටෙකුත් හොයාගෙන අමාරුවෙන් ටෙලිෆෝන් බොක්ස් එකක් ලඟට ගිහින් ගෙදරට පණිවිඩේ කිව්ව. පැයකින් හමාරකින් වගේ මාව එක්ක යන්න අම්මයි තාත්තයි ආවා.
            
ගෙදර ගියාමයි දැක්කෙ වැටුණු තැන කොච්චර භයානකද කියලා. මිටි වහලෙ ඉවර වෙලා උස වහලෙ පටන් ගන්න තැන. වැටුණු තැන හතර වටේම යකඩ බඩු. මගෙ කබඩ් එකපත්තර රාක්කෙමේසයපුටුව... මේ හැමදේම තියෙන පොඩි ඉඩේ බඩුවක් මුට්ටුවක් නැති පුංචි කොටසක් උඩට තමා මම වැටිලා තියෙන්නේ. සෙල්ලං නෑ නේඅර එකක හරි ඔලුව වැදුනානම් ??? අපේ අම්ම අදටත් ඔය සිද්ධිය මතක් කරද්දී ඒ ගැන කියල බයවෙනවා.
            
ජූලි මාසෙ අන්තිමේ වාර විභාගේ තියල නිවාඩු දෙන බව ඔය කස්ටිය දන්නවනෙ. මට ඉස්කෝලෙත් නෑවාර විභාගෙත් නෑ... නිවාඩු දෙන දවසෙ අපේ පන්තියෙ කෙල්ලො කොල්ලො සෙට් එක ආව මාව බලන්න. (ක්‍රිස්කෝ ටින් 1ක් එහෙමත් අරගෙන JJJ) ඒ ටිකේ ඇඳේමයි. කකුල තැලෙනවා කියල ඇවිදින්න දෙන්නෙත් නෑ. මැහුම් තෙමෙනවා කියල ඇඟ හෝදන්නත් නෑ. වැසිකිළි කැසිකිළි යන්න ඉතින් ඇඳෙන් බහින්නම එපැයි. ඒ යන අතරෙ මම දැක්ක මගෙ මේසෙ ගාව අලුතෙන් ඇස්බැස්ටස් ගහනව අලුත් මෝස්තරේකට...පස්සෙ බැලින්නම් ආයෙ වීදුරුවකුත් දාල. බාස්ල දම්මල තාත්ත ඒක හදවලා.
            
මැහුම් කපන්නබේත් දාන්න ගියේ අපේ පැත්තෙ ඉස්පිරිතලෙටනේ.. අපොයි ඒකෙ මිසීලට උත්තර දීල එපා උණා. ඒ මදිවට තව අගෝස්තු නිවාඩු ඉවර වෙලා දකුණු කකුල අද්ද අද්ද තට්ටු දෙක නැගල පන්තියට යද්දී හරි සනීපයි J කොහොමහරි මාස 2-3ක් යනකල්ම කොර ගහන්න සිද්ධ වුණා. ඒ වගේමයි රිදිල්ල.

අවුරුදු 4ක්  ගත වුණත් දියවෙන මැහුම් දාපු මගෙ නිකට යට තුවාල කැළල (චූටි අයියා වට්ටපු එකත් තියෙනවා) තවම හොයන්න පුළුවන්. ඒත් යට පැත්තේ නිසා එක පාරටම පේන්නේ නෑ. එතන මැහුම් 3ක් විතර.ගොඩක් අමාරු වුනු දකුණු කකුලෙ විලුඹට ටිකක් උඩින් වෙච්චි කැපුමට මැහුම් දාපු පාරවලුත් තාම පේනවා. එතන මැහුම් 5-6ක් විතර....

අර දොස්තර නෝන අඩි 10ක් කියල ලිව්වට ඇත්තටම බැලින්නං අඩි 20ක් විතර උසකිනුයි වැටිලා තියෙන්නෙ. එහෙමත් වැටිලා මෙහෙම බේරුණා මදැයි.

අපේ ලොකු අයියගෙ පුතා දැනටත් මගෙ මේසෙ ගාවින් යද්දී උඩ බලල කියනවා මෙතනින් තමා නැන්දි වැටුණේ” කියල.. J ඒ සිද්ධිය වෙද්දි එයාට අවුරුදු තුනයි !!!



ප.ලි - පින්තුරයක් හම්බුණේ නෑ මේකට දාන්න... ඔන්න නියම වෙලාව බලලමයි දැම්මේ.....

Sunday, July 1, 2012

හිතාගන්න බෑ





මෙලොව කිසිවෙකුට
නොතේරෙන යමක් වෙද
පළමු දේ එහි මිනිස් සිතමැයි....
සිත්තරෙකුගේ තෙලිතුඩෙන් හැඩවෙන
නිමක් දකින තුරු අදහසක් මතු නොවන
අපැහැදිලි සිතුවමකි එය 
අරුත පසිඳලිය නොහැකි....

විටෙක සොඳුරුය - විටෙක රුදුරුය
එසේ වුවනොවෙද මිනිසුන්
අළු යට සැඟවි ගිනි පුපුරු....
මතුපිටින් නිවුණු බව පෙනෙන මුදු
ඉඩක් ලදහොත් සැණින් දැල්වෙන....





Monday, June 25, 2012

~~~සඳයි තරුයි~~~ 7 කොටස


ඔන්න අද කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක...



  කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“මාෂි, කෝ මල් තාම ඉස්කෝලෙ ආවෙ නැද්ද?”

තරප්පු පෙළ නැගලා ඉස්සෙල්ලාම හම්බවෙන පන්ති තුන පහුකරගෙන අපේ පංතියට ඇතුළු වෙන දොර ගාව ඉඳං මම එහෙම ඇහුවෙ තවමත් මල්කිගේ බෑග් එක පුටුව උඩ නොතිබුණ හින්දයි.

“මල් මල් හැමවෙලේම මල්. දැන් මේකි මල් එක්කමයි කතාව. අපිව මතකත් නෑ වෙලාවකට”
මාෂි මදූගෙ මූණ දිහා බලාගෙන එහෙම කිව්වෙ නෝක්කාඩුවට වගේ.

“අනේ, එහෙම දෙයක් නෑ බං. අපි ඉතින් යාළුවොනෙ නේ....”

කවට හිනාවක්‌ මූණට දාගෙන මම එහෙම කියාගෙනම ආයෙමත් පහළට බහින්න ලෑස්ති වුණේ අපේ පන්තියේ ගැහැණු ළමයින්ට පැවරිලා තිබ්බ පිරිසිදු කිරීම් කටයුතු ඉවර කරලද බලන්න..

“තරූ, අද ජයනිට මල් ගේන්න අමතක වෙලා”

දඩිබිඩි ගාලා තරප්පු පෙළ බහින මාව අල්ලන්න ගිහින් චමනි බිම නොවැටී බේරුණේ අනූනමයෙන්.

“ම්ම්ම්...එහෙමද? එහෙනම් ප්‍රවීන් අයියලගේ පංතියෙන් අදට මල් ටිකක් ඉල්ලගන්න වැඩ කරල තියන්නකො. ආයෙ මම පංතියට එන්නෙ පළවෙනි බෙල් එක ගැහුවට පස්සෙ”

හිතේ මොනතරම් දේවල් තිබුණත් පංති නායිකාව විදියට එදිනෙදා පංතියේ වැඩකටයුතු ටික ඒ විදියටම ඉටුකරන්න මම අතපසු කළේ නැහැ. පිරිසිදු කරන තැනට ගිහින් විනාඩි පහළවක් විතර යනකොට දිගට දිගේ කොණ්ඩ කරල් දෙකත් පද්ද පද්ද ඈත තියාම හිනාවෙවී මල්කි එනවා මම දැක්කා.

“ගුඩ් මෝනින් තරූ, මම දැනුයි ආවෙ බං. උඹේ වැඩ ඉවර නම් යමුද කැන්ටිම පැත්තේ”

“ගුඩ්මෝනින් මල්...ඔයාලා පංතියට යන්න. අංශ රැස්වීමට යන්න මම එනකල් ඉන්න. මම ඉක්මණට එනවා”

මල්කි මාවත් ඇදගෙන කැන්ටිම දිහාට යද්දි කෑගහල ඒක කියපු පාරට ළඟින් ගිය මිස්ල දෙන්නෙකුත් හැරිලා බැලුවා..

“මොකද බං උදේ පාන්දර මාව හෙව්වෙ. මෙලහකට අර සඳුනිල් කාරයගෙ මොකක් හරි බයිලයක් වෙන්න ඇති.”මේකිත් මේ උදේ පාන්දර පේන කියනවද මන්ද ළඟ තියෙන මාළු බනිස් ගෙඩිය කන්නෙ නැතුව.

“හරි හරි එයා ගැන තමා”

“ආව් ආව් එයා ගැන කියද්දිත් මේකිගෙ මූණ පෙම් පාට....... මොකෝ කොල්ල උඹට කැමතියි කිව්වද?”

ඔන්න ඉතින් ආයෙමත් පටන් ගත්ත සාත්තර කියන්න. දැන් නම් හරියන්නෙ නෑ .. කියන්නම වෙනව විස්තරේ.

“ඔව්නෙ බං... එයා මට කැමතියිලුනේ...ඊයෙ රෑ මට මැසේජ් එකක් එව්වනේ... මම රිප්ලයි එකක්වත් යැව්වෙ නෑ. මොනා කියන්නද තේරෙන්නෙ නෑ ... ඔළුව විකාරයි මට”


“ඕන කෙල්ලෙක් ඔය වෙලාවට පිස්සු වැටෙනව තමයි බං. වාර විභාගෙ අනිත් සතියෙ. මහ විභාගෙට මාස හතරකුත් නෑ තව. විභාගෙ ඉවරවෙනකල් වත් පොඩ්ඩක් ශේප් එකේ ඉන්න බලපං.. දන්නවනෙ උඹලගෙ ගෙදර කට්ටිය ගැන මට වඩා හොඳට උඹ”

“ඒක නම් ඇත්ත මල්, මේ විභාගෙ අස්සෙ ඔහොම එකකට පැටලුනොත් මට ගෙදරින් විසුමක් වෙන්නෙ නෑ. ඔක්කොටම හපන් තාත්තා.”

“එහෙනම් එතනින් එහාට මම මොකුත් කියන්න ඕන නෑනෙ. උඹට තේරෙනවනෙ. මම නං කියන්නෙවිභාගෙ ඉවර වෙනකල් ඉවසල ඉඳින්. තව මාස තුනකටත් වඩා තියෙනවනෙ. ඔය ටිකේ පොඩ්ඩක් ගාණට ආශ්‍රය කරල, කොල්ල හොඳ නම් කරගෙන යමං නැත්නම් ඔහොම්ම අත ඇරලා දාපං..”

මල් කියන කතාවත් ඇත්ත. විභාගෙ මේ අල්ල පනල්ලේ තියෙද්දී මම මොකටද හදිස්සි වෙන්නෙ. ඔන්‍න‍ ඔහේ තව ටිකක් කල් ගියාවෙ. මම තනියම හිතුවා.

“අන්න අන්න දැන් මූඩ් ගහලා. දැන් බෙල් එක ගහන්නත් කිට්ටුයි. අත ගාන්නෙ නැතුවඔය තේ එක බීල වරෙන් බං”

ඒ වචන ටිකත් එක්ක පියවි ලෝකෙට ආපු මම හොඳටම නිමිලා තිබුණු තේ කෝප්පෙ එක හුස්මට ඇදලා දැම්මා.කැන්ටිමෙන් නැගිටලා එළියට එද්දී මල්කි කිව්වෙ මම පොඩ්ඩකටවත් නොහිතපු කතාවක්.

“මේ ඒක නෙමේ තරූ. නිවාඩු දෙන දාට පහුවදා උඹේ බර්ත් ඩේ එක නේද? ඔන්න මායි, මාෂියි,මදූයි එනව එදාට ලන්ච් එකට... ලෑස්ති වෙලා ඉඳපන්”

අනේ උඹලට පාටි දෙන්නමයි කාරිය මට. “හරි හරි, ඒවට තව කල් තියෙනවනෙ.” ප්‍රශ්නයක හිරවෙලා තිබුණු මගේ හිත මොහොතකට වෙනතකට යොමු කරන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් වුණා.

සුපුරුදු විදියටම බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි පීරියඩ් වල ඉගැන්වීම් කටයුතු කෙරුණා. වාර විභාගය ළඟ නිසා පුනරීක්ෂණ වලට වැඩි ඉඩක් දෙන්න ගුරුවරු උත්සහ  ගත්තා. අපිට පොඩි හරි ඉස්පාසුවක් ලැබුණු ඉංග්‍රීසි පීරියඩ් එකේදිවත් නිදහසේ ඉන්න ලැබුණේ සුනේත්‍රා මිස් එතරම් සැර පරුෂ කෙනෙක් නොවුණ නිසයි.

“අම්මේ, ලබන සතියෙ අපිට වාර විභාගේ. ඔන්න ලබන සතියෙ නම් මට කියන්න එපා පොඩි අයියට ස්කයිප් කතා කරන්න මැසේජ් දාන්න කියලා. ඕන නම් අද හවස මැසේජ් එකක් දාන්නම් හෙට රෑට කතා කරන්න කියලා”

ෆුල් සීරියස් මූඩ් එකේ ඉඳං තොර තෝරංචියක් නැතුව කියවගෙන කියවගෙන ගියපු මගේ මූණ දැකලා අම්ම බිරාන්ත වෙලා මං දිහා බලං ඉන්නවා.
“ඕන නෑ සුදු මැණිකේ, කොහොමටත් ඔයාගේ බර්ත් ඩේ එක දවසට කතා කෙරෙනවනේ. එතකොට බැරියැ.”

ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඇඳුම් මාරුකරලා ඇඟ හෝදන්න ලෑස්ති වෙලා හිටපු මට අම්මගෙ කතාවත් එක්ක මල්කි උදේ කිව්ව කතාව මතක් වුණා.

“අම්මේ, ඔන්න එදාට දවල් කෑමට මල්කියි, මදාරයි, මහේෂියි එනවලු.”

ඒ වෙද්දීත් අම්ම මට බත් බෙදන ගමන්. වෙනද වගේ පිඟාන අතට ගත්තම කල් මර මර අත වේලෙනකල් නොඉඳ ඇඟ හෝදන් ආපු ගමන් බත් එක කාල පාඩම් කරන්න පටන්  ගත්තා.

“තරූ, අනේ හොඳ නංගි වගේ මේ නෝට් එක ලියලා දෙන්නකො. ඔයා ඉතිං මගෙ සුදු නංගිනෙ.”

“සුදු අයියා ඉතිං බටර් ගාන්නෙම මොකක් හරි වැඩක් කරගන්නම තමා. මේ බටර් ගෑවට වැඩක් නෑ, මට ලබන සඳුදා ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. මේ ඒක නෙමේ, ඔය නළුවා වගේ ඉන්න එකේ ඔහොම්ම චාටුවක් දාල අල්ල ගන්නවකො කැම්පස් එකේ හොඳ කෙල්ලෙක්.ලියලා දෙයි කියන පරක්කුවට”

එහෙම කිව්ව විතරයි මූණත් ඔරොප්පු කරගෙන සුදු අයියා යන්න ගියා. මේ රටේ කියලා ඉන්නෙත් ඔච්චරයි මට, තරහ කරගෙන පුළුවනැයි මට.

“සුදු අයියා, මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. නංගට පුළුවන් කමක් තිබ්බ නම් ලියල දෙනවනෙ ඉතිං.”

“හරි නංගා. මම තරහ වෙනවද මගෙ සුදු නංගත් එක්ක. මම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ෆොටෝකොපියක් ගහගන්නම්කො. ඔයා පාඩම් කරන්නකො බබෝ”

සුදු අයියා මගෙ ඔළුව අත ගාන ගමන් එහෙම කිව්වා. ඇත්තටම ඒ වගේ අයියා කෙනෙක් ලබන්න මම කොච්චර වාසනාවන්තද?




රෑ එකොළහමරක විතර වෙනකල් පාඩම් කරපු මම නිදාගන්න ලෑස්ති වුණේ පහුවදා උදේ පාන්දර බයෝ රිවිෂන් පංතියට යන්න නැගිටින්න ඕන නිසා. පොත් පැන්සල් ඔක්කොමත් ලෑස්ති කරලා ෆෝන් එක අතට ගත්තෙ සිංදුවක් අහන්න හිතාගෙන. ෆෝන් එක ඔන් කරලා ටික වෙලාවකින් මැසේජ් කීපයක්ම ආවා.එකක් ඇර අනිත් ඔක්කොම ඇලට්‍ර්ස්.

Ai tharu, oya mata reply nokaranne? Oya mata akamathida?”

ම්ම්ම්....මෙයා කලබල වෙලා වගේ.

Ehema deyak na halo. Api exam iwara wenakal poddak imuko. Mata ethakan kal denna.

ඉක්මණට මැසේජ් එකක් ගැහුවා..

ම්ම්ම්... මොකක්ද ඒ සද්දෙ? කාමරේට කවුරු හරි එනවා වත්ද?


------------------------------------------------------------------------------------------------------------

මහ රෑ තරූගෙ නිදන කාමරේට ආවෙ කවුද?

සිද්ධ වුණේ මොකක්ද වුණේ කියල 8 වෙනි කොටසින් බලමු...!!!

ප.ලි :- මගේ ඊළඟ පෝස්ටුව මේ කතාන්දරය නෙවෙයි.. ඒ හින්දා කස්ටිය කතාව අමතක කරගන්නේ එහෙම නෑ හොඳද? පුළුවන් තරම් ඉක්මණින් ඊළඟ පෝස්ටුවද ඉන් පසු 8 වෙනි කොටසද දැමීමට බලාපොරොත්තු වෙමි.

Monday, June 4, 2012

~~~සඳයි තරුයි~~~ 6 කොටස


අදත් කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක... 
------------------------------------------------------------------------------------------------------------
" Tharu, pansal giyada?"
කවුද කියලා බැලින්නම් සඳුනිල්... දැන් දැන් මා ගැන අවධානය වැඩි වගේ. බුරුලක් දෙන්නත් බෑ කරේ නගින්න එයි ඊට පස්සේ..

"Ow dear danui awe. Good night. Budu Saranai"
ඉක්මණට ඒකෙන් ගැළවෙන්න ඕන නිසා මම එහෙම යැව්වා..

පෙබරවාරි මාසේ මුල් කාලයේ පටන් ගත්තු යාළුකම දිගින් දිගටම වර්ධනය වුණා මිසක් අඩු වුණේ නම් නෑ.. සඳුනිල් ගණිත අංශයෙනුත් මම විද්‍යා අංශයෙනුත් ඉගෙනීම් කළ නිසා වෙලාව ලැබෙන හැටියට කතා කරන්නත් එයින් වැඩි කොටසක් එදිනෙදා කෙරෙන පාඩම් වැඩ කටයුතු ගැනත් කතා කරන්න අපි යොමු වුණේ නිතැතින්මයි.

නොදැනීම කාලය ගෙවිලා මාර්තු මාසයත් උදා වුණා.. විභාගය අත ළඟටම ඇවිත් බව හොඳටම තේරුණේ අයැදුම්පත් දාන්න ඉස්කෝලෙට එන්න කියපු දවසේ.

"පිස්සු නැටුවා මදැයි දැන්. තව මාස 4 යි තියෙන්නෙ මොනා කරන්නත්"
ජයනි එහෙම කිව්වෙ අත්සන් කරලා ලැබ් එකෙන් එළියට එන ගමන්. කවුරුත් එතනින් එහාට දෙයක් නොකියා නිහඬ උණේ පිස්සු නටපු නැති කෙනෙක් එතන නැති නිසා.

"මේ තරූ, අපි හතර දෙනා ඉස්කෝලෙ එන්න ඕන නෑ කියනකල්ම එමුද? ගෙදර ඉන්නවට වඩා මොකක් හරි වැඩක් කෙරෙනවනේ.."
මල් මගේ මූණ දිහා බලං එහෙම කිව්වා. ඒ යෝජනාවට අනිත් දෙන්නත් කැමති වුණා. 

කොහොම උණත් 80% බලලා ඉවර වුණ දවසෙන් පස්සේ ළමයි ඉස්කෝලෙ එන එක අඩු වෙන බව ගුරුවරු හොඳින්ම දන ගෙන හිටියත් අන්තිම වෙනකල් ඉස්කෝලෙ ගිය අයට මොනවා හරි දෙයක් කියල දෙන්න එයාල උත්සහ කළා.

මාර්තු මාසේ එක බ්‍රහස්පතින්දාවක බස් එකේ පංති ඇරිලා එන ගමන් ෆෝන් එකෙන් සඳුනිල් එක්ක අනම් මනං විකාර මැසේජ්කර කර  ආපු මම සඳුනිල් ගෙන් මෙහෙම ඇහුවා.

"දැන් බැරිවෙලාවත් මේ බස් එකෙන් බැහැලා පාර පනින්න ඉද්දි මාව හැප්පුනොත් එහෙම?"
 ටිකක් වෙලා යනකල් කිසිම රිප්ලයි එකක් ආවේ නෑ. මිස් කෝල් කළොත් මටමනේ නෝන්ඩිය.. රිප්ලයි කරනකල්ම උන්නා. 

"එහෙම වුණොත් මාත් මැරෙනවා"
මගේ ඇඟ සීතල වෙලා ගියා. මෙයා අහවල් එකකකටද මැරෙන්න හදන්නේ? අහන්නත් බෑ. ඒත් අහනකල් හිතට සැනසීමකුත් නෑ.. මොනා හිතුවත් කමක් නෑ. මම අහනවා

"ඇයි ඒ? ඔයා මොකටද මම නිසා මැරෙන්නේ? ඔයා මට කැමතිද?"
සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම අහන්නේ නැති උණත් සඳුනිල් හිතේ තද කරගෙන මට නොකියා ඉන්න දෙය කටින්ම අල්ලගන්නයි මට ඕන උණේ..

"හයියෝ.. මේ මනුස්සයට මැසේජ් එකක් දැම්මාම හැට හුටහමාරක් වෙලා බලං ඉන්න එපැයි රිප්ලයි කරනකල්.. "
මම තනියම එහෙම කියා ගත්තේ බස් එකෙන් බහින්න කිට්ටු වෙලා වත් ප්‍රශ්නෙට පිළිතුරක් නොලැබුණ නිසා. 


"සමහර විට මම එක පාරට එහෙම අහපු එකෙන් එයා ෂොක් උනාද දන්නේ නෑ"

බස් එකෙන් බැහැලා පුංචි පාර දිගේ ඉදිරියට ඇදෙන ගමන් මම කල්පනා කළා. ගෙදර ගිහින් ඇඟ සෝදගෙන බත් කනකල් වත් මැසේජ් එකක් ආවෙ නෑ. 

ෆෝන් එක පැත්තකින් තියලා මම පාඩම් කළා. පංතියේ උගන්නපු පාඩම.. කාර්මික රසායනය - සෝඩියම් කාබනේට් නිෂ්පාදනය... ගැලීම් සටහන් ගහගෙන වගු ගහගෙන පොත් පෙරලගෙන මේසෙ උඩ එකම කැඳ හැලියක් වෙලා. රෑට නිදා ගන්න වෙලාව එනකල්ම ෆෝන් එක ගැන මතක් නොකර ඉන්න ඕන කියලා හිතට තදින් අණ කරපු නිසා පාඩම් කරපු දේවල් හොඳින් ඔළුවට ගියා.

අම්මා ළඟට ඇවිත් මට කිරි කෝපි කෝප්පයක් දීලා ඔළුව අත ගාලා ගියා. 

"වෙලාව 11.30 යි. තරූ, ඔයා හෙට ඉස්කෝලෙ යන්නේ නැද්ද? ගිහින් නිදාගෙන පාන්දර නැගිටලා පාඩම් කරන්න දරුවෝ"
කිරි කෝපි කෝප්පේ බීලා ඉවර වෙලා පැය බාගෙකින් විතර අම්ම කියනව මට ඇහුණා.

"හා අම්මේ, මම මේ නිදා ගන්න තමා යන්නේ" පුටුවෙන් නැගිටලා ෆෝන් එකත අරගෙන දත් බුරුසුව අනික් අතට අරගෙන නාන කාමරයට යන ගමන් මම අම්මට උත්තර දුන්නා.

දොර වහපු ගමන් ෆෝන් එකේ මැසේජ් එකක් තියෙනවද කියලා බලන්න හැදුවත් කරුමෙට ඒකෙ බැට්රි බැහැලා.. දැන් ඉතින් මොනා කරන්නද? දත් මැදලා නිදා ගන්නවා මිසක්.. නැත්නම් මේ මහ රෑ ෆෝන් චාජ් කරන්න ගිහින් මට අම්මගෙන් අහගන්න වෙනවා බුදු ෂුවර්...

මේ වෙනකොට මල් එක්කවත් සඳුනිල් ගැන නොකියා ඉන්න මම උත්සහ කළේ මම පාඩම් වැඩකටයුතු අවුල් කරගනී කියලා ඒකි මට බනින්න ගන්න බව හොඳටම දන්න නිසා. ඒත් හෙට පාන්දර නැගිටලා ෆෝන් එක චාජර් එකට ගහලා ඇවිත් තියෙන මැසේජ් එක අනුව ඒ විදිය වෙනස් කරන්න වෙයිද කියලා හිතට දැනුණා...
බැරිවෙලාවත් සඳුනිල් මට කැමතියි කියලා තිබ්බොත් එහෙම??? ඒක මතක් වෙලා හීනියට දාඩියත් දැම්ම...

"ඉක්මන් කොටයිලු"
තවත්  ඒ දේවල් කල්පනා කරනවා කියන්නේ මගේ නින්දට තියෙන කාලේ අඩු වෙන එකනේ.. මම ඒ ඔක්කොම දේවල් මොහොතකට අමතක කරලා ඇඳට ගියේ වැඩි වෙලාවක් වෙහෙස කරපු මගේ ඇස් දෙක වගේම මගේ මොළේට හොඳ විවේකයක් දෙන අරමුණින්...

------------------------------------------------------------------------------------------------------------

පහුවදා පාන්දර 4.30 වෙද්දී නැගිට්ට මම ෆෝන් එක චාජ් වෙන්න තියලා ඔන් කලාම දැක්කේ මිස් කෝල් ඇලර්ට්ස් ගොඩාක් .... ඒ ඔක්කොම සඳුනිල් ගෙන්.. මැසේජ් 3ක් 4ක් ඇවිත් තිබ්බත් ඉස්සෙල්ලම එවපු මැසේජ් එක විතරයි මට බලන්න මතක් තිබ්බේ.. 

"Ow tharu, mama oyata godak kamathi. Oya nathi unoth mata mona weida danne na"

කලින් දේවල් ගැන ඔක්කොම විස්තර කියලා තිබ්බ මට බොරුවක් කියන්න කිසිම හේතුවක් එයාට නැති උණත් ඒක ඇත්තක් කියලා පිළිගන්න මගේ හිත අදීමදි කළා. අඩු ගානේ රිප්ලයි එකක් යවන්නත් හිතුණේ නෑ.. ඉස්කෝලෙ ගිහින් මේ ගැන මල් එක්කවත් කතා කරන්න ඕන කියලා මගේ හිත නිදහස් කරගත්තු මම කිරි වීදුරුව බොන ගමන් පාඩම් පොත් ටික අතට ගත්තා..



------------------------------------------------------------------------------------------------------------
බෑ බෑ ලියන්න බෑ කියලා හිතපු කතාව අද ලිව්වා.. පොඩ්ඩයි වගේද මන්දා සමාවෙන්ඩ ඈ...

ඊළඟට මොකද උණේ කියලා 7 කොටසින් බලමු. !!!

ප.ලි - පහුගිය ටිකේම මට මම ෆලෝ කරන බ්ලොග් පැත්තේ එන්න බැරි උනා.. තරහ වෙන්න එපා යාළුවනේ.. ඉඩක් ලද සැණින් මම ඔයාල බලල යන්න එනවා....